ආසියානු කුසලාන අවසන් තරගයේ සුපිරි පන්දු යවන්නා මොහොමඩ් සිරාජ් ගැන සටහනක්

cricbuzz cricinfo - live espncricinfo cricket live क्रिकेट cricinfo t20 क्रिकेट का स्कोर live score cricket

මේ දිනවල එක්දින ක්‍රිකට් ලෝකයේ වඩාත්ම කතාබහට ලක්ව සිටින පන්දු යවන්නා ඉන්දියානු පිලේ මොහොමඩ් සිරාජ් යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. 29 වැනි වියෙහි පසුවන ඔහු පසුගිය ඉරිදා (17) පැවැති ආසියානු කුසලාන අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවේ සිහින සුණුවිසුණු කරමින් දැක් වූ දස්කම තව කාලයකට ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන්නක් වනු නොඅනුමාන ය. සිරාජ් පන්දු ඕවර 7 ක් තුළ ලකුණු 21 කට කඩුළු 6 ක් දවාලූ අතර එයින් කඩුළු 4 ක්ම දවා ගත්තේ එකම ඕවරයක් තුළ වීම විශේෂත්වයකි. ඔහුගේ විස්මයජනක පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිලට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 50 ක් පමණි. පන්දු ඕවර 15.2 ක් තුළ ශ්‍රී ලංකා ඉනිම අවසන් වූ අතර මෙම ලකුණු 50 හඹා යාමට ඉන්දීය පිලට වැය වූයේ ඕවර 6.1 ක් පමණි.

ඉන්දීය පිල 2023 ආසියානු කුසලානය දිනාගත්තේ සිරාජ් එරට ක්‍රිකට් ලෝලීන්ගේ අසහාය වීරයා බවට පත් කරමිනි. එමෙන්ම තරගයේ වීරයා ලෙස තමාට ලැබුණු ඇමරිකානු ඩොලර් 5,000 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 16 ක) ත්‍යාගය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පිටිවල සේවය කරන කම්කරුවන් (Groundsmen) වෙනුවෙන් පරිත්‍යාග කිරීම හේතුවෙන් ඔහුගේ වීරත්වයට තවත් දීප්තියක් එක් විය. මහ වැසි මැද පැවැති තරගවල දී මෙම කම්කරුවන් කළ සේවය කාගේත් අගැයුමට ලක් වූ බව රහසක් නොවේ.

ආසියානු කුසලාන ඕවර 50 තරග ඉතිහාසය තුළ කඩුළු 6 ක් ලබාගත් දෙවැනි පන්දු යවන්නා සිරාජ් ය. මෙයට පෙර එම දස්කම දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස් ය. ඒ 2008 වසරේ ඉන්දියාව සමග පැවැති තරගයක දී යි. ඔහු එම තරගයේ දී කඩුළු 6 දවා ගත්තේ ලකුණු 13 කට ය.

එක්දින තරග ඉතිහාසය තුළ එකම ඕවරයක දී කඩුළු හතරක් දවාගෙන තිබුණේ පන්දු යවන්නන් තිදෙනෙකු පමණි. ඒ චමින්ද වාස්, මොහොමඩ් සාමි සහ ලසිත් මාලිංග යන තිදෙනා යි. දැන් සිරාජ් ද එම ගොඩට එක්ව සිටියි. අඩුම පන්දු ගණනක් තුළ කඩුළු 5 ක් දවාගැනීමේ වාර්තාව සම කිරීමට ද සිරාජ්ට හැකි වී ඇත. එම වාර්තාවට හිමිකම් කියන අනෙක් පන්දු යවන්නා ශ්‍රී ලංකාවේ චමින්ද වාස් ය. ඔවුන් දෙදෙනා මෙම වාර්තාව පිහිටුවා ඇත්තේ පන්දු 16 ක් තුළ කඩුළු 5 ක් ලබා ගනිමිනි.

මේ වසරේ ජනවාරි මාසයේ අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක්දින පන්දු යවන්නන් අතර අංක 1 ස්ථානයේ සිටියේ ද සිරාජ් ය. කෙසේ නමුත් මේ වනවිට ඔහු සිටින්නේ 9 වැනි ස්ථානයේ යි.

සිරාජ්ගේ මව්පියන් එතරම් වත්පොහොසත්කම් තිබූ අය නොවන බව සඳහන් වේ. ඔහුගේ පියා ත්‍රී රෝද රථ රියදුරෙකු වූ අතර මව ගෘහණියකි. කෙසේ නමුත් තමාගේ ක්‍රිකට් දිවියට පියාගෙන් ලැබුණු සහය ගැන සිරාජ් නිතර කතා කරයි. ක්‍රිකට් පිටිවල වැඩ කරන කම්කරුවන්ට තම මුදල් ත්‍යාගය පරිත්‍යාග කිරීමට පසුගිය ඉරිදා ඔහුට සිතුණේ ද තම අතීතය පිලිබඳ පැවති මතකයන් නිසා විය හැකිය.

සිරාජ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක් වී තිබුණේ නවසීලන්තය සමග පැවැති විස්සයි විස්ස තරගයකිනි. ඒ 2017 වසරේ ය. ඉන්පසු 2019 වසරේ ඔහු පළමු එක් දින ජාත්‍යන්තර තරගයට සහභාගි වූ අතර 2020 පළමු ටෙස්ට් තරගයට සහභාගි විය. මේ වනවිට ඔහු විස්සයි විස්ස කඩුළු 11 ක් ද, එක්දින කඩුළු 53 ක් ද, ටෙස්ට් කඩුළු 59 ක් ද ලබාගෙන තිබේ. අයි.පී.එල් තරගාවලියේ දී සිරාජ් ක්‍රීඩා කරන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙනි.

ඔහු දැඩි පාපන්දු ලෝලියකු බව ද සඳහන් වේ. ඔහුගේ ප්‍රියතම පාපන්දු ක්‍රීඩකයා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. සිරාජ් කඩුල්ලක් දවා ගැනීමෙන් පසු දක්වන ඉරියව්ව සහ රොනාල්ඩෝ ගෝලයක් රැස් කිරීමෙන් පසු දක්වන ඉරියව්ව අතර ද සමානකමක් තිබේ.

පාසල් කාලයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙද්දී සිරාජ් දැක් වූ දක්‍ෂතා දැක ඔහු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු වීම සඳහා පොළඹවා තිබුණේ ඔහුගේ මිතුරන් බව ද සඳහන් වේ.

නිහාල් පිරිස්

රසගඟුල