වනවාසල දුම්රිය අනතුර මහා විනාශයක පෙරනිමිත්තක්

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ඉකුත් 16 දා අලුයම සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය, දුම්රිය මාර්ගයේ ඇණ සහ කොටස් ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී අපරාධය සඳහා යොදාගත් බරපතළ උපකරණ රැසක් ද පොලිස් භාරයට ගැනීමට සමත්ව තිබේ. පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල අජිත්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පදිංචි නිවස සෝදිසි කිරීමේදී, ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ, දුම්රියේ පීලි මාරු කිරීම සඳහා යොදාගන්නා යකඩ ලීවර් 3ක් සහ දුම්රිය මාර්ගයේ කොටස් ගැලවීම සඳහා යොදාගත් විශේෂ උපකරණ කිහිපයක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

ඒ අනුව මෙම අනතුර සිදු වී ඇත්තේ, අදාළ දුම්රිය ධාවනය වූ ප්‍රධාන දුම්රිය මාර්ගය හා කැලණිය වනවාසල කසළ හුවමාරු මධ්‍යස්ථානය (Kelaniya Waste Transfer Station) තෙක් වැටී තිබූ අතුරු දුම්රිය මාර්ගය සම්බන්ධ වන පීලි මාරු කරන ස්ථානයේ (Points) කොටස් ගලවා ඉවත් කිරීම නිසා, එම දුම්රියේ දෙවන මැදිරිය අතුරු මාර්ගයට හැරී ධාවනය වීමෙන් (Two Road) බව මේ වන විට අනාවරණය වී තිබේ.

මේ වන විට සිදු කර ඇති පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වනවාසල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බවයි. ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවත්, මත්ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සෙවීමට දුම්රිය මාර්ගයේ යකඩ කොටස් ගලවා අලෙවි කිරීමට මොහු පෙළඹී ඇති බවටත් අනාවරණය වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරන්නේ, පෞද්ගලික ලාභ ප්‍රයෝජන හෝ වෙනත් කවර අරමුණකින් හෝ වේවා, දුම්රිය මාර්ගයේ කොටස්වලට මෙලෙස හානි පැමිණවීම ඉතාමත් භයානක තත්ත්වයක් බවයි. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් නුදුරේ දීම බරපතළ ජීවිත හා දේපළ හානියක් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව ද එම ආරංචි මාර්ග අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් අප කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණය වූයේ ප්‍රධාන දුම්රිය මාර්ග දෙපස රක්ෂිතවල නිවාස ඉදි කරගෙන ජීවත් වන නොවිධිමත් ආදායම්ලාභී පිරිස් අතරේ මෙම මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය වැඩිපුර සිදුවන බවකි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරන්නේ, පෞද්ගලික ලාභ ප්‍රයෝජන හෝ වෙනත් කවර අරමුණකින් හෝ වේවා, දුම්රිය මාර්ගයේ කොටස්වලට මෙලෙස හානි පැමිණවීම ඉතාමත් භයානක තත්ත්වයක් බවයි. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් නුදුරේ දීම බරපතළ ජීවිත හා දේපළ හානියක් සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව ද එම ආරංචි මාර්ග අනතුරු අඟවයි.

