අනිත් බඩු මිල ඉහළ තිබිය දී මත්පැන් මිල විතරක් පහත හෙළන්න බැහැ

මත්පැන් මිල පහළ දැමීමක් පිළිබඳව පසුගිය සතියේ සමාජ මාධ්‍ය වල සඳහන් වුවද රජය එවැනි කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවත් සෙසු භාණ්ඩ ඉහළ මිලක පවතිද්දී සුරාව විතරක් අඩුකිරීමේ සාධාරණ ක්‍රමවේදයක් රජයකට නොමැති බවත් වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.වැඩබලන මුදල් අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(23) පාර්ලිමේන්තු විවාදයකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙසේ ද කීය.
“2023දී මත්පැන් මිල වැඩිකිරීමත් එක්ක ලංකාවේ සුරා භාවිතය අඩුවුණා . මේ අවුරුද්දේ මේ මාස කිහිපය තුළ සියයට 30ක ආදායම අඩුවීමක් අපිට තියෙනවා. මේක අඩුවීම හොඳයි. සුරාව පාලනය කරන්න ඕනේ. හැබැයි මේ අඩුවීම යොමුවෙන්නේ නිත්‍යානුකූල නොවන පානයක් සඳහා නම් රාජ්‍ය ආදායමත් නෑ.මේ රටේ රෝගීන් බිහිකරන කිසිදු පාලනයක් නැති පානයක් තමයි එතන යන්නේ. ඉතින් මේක ගැන කල්පනා කළ යුතුයි. නමුත් අපිට මිල අඩුකරන්න බෑ. මම දැක්කා පහුගිය සතියේම සමාජ මාධ්‍ය ජාලාවල ගියා සුරා මිල අඩුකරන්න රජය සූදානම් කියලා. නෑ අපිට අඩුකරන්න බෑ.අපි බැඳිලා ඉන්නවා ගරු නියෝජ්‍ය කථානායකතුමනි. රටක උද්ධමන වේගයට සමානව සුරාබදු වැඩිකළ යුතුයි කියන නියමයට නැත්නම් මේ අනිත් භාණ්ඩ ඉහළ මිලක තියෙද්දී සුරාව විතරක් අඩුකිරීමේ සාධාරණ ක්‍රමවේදයක් රජයකට නෑ.”

කාලීන පුවත්