ඉන්දියාවේ මල්ලවපොර ක්‍රීඩිකාවන් ඔලිම්පික් පදක්කම් ගඟට විසි කරන්න ගියේ ඇයි?

ඉන්දියාවේ ආණ්ඩු පක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂයේ මන්ත්‍රීවරයකු එරට ඉහළම පෙලේ මල්ලව පොර ක්‍රීඩිකාවන් පිරිසකට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනාවක් මේ දිනවල එරට මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගෙන තිබේ. භාරතීය ජනතා පක්‍ෂය යනු ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි ද අයත් වන පක්‍ෂය යි.

මෙම චෝදනාවලට ලක්වන මන්ත්‍රීවරයාගේ නම භූෂන් ෂරන් සිං ය. 66 හැවිරිදි පුද්ගලයකු වන ඔහු ඉන්දීය මල්ලව පොර සම්මේලනයේ සභාපතිවරයා ද වේ. ඔහු කලක සිටම මල්ලව පොර ක්‍රීඩිකාවන්ට විවිධ බලපෑම් කරමින් ලිංගික හිරිහැර කරමින් සිටින බවට මෙම ක්‍රීඩිකාවෝම චෝදනා කරමින් සිටිති. ඔලිම්පික් පදක්කම් වැනි ඉහළම මට්ටමේ ජාත්‍යන්තර පදක්කම් දිනාගත් විනේෂ් ෆෝගත්, සක්‍ෂි මලික්, බජ්රාංග් පූනියා වැනි ක්‍රීඩිකාවන් ද මේ අතර සිටිනු දැකිය හැකි වේ.

භූෂන් සිංට එරෙහි මෙම චෝදනා මුලින්ම කරළියට ආවේ පසුගිය ජනවාරි මාසයේ යි. ඒ ඔහුට එරෙහිව ඉහත කී ක්‍රීඩිකාවන් ප්‍රසිද්ධියේ විරෝධතාවක් පැවැත්වීමත් සමග ය. භූෂන්ගේ ලිංගික අතවරවලට ලක් වූ ක්‍රීඩිකාවන් අතර බාල වයස්කාර දැරියක ද සිටින බව සඳහන් ය. ඔහුගේ වුවමනාවන්ට එකඟ නොවුණහොත් තරගාවලිවලට තෝරා ගැනීමේ දී ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි ඔහු සමහර අවස්ථාවල ක්‍රීඩිකාවන් බිය වද්දා ඇති බවට ද චෝදනා නැගේ. ක්‍රීඩිකාවන්ගේ පියයුරු, තට්ටම් ඇතුළු අඟපසඟ ස්පර්ශ කිරීම, සිප වැළඳ ගැනීම වැනි ක්‍රියාවන්හි නියැලුණු බවට ඔහුට චෝදනා එල්ල වේ. සමහර අවස්ථාවල භූෂන් ක්‍රීඩිකාවන්ගේ පියයුරු ස්පර්ශ කර ඇත්තේ ඔවුන්ගේ ආශ්වාස ප්‍රශ්වාසය පිරික්සා බැලීමට බව කියමින් යයි ද සඳහන් ය.

එක් අවස්ථාවක ඔහු ක්‍රීඩිකාවකට මරණ තර්ජන එල්ල කර ඇති බවක් ද සඳහන් ය. ඒ එම ක්‍රීඩිකාව තමුන් මුහුණ දුන් අතවර සම්බන්ධයෙන් අගමැති මෝදි ට පෞද්ගලිකවම පැමිණිලි කළ අවස්ථාවක ය.

කෙසේ හෝ වේවා, කලින් සඳහන් කළ පරිදි ක්‍රීඩිකාවන් පසුගිය ජනවාරි මාසයේ ඔහුට එරෙහිව විරෝධතා දැක්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වන බවට බලධාරීන් සහතික වී තිබිණි. ඒ අනුව ක්‍රීඩිකාවෝ විරෝධතාව අවසන් කළහ. මෙම විමර්ශණයේ වාර්තාව පසුගිය අප්‍රේල් 5 වැනි දින අදාළ බලධාරීන්ට භාර දී තිබිණි. නමුත් එය ප්‍රසිද්ධියට පත් කර තිබුණේ නැත. මෙම වාර්තාව සම්බන්ධයෙන් ද ක්‍රීඩිකාවන්ට ප්‍රශ්න තිබූ බව පෙනිණි. ඔවුන් චෝදනා කළේ අදාළ විමර්ශණය සිදු කර ඇත්තේ භූෂන් සිංට වාසිදායක ආකාරයෙන් බව යි. කෙසේ හෝ වේවා, ඔහු සම්බන්ධයෙන් පියවර ගැනීම තවදුරටත් ප්‍රමාද වෙද්දී මල්ලවපොර ක්‍රීඩිකාවෝ අප්‍රේල් 23 වැනි දින සිට නැවතත් විරෝධතාවක් ආරම්භ කළෝය. ඔවුහු මේ වනවිටත් එම විරෝධතාව ඉදිරියට ගෙන යමින් සිටිති. ක්‍රීඩිකාවන්ගේ ප්‍රධානම ඉල්ලීම වන්නේ භූෂන් සිං වහා අත්අඩංගුවට ගත යුතුය යන්න යි.

භූෂන් සිංට විරුද්ධව පියවර නොගන්නේ ඔහු ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයකු නිසා බවට එරට විරුද්ධ පක්‍ෂ චෝදනා කරමින් සිටියි. මෙහි දී අගමැති මෝදි ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් ද දැඩි විවේචනයට ලක් වනු දැකිය හැකි වේ.

තම විරෝධයේ තවත් පියවරක් ලෙස මල්ලව පොර ක්‍රීඩිකාවන් ඔවුන් දිනාගෙන ඇති පදක්කම් ගංගා නදියට විසි කිරීමට ද සූදානම් වූහ. නමුත් විවිධ පාර්ශ්වවල ඉල්ලීම් නිසා පසුව ඔවුන් එම තීරණය වෙනස් කළ බවක් දැකිය හැකි විය. මේ වනවිට තවත් බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයෝ මෙම ක්‍රීඩිකාවන්ගේ සහයට ඉදිරිපත්ව සිටිති. 1983 වසරේ ඉන්දියාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ කපිල් දේව් ඇතුළු ක්‍රීඩකයෝ ද ඒ අතර වෙති. හින්දි සිනමාවේ ජනප්‍රිය චරිත වන නසිරුද්දීන් ෂා, පූජා භාත්, ස්වරා භාස්කර් වැනි අය ද ක්‍රීඩිකාවන් වෙනුවෙන් හඬ අවදි කර තිබිණි.

ක්‍රීඩිකාවන්ගේ විරෝධතා ඉදිරියට යද්දී සහ විවිධ පාර්ශ්ව වෙතින් ඊට සහය පළවෙද්දී ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමැති අමිත් ෂා ක්‍රීිඩිකාවන් හමු වී ඔවුන් සමග සාකච්ඡාවක් පවත්වා තිබිණි. මෙම සිද්ධිය ගැන උනන්දුව දක්වන කව්රුත් දැන් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී භූෂන් සිංට එරෙහිව පියවර ගැනීමට බලධාරීන් කටයුතු කරනු ඇත් ද යන්න ගැන ය.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්