ඉන්දියානු ජනාධිපති ලෙස තේරී පත් වූ පළමු ගෝත්‍රික කාන්තාව ද්‍රෞපදී මූර්මු

ජුලි මස 25 වනදා සිට ඉන්දියාවේ ජනාධිපතිවරිය බවට පත් වන්නට නියමිත ඇය නමින් ද්‍රෞපදී මූර්මු ය. 1958 ජූනි 20 වන දින උපත ලද ද්‍රෞපදී භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකාවකි. ඇය ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ පළමු ගෝත්‍රික කාන්තාව ලෙස ඉතිහාසගත වේ. එමෙන්ම ඇය ඔඩීෂා ප්‍රාන්තයෙන් තේරීපත් වූ පළමු ජනපතිවරිය වූ ප්‍රතිභා පටිල්ට පසුව මෙම තනතුර දැරූ දෙවන කාන්තාව වේ. 1947 දී ඉන්දියාවේ නිදහස ලැබීමෙන් පසු මෙම තනතුරට තේරී පත් වූ ලාබාලතම සහ පළමුවන පුද්ගලයා ද ඇයයි. ඇයගේ ජනාධිපති ධූරයට පෙර ඇය 2015 සහ 2021 අතර ජාර්කන්ඩ් හි නවවන ආණ්ඩුකාරවරිය ලෙස සේවය කළ අතර 2000 සිට 2004 දක්වා ඔඩිෂා රජයේ කැබිනට් මණ්ඩලයේ විවිධ අමාත්‍යාංශ ද ඇය විසින් දරා තිබේ. දේශපාලනයට පිවිසීමට පෙර, ඇය 1979 සිට 1983 දක්වා රාජ්‍ය වාරිමාර්ග හා විදුලිබල දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සහකාරවරියක ලෙසත්, පසුව 1997 දක්වා රයිරන්ග්පූර් හි ශ්‍රී අරබින්දෝ සමෝධානික අධ්‍යාපන මධ්‍යස්ථානයේ ගුරුවරියක ලෙසත් සේවය කළාය.

ඇය ජනපතිනිය ලෙස පත් වන්නට ඔන්න මෙන්න කියා තිබියදී ඇය පිළිබද බොහෝ දෙනෙකු නොදන්නා තොරතුරු එළියට එන්නට පටන්ගෙන තිබේ. රස කැවිලිවලට සුප්‍රසිද්ධ ඔඩීෂා ප්‍රාන්තය ඇගේ උපන් බිම වන නිසාම ඇය රස කැවිලිවලට අසීමිත කෑදරකමක් දැක් වූ දැරියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියාය. මේ නිසාම ඇගේ වැඩිහිටියන් ඇයට දත් නරක් වේ යැයි අවවාද කළ අවස්ථා ද බොහෝ තිබිණි. දත් නරක් වේයැයි ඇති වූ බිය නිසාම ඇය සිය දත් මහත් වුවමනාවෙන් යුතුව ආරක්ෂා කරන්නට විය. මේ නිසාම වයස අවුරුදු 64 ඉක්මවා ගිය ද මේ දක්වාම ඇගේ එකදු දතක්වත් නරක් වී නොමැති අතර සුදුවන් දත් දෙපෙලක් ඇය සතු බව ඇය ඇසුරු කරන ඕනෑම කෙනෙකුට පෙනෙන්නට තිබේ.

රසකැවිලි කෙරෙහි ඇති අසීමිත කැමැත්ත කෙතෙක් ද යත් ඇය සිය මිතුරියන්ගේ පමණක් නොව ඇගේ පාසලේ ආරක්ෂක නිලධාරියාගේ උපන් දිනය වෙනුවෙන් පවා සිය වියදමින් රස කැවිලි ගෙනවිත් මිතුරියන් අතර බෙදාගෙන කන්නට පුරුදු වී සිටියා ය. සතුටුදායී උත්සව අවස්ථාවන් පමණක් නොව දුක්මුසු අවස්ථාවන් ද ඇය සමරනු ලබන්නේ රස කැවිලිවලිනි. ඒ සදහා වන හොදම උදාහරණය වන්නේ මිය ගිය සිය පුතුන් දෙදෙනාගේ අවමංගල්‍ය උත්සව දිනවලද ඇය විසින් ආහාරයට ගෙන තිබුණේ රස කැවිලි පමණක් වීම ය. වත්මනෙහි ඔවුන්ගේ සමරුම් දින වෙනුවෙන් ද ඇය රස කැවිලි බෙදා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන්නීය.

ද්‍රෞපදී යනු අතිශය කරුණාවන්ත කාන්තාවක වුව ද ඇගේ ජීවිතයේ එක්තරා අවුරුදු 7 ක කාලයක් ඇය ඉතාම අවාසනාවන්ත කාලයක් ගත කළ බව ඇය විශ්වාස කරයි. ඒ 2009 ත් 2016 අතර කාලයයි. එයට හේතුව එකී කාලය තුළ සිය නිවස තුළ ජීවත් වූ පස් දෙනෙකු විවිධ හේතු නිසා මිය යාමයි. ඇගේ සැමියා, පුතුන් දෙදෙනා, සහෝදරයා සහ මව එකී අයවලුන් ය. වසර හතක් තුළ එකම නිවසක ජීවත් වූ පස් දෙනෙකු මිය යාම එක්තරා ආකාරයක සැකයට බදුන් වන කාරණයක් ලෙස උලුප්පා දක්වමින් විවිධ දේශපාලන පක්ෂ ඇයට වාග් ප්‍රහාර එල්ල කළ අවස්ථා ද තිබිණි. නමුත් ඒකී සියල්ලම ස්වභාවික මරණ බව පවසමින් ඇය වරක් පාර්ලිමේන්තුවේ දී සිදු කරනු ලැබූ අදහස් දැක්වීම ජනපති මෝදිගේ ද පැසසුමට ලක් වී තිබිණි.

2007 වසරේ එවකට 34 වැනි වියේ පසු වූ රුක්මනී, නොහොත් වත්මන් ද්‍රෞපදීගේ ලේලිය පළමු වරට ද්‍රෞපදී හමු වූවා ය. එම හමු වීමෙන් පසු ඇය මෙසේ පවසා තිබිණි. “මම ගියේ මගේ පෙම්වතාගේ අම්මා දකින්න බව ඇත්ත. ඒත් ඒ වෙද්දි ඇය ආණ්ඩුකාරවරියක්. මම බය වෙලා හිටියෙ. මම හිතුවා ආරක්ෂක භටයින් පිරිවරා ගෙන ඇය මගේ ඉදිරියට ඒවි කියලා. ඒ වෙනුවට මම දැක්කේ ඇගේ අතින්ම සෑදූ රස කැවිලිවලින් පිරුණු විශාල බන්දේසියක් අත් දෙනෙක් අරගෙන මගේ ඉදිරියේ ඉන්න ආදරණීය අම්මා කෙනෙක්වයි. ඒ වෙලාවෙම මගේ බය නැති වුණා. එච්චර බලයක් තිබියදී ත් හිස උදුම්මා නොගත්, ඇය තරම් නිහතමානී කාන්තාවක් ඉන්දියාවේ තව ඇතියි කියලා මට හිතෙන්නේ නැහැ” ඒ ලේලියක විසින් සිය නැන්දම්මා පිළිබද කරනු ලැබූ ප්‍රකාශයකි.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර