ඩෙන්මාර්ක රාජ්‍ය තැපෑල වසා දැමෙයි; ලිපි බෙදීම නවතී; තැපැල් පෙට්ටි වෙන්දේසියට


​වසර 400කට අධික කාලයක් පැවති ඩෙන්මාර්කයේ රාජ්‍ය තැපැල් සේවාව වන පොස්ට්නෝර්ඩ් (PostNord) විසින් සාමාන්‍ය ලිපි බෙදා හැරීම 2025 දෙසැම්බර් 30 දා නිල වශයෙන් අවසන් කොට තිබේ. ඒ අනුව ඉකුත් දෙසැම්බර් 30 වන දින පොස්ට්නෝර්ඩ් ආයතනය විසින් ඩෙන්මාර්කයේ අවසාන සාමාන්‍ය ලිපිය බෙදා හරින ලදී. මින් පසු එම ආයතනය තැපැල් සේවාවක මූලික කාර්යය වන ලිපි බෙදා හැරීමෙන් ඉවත් වී, වැඩි ඵලදායකත්වයක් හා ලාභයක් ලැබිය හැකි පාර්සල් බෙදා හැරීමේ (Parcel Delivery) සේවාවන් වෙත පමණක් අවධානය යොමු කිරීමට තීරණය කර තිබේ.

​2026 ජනවාරි 1 සිට ඩෙන්මාර්කයේ ලිපි බෙදා හැරීමේ ප්‍රධාන වගකීම DAO (Dansk Avis Omdeling) නම් පෞද්ගලික ආයතනය වෙත පැවරී ඇත. ඒ අනුව ජනතාවට තවමත් ලිපි යැවිය හැකි නමුත්, ඒවා පෙර මෙන් තැපැල් පෙට්ටිවලට දැමිය නොහැක. ඒ, එහි තැපැල් පෙට්ටි ගලවා ඉවත් කරන බැවිනි. ඒ වෙනුවට ලිපි රැගෙන DAO ආයතනයේ සේවා මධ්‍යස්ථාන (Pick-up points/Pakkeshops) වෙත යාම හෝ පෞද්ගලිකව ඇණවුම් කිරීම කළ යුතු ය. කෙසේ හෝ මෙය ලොව පුරා මෙතෙක් ස්ථාපිතව පැවති තැපැල් සේවා සම්බන්ධ විස්මිත පරිවර්තනයකි.

​ඩෙන්මාර්කය යනු ලොව දියුණුම ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ඇති රටකි. රජයේ සහ පෞද්ගලික ආයතනවල ලිපි හුවමාරුවෙන් 90%කට වඩා ඩිජිටල් ක්‍රමයට සිදුවේ. පසුගිය කාලය තුළ සිදු කොට ඇති විමර්ශන අනුව 2000 වසරට සාපේක්ෂව ලිපි බෙදා හැරීමේ ප්‍රමාණය 90%කට වඩා පහත වැටී තිබේ. ඒ අනුව, එය තවදුරටත් පවත්වාගෙන යාම මූල්‍යමය වශයෙන් විශාල අලාභයක් ගෙන දීමට හේතු වී තිබේ.

​ඩෙන්මාර්කය යනු ලොව දියුණුම ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ඇති රටකි. රජයේ සහ පෞද්ගලික ආයතනවල ලිපි හුවමාරුවෙන් 90%කට වඩා ඩිජිටල් ක්‍රමයට සිදුවේ. පසුගිය කාලය තුළ සිදු කොට ඇති විමර්ශන අනුව 2000 වසරට සාපේක්ෂව ලිපි බෙදා හැරීමේ ප්‍රමාණය 90%කට වඩා පහත වැටී තිබේ. ඒ අනුව, එය තවදුරටත් පවත්වාගෙන යාම මූල්‍යමය වශයෙන් විශාල අලාභයක් ගෙන දීමට හේතු වී තිබේ.

​මෙම තීරණයත් සමඟ ඩෙන්මාර්කය පුරා තිබූ රතු පැහැති තැපැල් පෙට්ටි 1,500ක් පමණ ඉවත් කොට වෙන්දේසි කිරීමට පියවර ගෙන තිබේ. ඒවා අතුරින් හොඳ තත්ත්වයේ තැපැල් පෙට්ටි සඳහා ඩෙන්මාර්ක ක්‍රෝනර් (DKK) 13,800ක් පමණ (ඩොලර් 2,000 / පවුම් 1,580) බැගින් සහ තරමක් ගෙවී ගිය තැපැල් පෙට්ටි සඳහා ඩෙන්මාර්ක ක්‍රෝනර් (DKK) 10,350ක් පමණ (ඩොලර් 1,500 / පවුම් 1,185) බැගින් වූ මිලකට අලෙවි වෙමින් තිබේ.

