ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් පසුගිය19 වනදා පස්වරුවේ අනුරාධපුර, රුවන්වැලි සෑ රඳුන් අභියස ආශිර්වාද පිංකම දී ජනාධිපතිවරයා රුවන්වැලි සෑයට පූජාකළ දෑ අතර 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් වඳවීමේ තර්ජනයට මුහුණදී ඇති බවට නම් කර තිබෙන ආරක්ෂිත ශාකයක් වන රත් දෝතළු මලක් ද ඇතුළත්ව තිබීම පිළිබඳව පරිසරවේදීහු විමතිය හා බලවත් කනස්සල්ල පළ කරති.
දැනට ශ්රී පාද රක්ෂිතයේ පමණක් ඉතා සීමිතව ඉතිරිව ඇති Loxococcus repicola නමින් හැඳින්වෙන මෙම ශාකය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතේ 42 වගන්තියේ viii උප ලේඛනයට අනුව කැඩීම,ගැලවීම,කොටසකට හෝ හානි පැමිණීම,විකිණීම ආදී සියළු ක්රියා රුපියල් දස දහසේ සිට විසි දහස දක්වා වන දඩයකට හා වසර දෙකේ සිට පහ දක්වා වන සිර දඬුව්මකට හෝ ඒ දෙකටම යටත් විය හැකි වරදක් බව එම පනතේ සඳහන් වෙයි.