ෂාරුක් ඛාන් ගේ මීළඟ චිත්‍රපටය ඔහුගේ සිනමා දිවිය තුළ ඔහු රඟපාන ඉතා විශේෂ චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැකියි. එයට හේතුව ඔහු පළමු වතාවට සිය දියණිය සමග චිත්‍රපටයක රඟපෑම යි.
ෂාරුක් සහ 23 වැනි වියෙහි පසුවන ඔහුගේ දියණිය සුහානා ඛාන් තමයි මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ. මෙම චිත්‍රපටයේ නම King. ෂාරුක්, සුහානා දෙදෙනාට අමතරව අභිෂේක් බච්චන් ද මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතයක් රඟපානවා. ඔහු රඟපාන්නේ දුෂ්ඨයාගේ චරිතය බවයි සඳහන් වන්නේ.
King චිත්‍රපටයේ කතා පුවත ගැන තවමත් වැඩි විස්තරයක් ප්‍රසිද්ධියට පත් වී නැහැ. නමුත් එය පාතාල ලෝකය පසුබිම් කරගත් කතාවක් රැගත් චිත්‍රපටයක් බවට යම් යම් තොරතුරු පළ වී තිබෙනවා. සුහානා මෙහි රඟපාන චරිතයේ උපදේශකයකු, මගපෙන්වන්නකු හැටියට තමයි ෂාරුක් රඟපාන බව කියන්නේ. එය එක්තරා විදියකට ගුරුවරයකු සහ ගෝලයකු පිලිබඳ කතාවක් ලෙසත් හඳුන්වන්න පිලිවන්.
ෂාරුක්ගේ දරුවන් තිදෙනා අතරින් දැනට ඔහුගේ අඩි පාරේ යන බව පෙනෙන්නේ සුහානා පමණයි. ෂාරුක් ගේ වැඩිමල් පුත්‍රයා වන ආර්යන් ද කලා කටයුතුවලට සම්බන්ධ වුවත් ඔහු රංගනයට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ආර්යන් වැඩි කැමැත්තක් දක්වන්නේ අධ්යක්ෂණයට සහ තිර රචනයට බව සඳහන් වෙනවා. නළුකමට පිවිස තාත්තාගේ දැවැන්ත ප්‍රතිරූපය සමග තරග කරන්නට සමහර විට ඔහු කැමැති නැතිව ඇති. ආර්යන් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරමින් සිටින බවක් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබුණා.
සුහානා කලක් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට බැඳී සිනමා රංගනය ගැන පාඨමාලාවකුත් හැදෑරුවා.
ඇය සිය පියා සමග රඟපාන King චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු තවමත් ආරම්භ වී නැහැ. නමුත් මේ දිනවල චිත්‍රපටය ගැන ඉන්දියානු සිනමා ක්ෂේත්රයේ යම් අවධානයක් යොමු වෙමින් තිබෙනවා. ඒ, එහි රූපගත කිරීම් තව ටික දවසකින් ආරම්භ වීමට නියමිතව තිබීම නිසා යි. ලබන මාසයේ, එනම් 2025 ජනවාරි මාසයේ —-හි රූපගත කිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙය ඉතා නාටකීය සිදුවීම් ඇතුළත් ක්‍රියාදාම (Action) චිත්‍රපටයක් බව සඳහන්. එහි ක්‍රියාදාම ජවනිකා තරමක් වෙනස් ආකාරයෙන් නිර්මාණය කිරීමට චිත්‍රපට කණ්ඩායම බලාපොරොත්තු වන බවටත් කතාවක් තිබෙනවා. මේ නිසා චිත්‍රපටයේ වැඩ පටන් ගන්නා තුරු ෂාරුක් පවා තරමක් නොඉවසිල්ලෙන් සිටින බවයි සඳහන් වන්නේ. නිශ්පාදකයන් පවසා ඇත්තේ King චිත්‍රපටය වෙනස්ම ආකාරයක ක්‍රියාදාම චිත්‍රපටයක් වනු ඇති බව යි. මෙය අධ්‍යක්ෂණය කරන්නේ ඉතා දක්ෂ චිත්‍රපට අධ්යක්ෂවරයකු වන සුජෝයි ගෝෂ්.
මෙහි රූපගත කිරීම්වල පළමු අදියර මුම්බායි අවට සිදු වනු ඇති බවත්, දෙවැනි අදියර සඳහා චිත්‍රපට කණ්ඩායම යුරෝපය බලා යනු ඇති බවත් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. යුරෝපයේ ඉතා සුන්දර ඉසව්වල මෙය රූපගත කිරීමට නියමිත යි. රූගත කිරීම් ජනවාරි මාසයේ ආරම්භ කිරීමට යොදාගෙන ඇත්තේත් ඒ කාලයේ යුරෝපයේ පරිසර තත්වයන් හසු කර ගැනීමට අවශ්‍ය වූ නිසා ලු ! යුරෝපයේ කැමරාගත කිරීම් ආරම්භ කරන්නේ පෝලන්තයෙන් බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබෙනවා. අනෙක් යුරෝපා රටවල් ගැන වැඩි විස්තරයක් සඳහන් වන්නේ නැහැ.
රූපගත කිරීම් ලබන වසරේ අගෝස්තු- සැප්තැම්බර් කාලය දක්වා සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.
King ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතව තිබෙන්නේ 2026 වසරේ යි.
පසුගිය වසර ෂාරුක් ගේ රංගන ජීවිතයේ ඉතාම සාර්ථක වසරක් වුණා. ඔහු රඟ පෑ චිත්‍රපට තුනක්ම 2023 වසරේ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියා. ඒ ‘පතාන්’, ‘ජවන්’ සහ ‘ඩන්කි’ යන චිත්‍රපට යි. මේ අතරින් ‘පතාන්’ සහ ‘ජවන්’ අතිශයින් සාර්ථක වූ අතර ආදායම් වාර්තා තබමින් තිරගත වුණා. එම වසරේ වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු චිත්‍රපට පිලිබඳ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටින්නේ ‘ජවන්’ චිත්‍රපටය යි. ‘පතාන්’ දෙවැනි තැන හිමි කරගෙන සිටිනවා. එම චිත්‍රපට ලොව පුරා ප්රදර්ශණයෙන් උපයන ලද ආදායම් පිලිවෙලින් ඉන්දියානු රුපියල් කෝටි 1,150 ක් (ලංකා රුපියල් කෝටි 4,000 ක්) සහ කෝටි 1,050 ක් ( ලංකා රුපියල් කෝටි 3,600 ක්).
ෂාරුක් මෙම චිත්‍රපටවල රඟපෑවේ වසර හතරක පමණ විරාමයකින් පසුව වීමත් විශේෂත්වයක්. ඔහු එවැනි විරාමයක් ගත්තේ ඒ කාලයේ ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයක් සිතූ තරම් සාර්ථක නොවීම නිසා යි. ඒ හේතුවෙන් ෂාරුක් යම් පසුබෑමකට ලක්ව සිටි බවට කතා පළවුණා. සමාජ මාධ්‍ය තුළ ද මේ සම්බන්ධයෙන් බොහෝ අදහස් පළ වූ බව රහසක් නොවෙයි. ඇතැමුන් සඳහන් කළේ දැන් ෂාරුක්ට විශ්‍රාම ගැනීමට කාලය හොඳ බව යි. නමුත් ඔහු ඒ සියලු කතා අවලංගු කර දමමින් සුපිරි වාණිජ චිත්‍රපට දෙකක් බොලිවුඩයට දායාද කළා.
‘පතාන්’ සහ ‘ජවන්” සිනමා ලෝලීන් වසඟයට ගැනීමට සමත් වූ නිසා ෂාරුක් ගේ ඊළඟ චිත්‍රපටය ගැනත් ඔහුගේ රසික රසිකාවියන් පසුවන්නේ බොහෝ බලාපොරොත්තු සහගතව යි. මේ නිසා ඔහු සහ දියණිය සුහානා හමුවේත්, King -චිත්‍රපටයේ නිශ්පාදන කණ්ඩායම හමුවේත් විශාල අභියෝගයක් ඇති බව පැවසිය හැකියි.
නිහාල් පීරිස්