​ඉතා දීප්තිමත් රතු පැහැයෙන් යුක්ත මේවායේ ඩෙන්මාර්කයේ රජ පවුල සිහිපත් කරන රන්වන් පැහැති “ඔටුන්න” (Royal Crown) ලාංඡනය කොටා ඇත. මේවා බොහොමයක් ශක්තිමත් චීන චට්ටි (Cast Iron) වලින් නිපදවා ඇති අතර, සමහර ඒවා කිලෝග්‍රෑම් 50-60ක පමණ බරකින් යුතු වේ. බොහෝ දෙනා මේවා මිලදී ගන්නේ තම නිවෙස්වල අලංකාරයට (Vintage decor), උද්‍යාන අලංකරණයට හෝ එකතුවක් ලෙස තබා ගැනීමට ය. එමෙන්ම මේවායේ කොටා ඇති රාජකීය ලාංඡනය නිසා මේවාට විශේෂ වටිනාකමක් තිබේ.

​නමුත් ඩෙන්මාර්ක තැපෑලේ සිදුව ඇති මෙම පරිවර්තනය සම්බන්ධයෙන් ඩෙන්මාර්කයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බරපතල නොසතුට පළ වී තිබේ. එමෙන්ම ඩිජිටල් තාක්ෂණය භාවිතා නොකරන වයෝවෘද්ධ ජනතාවට සහ දුරස්ථ ප්‍රදේශවල වෙසෙන අයට මෙයින් යම් අපහසුතාවයක් ඇති විය හැකි බවට විවේචන එල්ල වී ඇත. ඊට ප්‍රතිචාර දක්වමින් එහි තැපැල් බලධාරීන් පවසා ඇත්තේ මෙය තැපැල් සේවාව සම්පූර්ණයෙන්ම නැවැත්වීමක් නොවන බවත්, ඒ වෙනුවට සිදුව ඇත්තේ ක්‍රමය වෙනස් වීමක් බවත් ය.

​මෙම වෙනස නිසා ඩෙන්මාර්කයේ රාජ්‍ය තැපැල් සේවාව වන පොස්ට්නෝර්ඩ් ආයතනයේ සේවකයින් 1,500කට පමණ රැකියා අහිමි වී ඇත. නමුත් මෙම තීරණය මගින් පෙනී යන්නේ ලෝකයේ බොහෝ රටවල් ඉදිරියේදී සාම්ප්‍රදායික තැපැල් සේවාවෙන් බැහැර වී සම්පූර්ණයෙන්ම ඩිජිටල් සන්නිවේදනයට යොමු වනු ඇති බවත්, ඩෙන්මාර්කය ඊට පූර්වාදර්ශයක් දී ඇති බවත් ය.

​සාමාන්‍ය ලිපි බෙදා හැරීම සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු ප්‍රධාන රටවල් අතර ඩෙන්මාර්කය සිටියද, සමහර කුඩා රටවල් සහ ප්‍රදේශ මීට පෙර සාම්ප්‍රදායික තැපැල් ලිපි සේවා අඩු කර හෝ නතර කර තිබේ. ඒ අනුව එසේ කළ ලොව පළමු රට ඩෙන්මාර්කය නොවන බවට ද මත පළ වී තිබේ. කෙසේ වෙතත් සාමාන්‍ය ලිපි බෙදා හැරීම නතර කළ ද, ඩිජිටල් වේදිකා හරහා අත්‍යවශ්‍ය සන්නිවේදනයන් දිගටම පවතිනු ඇති බවත්, මෙම අත්හදා බැලෙන කාලය තුළ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා විකල්ප විධිවිධාන ලබාගත හැකි ක්‍රම පිළිබඳව කඩිනමින් සොයා බලන බවත් බලධාරීන් පවසා තිබේ.

​ඩෙන්මාර්කයේ තැපැල් සේවය වසර 400කට වඩා පැරණි අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියයි. එහි පදනම හතරවන ක්‍රිස්ටියන් රජු (King Christian IV) විසින් දමන ලද බව ඉතිහාසය කියයි. මේ කාලයේ අපේ රටේ පාලකයා වූයේ සෙංකඩගල රජකම් කළ සෙනරත් රජතුමා ය. 1624 දෙසැම්බර් 24 වන දින නිකුත් කරන ලද රාජකීය ආඥාවකට අනුව ඩෙන්මාර්කයේ ප්‍රථම නිල තැපැල් මාර්ග 9ක් ස්ථාපිත කරන ලදී. ආරම්භයේදී මෙම ලිපි ප්‍රවාහනය පයින් (Foot posts) සිදු කළ අතර පසුව අශ්ව රථ යොදා ගත් බව පැවසෙයි.

​මුල් කාලයේදී පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් පැවති මෙම සේවාව, 1711 දී රජයට පවරා ගන්නා ලදී. ඩෙන්මාර්ක තැපැල් සේවයට අනන්‍ය වූ රතු සහ කහ පැහැති නිල ඇඳුම් සහ ලාංඡන හඳුන්වා දෙන ලද්දේ ද මෙම කාලවකවානුවේදී ය. මෙම සේවාව ඩෙන්මාර්කය තුළ අතිශය ප්‍රචලිත වීම මත 1851 වසරේදී ඩෙන්මාර්කයේ පළමු තැපැල් මුද්දරය නිකුත් කරන ලදී. 1844 දී ඩෙන්මාර්කයේ ප්‍රථම දුම්රිය මාර්ගය ආරම්භ වීමත් සමඟ තැපැල් ප්‍රවාහනය ඉතා වේගවත් විය. 1851 දී ප්‍රසිද්ධ ස්ථානවල ලිපි දැමීම සඳහා රතු පැහැති තැපැල් පෙට්ටි ස්ථාපනය කිරීම ආරම්භ විය.

​පසුව ඩෙන්මාර්කය තුළ ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක් වූ මෙය 1995 දී පොස්ට් ඩෙන්මාර්ක් (Post Danmark A/S) නමින් රජය සතු සමාගමක් බවට පත් කරන ලද අතර, 2009 වසරේදී ඩෙන්මාර්කයේ පොස්ට් ඩෙන්මාර්ක් සහ ස්වීඩනයේ පොස්ටන් (Posten AB) යන ආයතන දෙක ඒකාබද්ධ වී පොස්ට්නෝර්ඩ් (PostNord) නමින් නව සේවා ජාලයක් බිහි විය. මෙය රටවල් දෙකක තැපැල් සේවාවන් ඒකාබද්ධ කළ සුවිශේෂී අවස්ථාවකි.

​ඩෙන්මාර්කය යනු තම රාජ්‍ය තැපැල් සේවය මෙලෙස නවීන ඩිජිටල් අවශ්‍යතා මත පදනම්ව සම්පූර්ණයෙන්ම වෙනස් කළ ලොව පළමු රටවල් කිහිපයෙන් එකක් සේ දැන් ඉතිහාසයට එක් ව අවසන් ය. ඒ අනුව අපගේ අදහස වනුයේ අප රටේ තැපැල් දෙපාර්තමේන්තුව ද නිරන්තරයෙන් පාඩු ලැබීම සහ එහි පවත්නා බරපතල සේවක හිඟය ආදී කරුණු අනුව ශ්‍රී ලංකා තැපෑල තුළ ද මෙම “ඩෙන්මාර්ක වෙනස” සිදුවිය හැකි බව ය. එහෙත් දියකාවාගේ දිය තුළ වික්‍රමය කිරීමට ගිය කපුටාට අත් වූ ඉරණමෙන් එය නිමා නොවේවා! යන්න අපගේ පැතුමයි.

​නමුත් 21 වන සියවස ආරම්භයේ සිට අන්තර්ජාලය සහ ඩිජිටල් සන්නිවේදනය ප්‍රචලිත වීමත් සමඟ ඉකුත් දෙසැම්බර් 30 දා පොස්ට්නෝර්ඩ් ආයතනය විසින් ඩෙන්මාර්කය පුරා ලිපි බෙදා හැරීමේ වසර 400ක ඉතිහාසය නිල වශයෙන් අවසන් කිරීම ලෝක තැපැල් ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියකි.

​ඩෙන්මාර්කය යනු තම රාජ්‍ය තැපැල් සේවය මෙලෙස නවීන ඩිජිටල් අවශ්‍යතා මත පදනම්ව සම්පූර්ණයෙන්ම වෙනස් කළ ලොව පළමු රටවල් කිහිපයෙන් එකක් සේ දැන් ඉතිහාසයට එක් ව අවසන් ය. ඒ අනුව අපගේ අදහස වනුයේ අප රටේ තැපැල් දෙපාර්තමේන්තුව ද නිරන්තරයෙන් පාඩු ලැබීම සහ එහි පවත්නා බරපතල සේවක හිඟය ආදී කරුණු අනුව ශ්‍රී ලංකා තැපෑල තුළ ද මෙම “ඩෙන්මාර්ක වෙනස” සිදුවිය හැකි බව ය. එහෙත් දියකාවාගේ දිය තුළ වික්‍රමය කිරීමට ගිය කපුටාට අත් වූ ඉරණමෙන් එය නිමා නොවේවා! යන්න අපගේ පැතුමයි.

​ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර