චාල්ස් රජු රජකම අත්හරියි ද?

 

බ්‍රීතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයට ගොදුරු වීම මෙයට ටික දිනකට පෙර විශාල අවධානයක් දිනාගත් කාරණයක් විය. මේ වනවිට ඔහු ඒ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියි. කෙසේ හෝ වේවා, රජුගේ රෝගී තත්ත්වය  හා බැඳුණු තවත් කාරණයක් ගැන ලොකු කතාබහක් මේ දිනවල මාධ්‍ය තුළ සිදු වෙමින් තිබේ. එනම් ඔහු වැඩි කල් නොගොස් රජකම අත් හරීවි ද යන්න යි. කලින් බලාපොරොත්තු වූවාට වඩා කලින් විලියම් කුමරුට ඔටුන්න බාර ගැනීමට සිදුවිය හැකි බවට ද අදහස් පළ වෙමින් තිබේ.

චාල්ස් රජුට පිළිකාවක් ඇති බව පැවසුණත් ඒ පිලිබඳ වැඩි විස්තරයක් බකිංහැම් මාළිගය ප්‍රසිද්ධියට පත් කළේ නැත. පිළිකාව ඇත්තේ කොහේ ද, එහි තත්ත්වය කුමක්ද වැනි කාරණා ගැන කිසිවක්ම සඳහන් නොවිණි. මේ නිසා රජු ගේ රෝගී තත්ත්වය ගැන ඇත්තේ දැඩි අපැහැදිලි සහ අවිනිශ්චිත බවකි. ඔහු රජකම අත් හරීවි ද වැනි කාරණා පවා සංවාදයට ලක් වන්නේ මෙම ව්‍යාකූල පසුබිම තුළ යි.

චාල්ස් ගේ රෝග තත්ත්වය ගැන ප්‍රමාණවත් තරම් විනිවිදභාවයක් නොමැති වීම සම්බන්ධයෙන් මේ වෙද්දී යම් යම් විවේචනාත්මක අදහස්  පළ වෙමින් ඇති ආකාරයක් ද දැකිය හැකි වේ.

“පවතින අවිනිශ්චිතභාවය නිසා කා තුළත් යම් නොසන්සුන් බවක් ඇති වෙලා තිබෙන බව පෙනෙනවා. රජ පවුල වටා ඉතා විශාල අවිනිශ්චිතභාවයක් ගොඩ නැගී තිබෙනවා” එසේ පවසා තිබුණේ රාජකීයයන් ගැන පොත් පවා ලියා ඇති සැලී බෙඩෙල් ස්මිත් නැමැති ලේඛිකාව යි. “මා හිතන්නේ ජනතාවට මෙයට වඩා යමක් දැන ගන්නට සැලැස්වීම වැදගත් කියලයි” ස්මිත් තවදුරටත් පවසා තිබේ.


චාල්ස් රජු මෙන්ම විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් කුමරිය ද පසුගිය කාලයේ දරුණු ලෙස අසනීප වූවාය. උදරයේ බරපතල සැත්කමකින් පසු ඇය මේ වනවිට විවේක සුවයෙන් පසුවෙයි. මාස ගණනක් ගත වනතුරු ඇයට නැවත නිල කටයුතුවල නිරත වීමට නොලැබෙනු ඇති බවක් ද ප්‍රකාශ විය. මේ සියල්ලෙන් පෙනී ගියේ කේට් ද යම් බැරෑරුම් තත්ත්වයකින් පසුවන බවයි. නමුත් ඇයට සැත්කමක් කළ බව කීවත් ඇයගේ රෝගය කුමක්ද යන්න ගැනවත්  රජ පවුල කිසිවක් ප්‍රකාශයට පත් කළේ නැත.

