ඔබේ සුරතලාට ඇති ආදරය නිසා ඔබ දෙන ඇතැම් ආහාරපාන ඔවුන්ට විෂ විය හැකියි

sunaka

ඔබේ සුරතල් සුනඛයාට මෙන්ම බළලාට ද ඔබ විසින් ලබා දෙන ආහාර පාන මෙන්ම ඇතැම් ඖෂධ වුවද ඔබද නොදැනුවත්වම ඔවුන්ට විෂ විය හැකියි. මෙම සමහර ද්‍රව්‍ය එක්වරම විෂ විය හැකි වුවද, තවත් සමහර විෂ ටිකෙන් ටික ශරීරයට එකතු වී කලක් ගත වන විට සතා රෝගී බවට පත් කරනවා. එවිට එම රෝගයට හේතුව ඔබට තබා ඇතැම් විට පශු වෛද්‍යවරයාටවත් සොයාගත නොහැකි විය හැකියි.

බළලුන්ට විෂ විය හැකි ආහාරපාන

ගෙදර ඇති කරන බළලුන්ට අපි දිනකට දෙවේලක් හෝ තුන් වේලක් වුවද බත් දීමට පුරුදු වී සිටියත් බළලුන් මාංශ භක්ෂකයි. ඒ නිසා නිවෙස්වල ඇති කරන මොවුන්ට විශේෂ ප්‍රෝටීන අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ අනුව Arginine සහ torine යන ඇමයිනෝ අම්ල බළලාට පිටින් ලබා ගන්නට සිදු වෙනවා. ඒවා අඩංගු වන්නේ අමු මස් සහ අමු මාළුවලයි. මෙම ආහාර ඇතැම් අවස්ථාවලදී ඔබ විසින් ලබාදීම තුළින් මෙන්ම සතුන් දඩයම් කර ආහාරයට ගැනීම තුළින් ද බළලා එම අවශ්‍යතාවය සපුරා ගන්නවා. සමහර බළලුන්ට බත් පාන් ආදී පිෂ්ඨය සහිත ආහාර අසාත්මිකතා ඇති කළ හැකියි. එනිසා බළලුන්ට එවැනි අසාත්මිකතාවයක් ඇතිවී නිතර ස්වල්ප වශයෙන් මලපහ වීම වැනි තත්ත්වයක් ඇති වුවහොත් අමු මාළු ලබා දීම සුදුසුයි. මෙහිදී සුදුසුම අමු සාලයන් දීමයි.

බළලුන්ට පැරසිටමෝල් ඖෂධය අහිතකර බව ඔබ ඇතැම්විට නොදන්නවා ඇති. අඩුම තරමින් පැරසිටමෝල් පෙති කාලක් පමණ දුන්නත් ඒ සුළු ප්‍රමාණය පවා බළලාට විෂ වෙනවා. ඊට හේතුව ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේ දී පැරසිටමෝල් සඳහා අවශ්‍ය වන එන්සයිමය බළලාගේ ශරීරයෙහි නොමැති වීමයි. ඒ අනුව පැරසිටමෝල් ඉතාම සුළු ප්‍රමාණයක් ලබා දුන්නත් එමඟින් බළලාගේ අක්මාවට හානි සිදු වී බළලා මිය යාමට තිබෙන අවකාශය ඉතාමත්ම වැඩියි.

සමහරු බළලුන්ගේ ශරීරයේ මැක්කන් කිනිතුල්ලන් වැනි සතුන් සිටින විට අත් බෙහෙතක් ලෙස පොල්තෙල් සහ කපුරු එකට මිශ්‍රකර සතාගේ සමේ ආලේප කරනවා. මෙම බෙහෙත ද බළලුන්ට ඉතා අහිතකරයි. පොල්තෙල් යනු කපුරු උරා ගැනීම සඳහා හොඳ මාධ්‍යයක්. එනිසා මේ දෙක මිශ්‍ර කර ආලේප කළ විට ඉතා ඉක්මනින් කපුරු බළලා ගේ ශරීරයට උරා ගන්නවා. මෙම අත් බෙහෙත නිසා බළලාට පාචනය වැළඳී බළලා වෙව්ලමින් වේදනාත්මක මරණයක් අත්විය හැකියි.

ලූනු, සුදු ලූනු යන මේවා බළලාගේ ආහාරයට වැඩි ප්‍රමාණයක් එකතු වීම ද කිසිසේත් ම හිතකර වන්නේ නෑ. ඇතැම්විට මෙය සුළු සුළු ප්‍රමාණවලින් බළලාගේ ආහාරයට ඔබ එකතු කරනවා වෙන්නට පුළුවන්. නමුත් කාලයක් මෙසේ දීම තුළින් බළලාගේ රතු රුධිරාණු සෛලවලට බලපෑම් ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙමගින් රතු රුධිරාණු සෛල සුළුවෙන් හෝ විනාශ විය හැකියි. එය ඉතා හොඳින් දැකිය හැකි ලක්ෂණයක් වන්නේ බළලාගේ මුඛයෙහි විදුරුමස් සුදු හෝ කහ පැහැය ගැනීමයි. මේ හේතුව නිසා ඇතැම් විට බළලා මරණයට පත්වන්නට වුවත් පුළුවන්.
ලූනු සහ සුදුලූනු සුනඛයන්ට ද අහිතකරයි. මේ නිසා ඔවුන් එකවරම රෝගී නොවුණත් කාලයක් තිස්සේ මේවා ආහාරයට ගැනීම නිසා පසුකාලීනව ඔවුන්ටත් විවිධ රෝග තත්ත්වයන් හට ගත හැකියි.

චොක්ලට්ද බළලුන්ට හිතකර ආහාරයක් නොවෙයි. එහි අඩංගු methyl xanthine යන රසායනිකයන් බළලුන්ට අහිතකර වන අතර සුනඛයන්ට ද චොක්ලට් කෙසේවත් හිතකර වන්නේ නෑ. මේවායින් සතා එකවරම ⁣රෝගී නොවන මුත් කලක් ගත වෙද්දී රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. නමුත් වැඩිපුර චොක්ලට් කෑවොත් සතා ඉක්මනින්ම රෝගී විය හැකියි.

⁣බළලුන්ට තවත් අහිතකර දෙයක් තමයි තේ සහ කෝපි. කාලයක් තිස්සේ තේ සහ කෝප පානය කළොත් ඒවායේ අඩංගු කැෆේන් නමැති රසායනිකය බළලාගේ ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් ඇති කරනවා. මින් සතා මිය යාමට වුවත් හැකියාවක් තිබෙනවා.

මතක තබා ගන්න. සුනඛයන්ටත් තේ සහ කෝපි මෙලෙසින් ම අහිතකරයි.
පැඟරි වර්ගයේ පලතුරු වන දෙහි, දොඩම්, ජම්බෝල ආදිය ගැනීම තුළින් බළලුන්ගේ ස්නායු පද්ධතියට බලපෑම් ඇති වෙනවා. මෙමගින් විවිධ අසාත්මිකතා හට ගත හැකි අතර ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ඉන් බාධා ඇති වෙනවා.

සුනඛයන්ට විෂ විය හැකි ආහාරපාන

ඉහතද සඳහන් කළ පරිදි චොක්ලට් , ලූනු සහ සුදුලූනු වගේම තේ සහ කෝපිද සුනඛයන් ට අගුණ යි. තේ සහ කෝපිවල අඩංගු කැෆේන් මගින් සුනඛයන් ට මලබද්ධය ඇතිවිය හැකියි. එමගින් ආහාර ජීරණය අපහසු වී විජලනය ඇති වී සුනඛයන් මිය යාමට පුළුවන්. මෙය එකවරම සිදුවන දෙයක් නොවෙයි කාලයක් තිස්සේ කැෆේන් ගැනීම නිසා මේ තත්ත්වය හට ගන්නට ඉඩ තිබෙනවා.

සුනඛයන්ට තවත් ඉතාම අහිතකර පලතුරු වර්ගයක් තමයි මිදි. මෙමඟින් සතාගේ රුධිරයේ සීනි මට්ටම එකවර ඉහළ යනවා. කලක් තිස්සේ මිදි ආහාරයට ගැනීමෙන් වකුගඩු අකර්මණ්‍ය වී සතා මිය යා හැකියි.
අලිගැටපේර ද සුනඛයන්ට අහිතකර පලතුරු වර්ගයක්. මේවා අසාත්මික වී වමනය පාචනය වැනි අපහසුතා සහ ආහාර අරුචිය ඇති වී සුනඛයන් මියයන්න පුළුවන්.
අප දත් මැදීම සඳහා භාවිත කරන ටූත්පේස්ට් ද සුනඛයන්ට විෂ සහිතයි. ඒවා ඔවුන්ට ගිලුනොත් විවිධ අසාත්මිකතා ඇතිවෙනවා.

අයිස්ක්‍රීම් සහ පැණි රස ටොෆි වර්ග නිසා රුධිරයේ සීනි මට්ටම වැඩි වී සුනඛයන්ගේ අක්මාව අකර්මණ්‍ය වෙන්න පුළුවන්. මෙය එකවරම සිදුවන තත්ත්වයක් නොවෙයි. කලක් තිස්සේ ටික ටික ගැනීම තුළින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා මේ තත්ත්වය උදා වෙන්න පුළුවන්.
අමු තක්කාලිවල අඩංගු සොලනින් නම් රසායනිකය ද සුනඛයන්ට විෂ සහිතයි.
මේ හැරුණු විට සුනඛයන්ට ද පැරසිටමෝල් එතරම් හිතකර නෑ. එම ඖෂධය භාවිතා කළ යුතුම වූ අවස්ථාවක සුළු වශයෙන් ලබා දීම අගුණ නොවිය හැකි මුත් වැඩි ප්‍රමාණයක් ගැනීම නම් සුනඛයන්ට ද අයහපත් ප්‍රතිඵල උදාකර වන්න පුළුවන්.

රජයේ පශු වෛද්‍ය නිලධාරිනී නදීකා දිල්රුක්ෂි

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය