අපේ රටේ මීළඟ ජනපති ගැන ජ්‍යොතිෂ අනාවැකි පළ නොවන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

vinivida

මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා පැහැදිලි ඉඩකඩක් විවර වෙමින් පවතී. ඒ අනුව මේ වන විට අප රටේ දේශපාලන කරලිය ද දිනෙන් දින උණුසුම් වෙමින් පවතිනු දක්නා ලැබේ. එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාර දී නැතත් එසේ ඉදිරිප්ත් වීමට නියමිත ප්‍රධාන අපේක්‍ෂකයන් අතරේ පවත්නා තරඟකාරී ස්වරූපයේ යම් උණුසුම් බවක් මේ වන විට ද දක්නට ලැබේ.
ඒ අනුව ඔවුන් අතුරින් අප රටේ මීළඟ ජනාධිපතිවරයා කවරකු විය හැකිද? යන කුකුස බොහෝ දෙනකු තුළ පවතින බවක් ද පෙනී යයි. මෙවන් උණුසුම් දේශපාලනික වාතාවරණයක් යටතේ ජනතාව තුළ පවතින එම කුතුහලය සන්සිඳවීම පිණිස මීට පෙර අවස්ථා වලදී මෙන් අප රටේ ජ්‍යොතීර්වේදීන් ඉදිරිපත් නොවනුයේ මන්දැයි ඇතැම්හු අපගෙන් ප්‍රශ්න කරති.

ජ්‍යොතීර්වේදය යනු ආසන්න වශයෙන් මීට වසර පන් දහසකට පෙර භාරතයෙන් මෙලොවට බිහි වී ක්‍රමයෙන් විකාශනයට හා සංවර්ධනයට පත් වූ වටිනා ශාස්ත්‍රයකි. මුලදී නැකත් ශාස්ත්‍රයක් වශයෙන් කලඑළි දුටු මෙය අනාවැකි කීම සඳහා භාවිතා වන්නට ඇත්තේ ක්‍රි.ව. පස්වන සියවසේ දී පමණ බව විද්වත් මතයයි. එහි දී ඒ වන විටත් ඉතා දියුණු තත්ත්වයක තිබූ පර්සියානු ජ්‍යොතිෂ සම්ප්‍රදාය භාරත සම්ප්‍රදාය හා මුසු වී වර්තමානයේ අප ජ්‍යොතීර්වේදය නමින් හඳුන්වන විෂය පථය නිර්මාණය වූ බව විද්වත් පිළිගැනීමය. ඒ අනුව මෙම සම්ප්‍රදායේ මූල රූපය පංච සිද්ධාන්තික ජ්‍යොතිර්වේදය ලෙස හඳුනා ගත හැක.

මහාචාර්ය ගුණපාල ධර්මසිරි

මුලදී නැකත් ශාස්ත්‍රයක් ලෙස භාවිතා කළ ජ්‍යොතීර්වේදය අනාවැකි කීමේ ශාස්ත්‍රයක් ලෙස පිළිගැනීමට මුල් යුග වල දී අතීත භාරතීය සෘෂිවරුන් පසු ගැන්වුණු බවත් පසුව එහි ප්‍රායෝගික සත්‍යතාව වටහා ගැනීමෙන් පසු ඔවුන් එය වැඩිදුර අධ්‍යයනය කිරීමට හා එය මුල් කොට පර්යේෂණ පැවැත්වීමට පෙළඹුණු බවත් මෑත කාලීන භාරතීය ජ්‍යොතිර්වේදී පඬිවරු පවසති. දහ නව වන සියවසේ අග භාගයේ පහල වූ එන්.කේ වෙන්කතරාමන් නම් ඉන්දීය ජ්‍යොතිෂ පඬිවරයා ඒ අතුරින් ප්‍රමුඛතමයෙකි. ඔහු අනාවරණය කළ අන්දමට අනාවැකි කීමේ ශාස්ත්‍රයක් ලෙස එයට දීමට හැක්කේ සම්භාවිතාව පිළිබඳ අගයක් පමණි.නමුදු වරාහමිහිර බ්‍රහස්පතී ආදී අතීත ජ්‍යොතීර්වේදී සිද්ධාන්ත කරුවන් ඉදිරිපත් කොට තිබූ කරුණු මත ජ්‍යොතීර්වේදය යනු ප්‍රායෝගික වශයෙන් අත්හදා බැලිය හැකි මට්ටමේ සත්‍ය වූ ශාස්ත්‍රයක් ලෙස පසුකාලීන විද්වතුන් පිළිගෙන ඇත. එහෙත්, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කිව යුත්තක් තිබේ. එනම් ජ්‍යොතීර්වේදය යනු පරම සත්‍යයක් හෝ පරමාදර්ශී ශාස්ත්‍රයක් ලෙස ඔවුන් කිසිවකුත් කිසිම තැනක පවසා නොමැති වීම ය.ලංකා ග්‍රහස්පුට පංචාග ලිතේ සමාරම්භක කර්තෘ එස්.ඩබ්ලිව් කස්තුරිරත්න සූරීන් මුල් වරට මේ සෛද්ධාන්තික මතය අප සමාජය හමුවේ ගෙන හැර දැක් වූ ජ්‍යොතිෂ පඬිවරයා සේ සැලකේ.පසුව එතුමන් ගේ ශිෂ්‍ය මහාචාර්ය විමල් බලගල්ලේ මෙන්ම මහාචාර්ය ගුණපාල ධර්මසිරි වැනි එම විෂය පිළිබඳ ප්‍රාමාණික උගත්තු ද මෙම මතය තහවුරු කළ ද එය සමාජය පුරා ව්‍යාප්ත නොවිණි.ඒ වෙනුවට සමාජය පුරා පැතිර යන ලද්දේ ජ්‍යොතීර්වේදය යනු අනාවැකි කීමේ පරමාදර්ශී ශාස්ත්‍රයක් ය යන සාවද්‍ය මතයයි.

රාජිව් ගාන්ධි ඝාතනය වීමට මොහොතකට පෙර:

එවන් පසුබිමක් යටතේ ජ්‍යොතීර්වේදය මගින් පුද්ගලයකුගේ අනාගත කල දවස හෝ රටේ ඊළඟ රාජ්‍ය නායකයා කවුරුන් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වීම ඒ සම්බන්ධ ප්‍රායෝගික යථාර්ථයයි. එය තවත් විස්තර කළ හොත් රාජ යෝග සහිත යමකු එකී කාල සීමාව තුළ මරණයට පත් වීමට සේම මාරක යෝග සහිත යමකු ඒ කාලය තුළ රජ වීමට වුව යම් සම්භාවිතාවක් පවතින බව ජ්‍යොතීර්වේදයට අනුව පිළිගැනීමට සිදුවේ.සිය මව වූ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධියේ අකල් වියොවින් පසුව එක්තරා අහඹු ආකාරයකින් 1984 වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය පදවියට පත් හා 1989 වසරේ අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් වූ පසු 1991 වසරේ මැයි 21 වන දා දින ඉතා අනපේක්‍ෂිත අයුරින් එල් ටී ටී ඊ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත් රජීව් ගාන්ධිගේ ජන්ම පත්‍රය මුල් කොට සුප්‍රකට භාරතීය ජ්‍යොතිෂ විචාරකයන් එම තත්වය පෙන්වා දී තිබිණ. එහෙත්, එය යම් සම්භාවිතාවක් පළ කරන තත්ත්වයක් මිස ජ්‍යොතිෂය තුළ පවත්නා දුර්වලතාවයක් ලෙස නම් කළ හැක්කක් නොවන බව ද කිව යුතුය. නමුදු මිනිසා ගේ ජීවන යහපැවැත්ම පිණිස වන උපකාරක ශාස්ත්‍රයක් ලෙස ජ්‍යොතීර්වේදයේ පවත්නා අගය වටිනා කම ඉන් මඳක් හෝ ලඝු නොවන බව ද කිව යුතුම ය.

ජන මාධ්‍ය මගින් ජ්‍යොතීර්වේදී අනාවැකි පැවසීමේ දී ‘හූනා කිව්වා වගේ කියන්නම් ෂුවර් ඇන්ඩ් ෂොට් තමයි’ ආදී නියත බව අඟවන බොළඳ වැකි යොදා ගත් පිරිස් විසින් මේ වන විට සෛද්ධාන්ත ජ්‍යොතිර්වේදය සම්බන්ධව එතෙක් පැවැති පොදු ජන විශ්වාසය බරපතල ලෙස පළුදු කොට ඇති බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.අපේ රටේ මීළඟ ජනපති ගැන ජ්‍යොතිෂ අනාවැකි පළ නොවීමට ඉතා පැහැදිලි හේතුව ඔවුන් එම අනාවැකි නූතන ජනතාව විසින් සිනා මුසුව බැහැර කිරීම ය.

මහාචාර්ය විමල් බලගල්ලේ

මේ ලෝකය හා ලෝක සත්වයා ගේ පැවැත්ම හුදෙක් දෛවෝපගතව සිදුවන නියතවාදය (Determinism ) මුල් කොට ගත් නිත්‍ය සිදුවීම් දාමයක් නොවන බවත් ලෝක ධාතුව යනු බුදු දහමින් ඉගැන්වෙන අන්දමට අනිත්‍ය ප්‍රති සංයුක්ත ධර්මයට නතු වන්නක් බවත් ඒ සම්බන්ධ දාර්ශනික සත්‍යයයි. ඒ අනුව අනියත ලොවක් තුළ නියත අනාවැකියක් පැවසෙනුයේ කෙසේද?යන තර්කය ද ඇතැම්හු මතු කරනු පෙනෙයි. නමුදු එම ලෝක ධාතුව තුළ පවත්නා අනියත බව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන විශ්වීය සාධක මුල් කොට යමකු හා යමක් පිළිබඳ තරමක් දුරට ප්‍රායෝගික සත්‍යතාවයකින් යුතු අනාවැකි පැවසීමට ජ්‍යොතීර්වේදය සතු හැකියාව ද අප විසින් බැහැර කළ යුතු නොවේ.නමුදු එය ආවාට ගියාට කළ හැක්කක් ද නොවේ.
නිදසුනක් ලෙස අප රටේ මීළඟ රාජ්‍ය නායකයා සම්බන්ධයෙන් ශාස්ත්‍රීය පදනමක් සහිත අනාවැකියක් පළ කිරීම ලේසි පහසු කටයුත්තක් නොවේ.කොටින්ම කිවහොත් කිසියම් ජනාධිපති අපේක්‍ෂකයකු ගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කොට ඒ තැනැත්තා අප රටේ මීළඟ රාජ්‍ය නායකයා වන නොවන බවට අනාවැකි පළ කළ නොහැක. එය හරියට මිනී මැරුම් නඩුවක එක් සාක්ෂියක් පමණක් විමසා අදාල චූදිතයා මරණ දඬුවමට යටත් කිරීමට හෝ නිදහස් කිරීමටත් වඩා අනුවණ කමකි.

එස්.ඩබ්ලිව් කස්තුරිරත්න

යමකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කොට ඒ තැනැත්තාට රාජ්‍ය නායකයකු වීමට ඇති හැකියාව විමසා බැලෙන නිර්ණායක රැසක් පිළිබඳව ජ්‍යොතීර්වේදයේ සඳහන් වේ. ඒ පුද්ගලයා ගේ ජන්ම පත්‍රයේ රාජ යෝග පිහිටා තිබීම හා ඒවා අදාල කාලය තුළ බලාත්මක වීම ඒ අතුරින් කවුරුත් දන්නා පොදු නිර්ණායකයකි. එහෙත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමැසීමේ දී පෙනී යන විශේෂිත කරුණක් ද තිබේ. එනම් ජන්ම පත්‍රයේ රාජ යෝග නොමැත්තවුනට වුව රාජ්‍ය නායකයකු වීමට ඇති හැකියාව මුළුමනින් අහිමි නොවීම ය. ඊට අමතරව එසේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් ගේ ජන්ම පත්‍ර තුලනාත්මක අධ්‍යයනය කිරීම එම ජන්ම පත්‍ර ශ්‍රී ලංකා කේන්ද්‍රය කෙරෙහි ඇති සැසඳීම විමසා බැලීම ආදී තවත් නිර්නායක කෙරෙහි අවධානය යොමු කිරීම ද එහි දී කළ යුතු වෙයි. නමුදු පසුගිය ජනපතිවරණ සම්බන්ධයෙන් විවිධ අපේක්‍ෂකයන් නියත වශයෙන් ජනපති වන බවට ප්‍රසිද්ධ ජන මාධ්‍ය මගින් නියත කොට ප්‍රකාශ කොට සිටියවුන් සම්බන්ධයෙන් සඳහන් නොකරම බැරි කරුණක් තිබේ. එනම් ඔවුන් සෛද්ධාන්තික ජ්‍යොතීර්වේදයේ මළ පොත වත් කියවා නොමැත්තවුන් බව ය.

අප රට තුළ යළි ජනපතිවරණ උණුසුමක් ඇති වී අප රටේ මීළඟ ජනපතිවරයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම පිළිබඳව ජනතා කුතුහලය පිළිබඳ අනාවැකි ඇවැසි සමයෙක එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජ්‍යොතීර්වේදයේ උපකාරය ගැනීමට ජනතාව ඉදිරිපත් නොවනුයේ පසුගිය කාලය තුළ ජන මාධ්‍යයන් තුළින් ජ්‍යොතීර්වේදීන් වශයෙන් පෙනී සිටිමින් ස්වකීය පශ්චාත් භාගයන් ප්‍රදර්ශනය වන මොනර රැඟුම් පෑ කිහිප දෙනා ගේ ක්‍රියා කලාපයන් නිසා බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

මේ ආකාරයෙන් ගත වූ කාලය තුළ ජන මාධ්‍ය මගින් ජ්‍යොතීර්වේදී අනාවැකි පැවසීමේ දී ‘හූනා කිව්වා වගේ කියන්නම් ෂුවර් ඇන්ඩ් ෂොට් තමයි’ ආදී නියත බව අඟවන බොළඳ වැකි යොදා ගත් පිරිස් විසින් මේ වන විට සෛද්ධාන්ත ජ්‍යොතිර්වේදය සම්බන්ධව එතෙක් පැවැති පොදු ජන විශ්වාසය බරපතල ලෙස පළුදු කොට ඇති බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.අපේ රටේ මීළඟ ජනපති ගැන ජ්‍යොතිෂ අනාවැකි පළ නොවීමට ඉතා පැහැදිලි හේතුව ඔවුන් එම අනාවැකි නූතන ජනතාව විසින් සිනා මුසුව බැහැර කිරීම ය.
මේ වන විට අප රට තුළ යළි ජනපතිවරණ උණුසුමක් ඇති වී අප රටේ මීළඟ ජනපතිවරයා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් දැන ගැනීම පිළිබඳව ජනතා කුතුහලය පිළිබඳ අනාවැකි ඇවැසි සමයෙක එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ජ්‍යොතීර්වේදයේ උපකාරය ගැනීමට ජනතාව ඉදිරිපත් නොවනුයේ පසුගිය කාලය තුළ ජන මාධ්‍යයන් තුළින් ජ්‍යොතීර්වේදීන් වශයෙන් පෙනී සිටිමින් ස්වකීය පශ්චාත් භාගයන් ප්‍රදර්ශනය වන මොනර රැඟුම් පෑ කිහිප දෙනා ගේ ක්‍රියා කලාපයන් නිසා බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ය.ඒ ‘ෂුවර් ඇන්ඩ් ෂොට්’ අනාවැකි කීමක් සැබෑ සෛද්ධාන්තික ජ්‍යොතීර්වේදයේ හතර මායිමක වත් නොමැති බව ඒකාන්ත වශයෙන් තහවුරු කරමිනි.

හේම ශ්‍රී අමරසිංහ

එතෙර - මෙතෙර