ලෝකයේම අවධානයට ලක්වන මෙවැනි ප්‍රසිද්ධ පුද්ගලයන් මේ ආකාරයෙන් දරුණු රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ විට ඒ ගැන තොරතුරු දැන ගැනීමේ විශාල කුතුහලයක්, අවශ්‍යතාවක් බොහෝ දෙනා තුළ ඇති වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම අවශ්‍යතාව ඉටු නොවූ විට යම් නොඉවසිලිමත් බවක් ඇති වන අතර එම තත්ත්වය තුළ විවිධ කටකතා සහ අනුමානයන් පැතිරෙන්නට ද පටන් ගනියි. රජ පවුලට අදාළව ද මෙවැනි කටකතා පැතිරෙමින් තිබෙනු දැකිය හැකි වේ. සමහර හාස්‍යජනක කතා පවා සමාජ මාධ්‍ය තුළ පළවී තිබෙනු පසුගිය කාලයේ දැක ගන්නට ලැබිණි.

කෙසේ හෝ වේවා, චාල්ස් රජු රජකම අත් හරීවිද වැනි කාරණා ද උණුසුම් ලෙස කතාබහට ලක් වන්නේ මෙම රික්තය තුළ යි. සමහර කතාවලින් පැවසෙන්නේ ඔහුට පිළිකාව සුව කර ගැනීම සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු කරන්නටත්, ඒ සඳහා කාලය යොදවන්නටත් සිදුවන නිසා රජකම අත්හරින්නට සිදුවිය හැකි බවයි. පිළිකා සඳහා කරන ප්‍රතිකාර නිසා බරපතල අතුරු ආබාධ වැනි දේ ඇති වන බැවින් ඔහුට රජකමේ වගකීම්වලට සිත යොමු කිරීම අසීරු වනු ඇති බවක් ද සමහරුන් පවසා තිබෙනු දැකිය හැකි විය. චාල්ස් රජු ගේ වයස නිසා ද පිළිකාවේ බලපෑම ඔහුට වැඩිපුර දැනෙන්නට ඉඩ ඇති බවට අදහස් පළ වේ. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 75 කි. බි්‍රතාන්‍ය ඉතිහාසයේ  රජකමට පත් වෙද්දී වයස්ගතම පුද්ගලයා වූයේ ද චාල්ස් ය.

කෙසේ නමුත් රජ පවුල පිලිබඳ ඇතැම් විශේෂඥයන්ගේ අදහස වන්නේ රෝගී තත්ත්වයෙන් පසුවුවත් චාල්ස් රජකම අත් නොහරිනු ඇති බවයි. ඔහු සිය මවගේ අඩි පාරේ යනු ඇති බවක් ද ඔවුහු සඳහන් කරති. දෙවැනි එළිසබෙත් රැජින ද ඇගේ ජීවිතයේ අවසන් කාලයේ විවිධ රෝගාබාධවලින් පෙළෙමින් සිටියාය. ඇයට එහා මෙහා ඇවිදීම පවා අපහසු වූ බවක් පැවසිණි. නමුත් එවැනි තත්ත්වයක් තුළ වුවත් ඇය ඔටුන්න අතහැරියේ නැත. චාල්ස් ද ඒ ආකාරයෙන්ම කටයුතු කරනු ඇති බව ඉහත කී නිරීක්‍ෂකයන්ගේ අදහස යි. අනෙක ඔහු රජකමට පත් වූයේ දීර්ඝ කාලයක් බලා සිටීමෙන් පසුව බව ද අමතක කළ හැකි නොවේ.

තවත් සමහරුන් පවසන්නේ චාල්ස් දැන්ම රජකම අත් නොහැරියත් ඔහු මිය යනතෙක්ම රජකම් කරනු ඇතැයි සිතන්නට බැරි බව යි. ඇතැම් විට 80 වැනි උපන් දිනයෙන් පසු චාල්ස් සිය කිරුළ විලියම්ට බාර දීමට ඉඩ ඇතැයි සිතන පිරිසක් ද වේ.

කෙසේ හෝ වේවා, මේ වනවිට සිය නිල කටයුතු වැඩි හරියකින් ඉවත් ව සිටින චාල්ස් ගේ එම වගකීම් ඉටු කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම විලියම් කුමරු සහ කැමිලා බිසව විසිනි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර