ක්‍රිකට් ලෝකයේ සහ සිනමාවේ සුපිරි තරු දෙකක් එකම චිත්‍රපටයක

දකුණු ඉන්දියානු සිනමාවෙන් පසුගිය දිනවල අපූරු කතාවක් වාර්තා වී තිබිණි. එනම් ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරුවක් සහ සිනමාවේ සුපිරි තරුවක් එකම සිනමාපටයකින් ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත බවයි. ඒ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් සේ සැලකෙන කපිල් දේව් සහ දෙමළ සිනමාවේ පුරාවෘත්තයක් වන රජිනිකාන්ත් ය. ඔවුන් දෙදෙනාම රඟපාන සිනමාපටයක් මේ දිනවල රූපගත කෙරෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම අපූරු චිත්‍රපටයේ නම ‘ලාල් සලාම්’ ය. මෙම සිනමාපටය පිලිබඳ තවත් විශේෂත්වයක් වන්නේ එය අධ්‍යක්‍ෂණය කරනු ලබන්නේ රජිනිකාන්ත්ගේ වැඩිමල් දියණිය වන අයිශ්වර්යා රජිනිකාන්ත් විසින් වීම යි. අයිශ්වර්යා දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රියම නළුවකු වන ධනුෂ්ගේ බිරිඳ ද වේ. ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වන බවක් මෙයට ටික කලකට පෙර ප්‍රකාශ කළ ද තවමත් නීතියෙන් දික්කසාද වී නැත.

‘ලාල් සලාම්’ චිත්‍රපටයේ කතා පුවත ගැන වැඩි විස්තරයක් තවම මාධ්‍යය තුළ සඳහන් නොවේ. නමුත් එය ක්‍රිකට් ක්‍රීඩාව ද පසුබිම් කරගත් කතාවක් රැගත් සිනමාපටයක් බවට ආරංචි පළ වී තිබේ.

තමා සහ කපිල් දේව් චිත්‍රපටය රූගත කරන ස්ථානයක සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දා රජිනිකාන්ත් ඔහුගේ ට්විටර් පිටුවේ පළ කර තිබිණි. ඔහු ඒ සමග අපූරු සටහනක් ද යොදා තිබෙනු දැකිය හැකි විය. ‘ගෞරවනීය පුද්ගලයකු ද, සුන්දර මනුෂ්‍යයකු ද වන, එමෙන්ම ඉන්දියාවට පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර දී අප රටට ආඩම්බරයක් ගෙන ආවා වූ ද කපිල් දේව් මහත්මා සමග වැඩ කිරීමට ලැබීම මහත් ගෞරවයක් සහ වරප්‍රසාදයක් සේ සලකමි’ යයි ඔහු එහි සඳහන් කර තිබිණි. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම 1983 වසරේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ කපිල් දේව්ගේ නායකත්වය යටතේ යි.

කපිල් දේව් ද ඉහත කී ඡායාරූපයට සමාන ඡායාරූපයක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමක පළ කර තිබිණි. ‘මේ ශ්‍රේෂ්ඨ මිනිසා සමග වැඩ කරන්නට ලැබීම ගෞරවයක් සහ වරප්‍රසායක්’ යයි ඔහු ද සඳහන් කර තිබේ.

කපිල් දේව් ‘ලාල් සලාම්’ චිත්‍රපටයේ රඟපාන්නේ කෙටි චරිතයක් බව සඳහන් ය. මෙයට පෙර ද ඔහු බොලිවුඩ් සිනමාපටයක් සඳහා සම්බන්ධ විය. ඒ ‘83’ නැමැති චිත්‍රපටයට යි. 2021 වසරේ තිරගත වූ එය ඉන්දියාව ලෝක කුසලානය දිනා ගැනීම පිලිබඳ කතාව රැගත් චිත්‍රපටයක් විය. කෙසේ නමුත් කපිල් එහි රඟපෑවේ නැත. ‘83’ චිත්‍රපටයේ ඔහුගේ චරිතය රඟපෑවේ ජනප්‍රිය නළු රන්වීර් සිං ය. රන්වීර් එම චරිතය සඳහා පුහුණු කිරීමේ කටයුතුවලට කපිල් විශාල වශයෙන් දායක වූ අතර රන්වීර් දින ගණනක් කපිල්ගේ නිවසේ නතර වී ඔහු ගැන අධ්‍යයනයක නිරත වූ බව ද සඳහන් විය.

රජිනිකාන්ත් මේ වනවිට 72 වැනි වියෙහි පසුවුවත් තවමත් ඔහු දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රියම සහ කාර්යබහුලම නළුවෙකි. ඔහුගේ චිත්‍රපට තවමත් විශාල වශයෙන් ප්‍රේක්‍ෂකයන් ආකර්ශණය කර ගැනීමට සමත් වේ. ‘ලාල් සලාම්’ චිත්‍රපටයේ ඔහු රඟපාන්නේ මොයිදීන් බායි නැමැති චරිතයකි. රජිනිකාන්ත් රඟ පෑ සිනමාපටයක් අවසන් වරට ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණියේ 2021 වසරේ යි. ඒ ‘අනත්තේ’ නැමැති සිනමාපටය යි. ඔහුගේ තවත් අලුත් චිත්‍රපටයක් වන ‘ජේලර්’ ලබන අගෝස්තු මාසයේ තිරගත වීමට නියමිතව තිබේ. ඉහත සඳහන් කළ ‘ලාල් සලාම්’ ප්‍රදර්ශණය වනු ඇත්තේ මෙම වසරේ අවසන් භාගයේ ය.

රජිනිකාන්ත්ගේ දියණිය වන අයිශ්වර්යා මෙයට පෙර ද වෘත්තාන්ත චිත්‍රපට දෙකක් අධ්‍යක්‍ෂණය කර ඇත. ඒ 2012 වසරේ තිරගත වූ ‘3’ සහ 2015 වසරේ තිරගත වූ ‘වායි රාජා වායි’ යන චිත්‍රපට යි. ‘3’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඇයගේ සැමියා වන ධනුෂ් ය.

රජිනිකාන්ත්ගේ බාල දියණිය වන සෞන්දර්යා ද චිත්‍රපට අධ්‍යක්‍ෂවරියකි. ඇය ද චිත්‍රපට දෙකක් අධ්‍යක්‍ෂණය කර තිබේ. ඒ අතරින් පළමු සිනමාපටය වූ ‘කොචදයියාන්’ හි රජිනිකාන්ත් චරිත තුනක් නිරූපනය කළේය. ‘වේලයිලා පතධාරි 2’ නම් වූ දෙවැනි සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ දුන්නේ ධනුෂ් ය.

නිහාල් පීරිස්

රසගඟුල