එමෙන්ම මෙම අනතුරට ලක් වූ දුම්රිය මන්දගාමී දුම්රියක් වූ අතර, වනවාසල දුම්රිය ස්ථානයේ නතර කොට ගමනාරම්භ කිරීමත් සමඟ එහි වේගය පැයට කිලෝමීටර් පහළොවකට වඩා අඩු මට්ටමක පවතිද්දී මෙම අනතුර සිදු වී ඇති බව අනාවරණය වී තිබේ. අනතුර සිදු වන අවස්ථාවේ එය ඊට වඩා වේගයකින් ධාවනය වූයේ නම් එම අනතුරේ බරපතළකම ද බෙහෙවින් ඉහළ යනු නියත ය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් මින් පෙර ක්‍රියාත්මක කළ රාත්‍රී මුර සංචාර සේවාවන් මේ වන විට නිසි පරිදි සිදු නොවන බවත්, ඉදිරියේදී සිදුවිය හැකි මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා එම සේවාවන් වහාම නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ලොකෝමෝටිව් ඉංජිනේරු (දුම්රිය රියැදුරු) සංගමය බලධාරීන්ගෙන් හදිසි ඉල්ලීමක් කරයි. එමෙන්ම, දුම්රිය ධාවනයේදී රියැදුරන් විසින් නිරීක්ෂණය කර පාලක මැදිරිය වෙත දැනුම් දෙන කරුණු සම්බන්ධයෙන් මීට වඩා දැඩි අවධානයක් යොමු කර, ඒවා නිසි බරකින් යුතුව සලකා බැලිය යුතු බව ද එම සංගමය අවධාරණය කර සිටී. ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කොට තිබේ. වනවාසල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ අංක 507 දරන දුම්රිය ධාවනය වීමට ප්‍රථම, අලුයම් යාමයේ එම මාර්ගයේ දුම්රියන් දෙකක් ධාවනය වී ඇති බව සභාපතිවරයා පෙන්වා දී තිබේ. “මුලින්ම එතනින් ධාවනය වුණේ ත්‍රිකුණාමලයේ සිට පැමිණි අංක 84 දරන රාත්‍රී තැපැල් දුම්රියයි. එහි රියැදුරු මහතාට වනවාසල අසල පිහිටි පාලන සංඥාවේ යම් දෝෂයක් නිරීක්ෂණය වී තිබෙනවා. ඔහු වහාම දුම්රිය නවත්වා ඒ පිළිබඳව දුම්රිය පාලක මැදිරිය දැනුවත් කළා. ඉන්පසු එතැනින් ලැබුණු උපදෙස් මතයි දුම්රිය ඉදිරියට ධාවනය කර තිබෙන්නේ. ඉන්පසුව කන්කසන්තුරේ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය ද මෙම ප්‍රමාදය නිසා වනවාසල දුම්රිය ස්ථානය අසල පාලන සංඥාවේ නතර කර ධාවනය කර තිබෙනවා.” ඔහු පවසා ඇත. එමෙන්ම කසළ හුවමාරු මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති ප්‍රධාන මාර්ගයේ “පොයින්ටුව” (Point) වෙත එල්ල වූ යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් මෙම දෝෂය හටගෙන ඇති බව සඳහන් කොට ඇති ඔහු පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කර සිටියි. මින් පෙර මාර්ග කර්මාන්ත අංශය මඟින් ක්‍රියාත්මක කළ, නමුත් දැනට අක්‍රිය වී ඇති රාත්‍රී මුර සංචාර සේවා වහාම ආරම්භ කිරීම සහ දුම්රිය ධාවනයේදී රියැදුරන් මුහුණ දෙන ගැටලු සහ නිරීක්ෂණය කරන දෝෂ පිළිබඳව පාලක මැදිරිය හෝ අනෙකුත් අංශ මඟින් කඩිනම් හා වගකිවයුතු මැදිහත්වීමක් සිදු කිරීම ඒ ඉල්ලීම් දෙක ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙය හුදෙක් සොරකමක් ලෙස පමණක් සලකා බැහැර කළ නොහැකි බවයි. “දුම්රිය මාර්ගයේ ඇණයක් හෝ ලීවර් එකක් ගැලවීම කියන්නේ එකවරම සිය ගණනකගේ ජීවිත අනතුරේ හෙළීමක්. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ ජාවාරම්කරුවන් දුම්රිය මාර්ගවල දේපළ සොරාගැනීම දැන් මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා. මේක ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක්. මෙවැනි සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයින්ට උපරිම දඬුවම් දිය යුතුයි වගේම, දුම්රිය මාර්ගවල ආරක්ෂාව වෙනුවෙන් වහාම විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සහ නිරන්තර මුර සංචාර ක්‍රියාත්මක කළ යුතුයි.” ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලාංකීය සමාජ ක්‍රමය ඛාදනය කරමින් පවතින දරුණුතම ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර, වර්තමානය වන විට තනි පුද්ගල සෞඛ්‍ය ගැටලුවකින් ඔබ්බට ගොස් ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට සෘජු තර්ජනයක් එල්ල කර ඇත. ඉහත සඳහන් සිදුවීම ඒ සඳහා එක් නිදසුනක් පමණි. කොටින්ම මින් පෙර සුලබව වාර්තා නොවූ අන්දමට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් තම තෘප්තිය උදෙසා වටිනා මිනිස් ජීවිත සහ පොදු දේපළ අමු අමුවේ වනසා දමන ඛේදනීය තත්ත්වයකට රට පත්ව ඇත. මේ මාරාන්තික වසංගතය මුලිනුපුටා දැමීම උදෙසා ජාතික ජන බලවේග රජය විසින් “රටම එකට” (A Nation United) ජාතික විෂ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම නිල වශයෙන් දියත් කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළේ මූලික ඉලක්කය වන්නේ 2030 වන විට මෙරට මත්ද්‍රව්‍ය සැපයුම සහ ඉල්ලුම සම්පූර්ණයෙන්ම තුරන් කිරීම බව පැවසෙයි. රජයේ ආරංචි මාර්ගවලට අනුව මෙම ජාතික මෙහෙයුම ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ප්‍රධාන ව්‍යූහයන් හතරක් ඔස්සේ රට පුරා ක්‍රියාත්මක වේ. ඒ ජාතික සභා, දිස්ත්‍රික් සභා, ප්‍රාදේශීය කමිටු සහ මහජන ආරක්ෂක කමිටු වශයෙනි. නමුත් කඩදාසි මත ලියැවුණු ඉහත සැලසුම් සහ ව්‍යුහයන් ඉතා ආකර්ෂණීය හා විද්‍යාත්මක බව පෙනී ගියද බිම් මට්ටමේ පවතින සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බවට ඉහත සිදුවීම එක් නිදසුනක් පමණි. මෙවැනි විධිමත් සංවිධාන ව්‍යුහයක් සහ මර්දන යාන්ත්‍රණයක් පවතින බව රජය පවසන පසුබිමක පවා, දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය අපරාධ, මංකොල්ලකෑම් සහ මත්ලෝලීන් අතින් සිදුවන ඝාතන පිළිබඳ පුවත් දෛනිකව වාර්තා වේ. ඉහත සඳහන් මත්ද්‍රව්‍ය ලෝලීන් දුම්රිය මාර්ග කොටස් ගලවා මහජන ජීවිත හා පොදු දේපළ වනසාලීමේ බිහිසුණු යාන්ත්‍රණයක් සම්බන්ධ තතු එළිදකිනුයේ ඒ අතරය. ඉන් අපට හැඟී යනුයේ වත්මන් රජයේ ප්‍රකාශයන් සහ සැලසුම් කෙතරම් ජනානන්දනීය වුවද, බිම් මට්ටම අනුව පවතින්නේ අතිශය මන්දගාමී සහ අකර්මන්‍ය ස්වභාවයක් බවකි. මත්ලෝලීන් විසින් තමන්ගේ මත්ද්‍රව්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සාමාන්‍ය වැසියන්ගේ ජීවිත සහ දේපළ බිල්ලට ගන්නා තැනට රට පත්වීම, රජයේ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේ පවතින දුර්වලතාවය මැනැවින් ප්‍රදර්ශනය කරන්නකි.

“රටම එකට” වැනි ජාතික මෙහෙයුම් තවදුරටත් හුදෙක් දේශපාලන සටන් පාඨ හෝ ලේඛනවලට පමණක් සීමා නොවිය යුතුය. 2030 ඉලක්කය සපුරා ගැනීමට නම්, පවතින ව්‍යුහාත්මක අකර්මන්‍යතාවයෙන් මිදී, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සැබෑ ලෙසම ශක්තිමත් කරමින්, දේශපාලන භේදයකින් තොරව ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති වුවහොත්, මෙම ජාතික මෙහෙයුමද වත්මන් ආණ්ඩුවේ තවත් එක් අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

ඒ අනුව “රටම එකට” වැනි ජාතික මෙහෙයුම් තවදුරටත් හුදෙක් දේශපාලන සටන් පාඨ හෝ ලේඛනවලට පමණක් සීමා නොවිය යුතුය. 2030 ඉලක්කය සපුරා ගැනීමට නම්, පවතින ව්‍යුහාත්මක අකර්මන්‍යතාවයෙන් මිදී, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සැබෑ ලෙසම ශක්තිමත් කරමින්, දේශපාලන භේදයකින් තොරව ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැති වුවහොත්, මෙම ජාතික මෙහෙයුමද වත්මන් ආණ්ඩුවේ තවත් එක් අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.

රීටා ජෙනට් පෙරේරා

 

එතෙර - මෙතෙර