ජෙරම් ප්‍රනාන්දු ලා බිහි වන්නේත් කතෝලිකයන් අතරින් ම ය!

ඔහු ජෙරම් ප්‍රනාන්දු ය. ඉපිද ඇත්තේ කතෝලික පවුලක ය. දැන් මූලධර්ම නිකායික ය. ඉගෙන ගෙන ඇත්තේ බම්බලපිටිය ශා.පීතර විද්‍යාලයේ ය. ඒ තොරතුරු ඔහු මේ රටේ කුමන සමාජ පංතියක කෙනෙකු දැයි වටහා ගන්නට ප්‍රමාණවත් ය.
දේවගැති වරයෙකු බව පැවසෙන ඔහු, අද මේ රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ක්‍රිස්තියානිය ප්‍රචාරය කරමින් බුද්ධාගමට අපහාස කිරීම නිසා ය.
කතෝලික පූජකවරු ඇමතෙන්නේ ‘පියතුමා’ හෝ ‘පියනම’ වශයෙනි. ක්‍රිස්තියානි පූජකවරු හැඳින්වෙන්නේ ‘දේවගැතිවරු’ ලෙසය. දේවගැතිවරුනට විවාහ විය හැක. ඔවුන් වැඩිදෙන පෙනී සිටින්නේ ගිහි වෙසෙනි.

ආගම් ධර්ම, අද, බොහෝ රටවල විවාදයට භාජනයව තිබේ. ‘ආගම’ මිනිසුන් මත් කරවන ‘විටමිනයක්ය’ යන අදහස ලොව පුරා පැතිර තිබේ.
ධාර්මික විශ්වාස ආගම් සේ නො අදහා, පොත්පත් ලියූ, ලෝකයේ සිටි විශිෂ්ඨ චින්තකයන් (වික්ටර් හියුගෝ, එමිල් සෝලා, බර්ට්‍රන්ඩ් රසල්, බඳු)
අදේවවාදීන් නොවේ. නිදහස් ක්‍රිස්තියානි මතධාරීන් ය. මැවිල්ල, දේවාරක්ෂාව හා ස්වාරක්ෂාව ගැන ඔවුන්ට තමන් ගේ ම මත විය. ( මාර්ටින් වික්‍රමසිංහ මහතා, මෙ රට බුදු දහමට අදාළව දැක්වූ විකල්ප මත සේ..) ඒ අදහස් අදටත් පරණ නැත. එහෙත් වෙනස් වෙන්නට අකමැති, පුරාණ, සාම්ප්‍රදායික, ආගම් වලට ඒවා තිත්ත ය.

පුරාණ කිතුනු චින්තන, තවදුරටත් සාකච්ඡාවට භාජනය කර, අවදියට ගලපා ගත යුතු යැයි පැවසූ, කතෝලික සභා නායකයන්, 1960 වෙද්දීත් ලොව පුරා සිටියහ. (බෙල්ජියමේ, ජෝශප් සුඒනන්ස් කාදිනල් හිමි, අගොස්තීනු බෙයා කාදිනල් හිමි, හෑන්ස් කුං, තෙයියා ද ෂාඩෑන්, කාල් රහනර්, පියවරු. ජෝශප් කාඩයින් කාදිනල් හිමි හා, රදගුරු මුදුව සාක්කුවේ දමාගෙන ගමන් ගිය, තෝමස් රොබට්ස් හිමි ඔවුනතර ප්‍රමුඛ ය.)
ඇලොයි පීරිස්, ඔස්කා අබයරත්න, අර්නස්ට් පෝරුතොට, රීඩ් ෂෙල්ටන්, ලයනල් ප්‍රනාන්දු, පියවරු, මෙ රට ඔවුන් ගේ ශ්‍රාවකයෝ ය. අපට මේ තොරතුරු ලැබුනේ ඔවුන් ගෙනි.
ඇමරිකාවේ බිහිවු, ශුද්ධාත්ම ව්‍යාපාරයක් ‘කිතු දන පුබුදුව’ ලෙස මෙ රටට පැමිණියේ ද ඒ අදහස් සමග ය. ඔව්හූ ගතානුගතික කතෝලික සභාවේ විරෝධාකල්පධාරීහු වූහ. සාම්ප්‍රදායික කතෝලික සභාව අප්‍රිය වුවෝ, ඒ නව විකල්ප නිකායනට ඇදී ගියහ. එබඳු නව ක්‍රිස්තියානි නිකායන් 2500 පමණ මෙ රට වෙතැයි, ඔස්වල්ඩ් ගෝමිස් රදගුරු හිමි වරක් මාතර දී පෙන්වා දුනි. කිතු දන පුබුදුව සේ ම ඒවා ද පැමිණ ඇත්තේ ඇමරිකාව හරහා ය.

ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල දුගී බෞද්ධ ජනයා හා, කතෝලික සභා සාමාජිකයන්( විශේෂයෙන් මුහුදුබඩ) ඒ නව නිකායනට බැඳීම දැන් කලක සිට සිදු වේ. මෙ රට කතෝලික ධනවතුන් රැසක් ඒවායේ සාමාජිකව, ඒවා නඩත්තුවට මාසිකව වියදම් දරන බව පැවසේ.
ඒ නව නිකායන් හැඳින්වෙන්නේ ‘මූලධර්මවාදී සභා’ ලෙසය. ඒවාට ‘යාච්ඥා මධ්‍යස්ථාන’ තිබේ. ප්‍රචාරක සම්පත් තිබේ. ඒ බොහොමයක ආගමික කටයුතු මෙහෙයවන්නේ, ජෙරම් ප්‍රනාන්දු ලා ය.
මේ රටේ කිතුනුවන්, මූලධර්මවාදීන් ගෙන් මුදවා , යළි පල්ලි වෙත කැන්දා ගැනීමට නම්, තමා ලියා පළ කර ඇති පොත්, ගමින් ගම විකිණීම අරඹන්නැයි, දොන් පීටර් පියතුමා, 1996.05.26 ඥානාර්ථ ප්‍රදීපයෙන් යෝජනාවක් කර තිබුනි. රෝගය කෙතරම් නම් පැරණි ද? කා වැදිලාද?
යුරෝපයේ කතෝලික පල්ලි වලින් ජනතාව ඈත්වීමේ උවදුර පිළිගත්, 23 ජුවාම් පාප්තුමා, දෙවන වතිකාන කථිකාව කැඳවා ඊට විසඳුම් සෙවීය.

ජනතාව භක්තියට යොමු කරන ආගම් වලට, යුරෝපය දැන් අහිමි වෙමින් තිබේ.
යුරෝපයේ පල්ලි විකිණීම ඇරඹී දැන් දශක තුන හතරකි. මිල දී ගන්නේ බෞද්ධ භික්ෂූන් ය. ඉන්පසු ඒ පල්ලි පන්සල් වේ. මෑතක ද දිනපතා පත්තර දෙකක් එබඳු සිද්ධි දෙකක් හෙළි කළේය. ඡායාරූප ද සම ගය. මුහුණු පොතට, නිතර භක්තිමත් කිතුනු තොරතුරු සපයන, නලීන් තෝමස්, මුස්ලිම්වරුන්මිල දී ගත් ඔස්ට්‍රේලියානු කතෝලික පල්ලියක් ගැන මෑතක සඳහන් කර තිබුනි.
2003 සැප්.02 ඉරිදා දිවයින පත්‍රයට, වැලිගම ඥාණරතන හිමි හෙළිකර තිබුනේ, ඇමරිකාවේ, කතෝලික පල්ලියක්, බෞද්ධ දහම් පාසලක් කළ වග ගැන ය.
සමහර යුරෝපීයයෝ, මෙ රට දෙල්ගොඩ, විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වාර්ෂිකව පැමිණෙන බව පැවසේ. භාවනායෝගීව විමුක්තිය ලබා ගන්නට ය. ඔවුන් අතර කිතුනු පූජකවරු හා කන්‍යා සොහොයුරියන් ද සිටින බව ඡායාරූපවලින් දැක්වුණි.
කතෝලිකයන් කොහෙත්ම නැති තරම් වන, ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල වැනි නගරවල නවසිය අසූ ගණන්වල සිට ‘යාච්ඥා මධ්‍යස්ථාන’ විය.

ඒවායේ ඇදහිලිවන්තයන් පිරිලා ය.
ඒ අතර ඒ ප්‍රදේශයේ ඉතා නො දියුණු පැරණි හුදකලා කිතුනු ගම් ද වේ. ගොරකදෙණිය එකකි. පෘතුගීසි කාලයේ පල්ලියකි. අදත් ගමට බසයක් නැත. සතියකට වරක් යක්කල හෝ නිට්ටඹුවේ සිට පියතුමෙකු පැමිණේ. කිතුනු පවුල් එන්ට එන්ටම අඩු වේ. මිශ්‍ර විවාහ බහුල ය.
ඉරිදාවක වැලිවේරිය නගරයට යන කෙනෙකුට ද ඒ බව මනාව වටහාගත හැක.
අපේ රටේ කිතුනුවන් දෙව්මැදුරු වලින් පිටව, මූලධර්මවාදී කිතුනු මධ්‍යස්ථාන කරා ඇදෙන්නේ ඇයි? ඔවුන් පාරම්පරික කිතුනුවන් ය. පෞද්ගලික ලාභාපේක්ෂා මරියතුමිය ගෙන්, මුනිවර මුනිවරියන් ගෙන් නො කඩවා පතැති ඔවුන්, ඒවා ඉටු නොවූ තැන යාච්ඥා මධ්‍යස්ථාන දෙසට හැරෙති.
සියනෑවේ රාජකාරි කළ සමයේ, වැලිවේරියේ එබඳු තැනක අපි නීරික්ෂණයක් කළෙමු. එහි සිටි දේවගැති, තරුණ වියේ මත් උවදුරට බිලි වූවෙකි. දෙ මහල්ලන් ප්‍රදේශයේ පැරණි කතෝලික ගුරුවරුය.විවාහකයෙකි.

එහි පැමිණි තුන්සියයක පමණ සංඛ්‍යාවක් අතරින් අවස්ථා දහයකදී පමණ, පනහක හැටක පිරිසක් සමග කථා බහ කිරිමට අපට ඉඩ ලැබුණි. ඔවුනට පල්ලි එපා වීමට හේතු රැසක් විය.
පල්ලියේ සාම්ප්‍රදායික වත්පිළිවෙත්, පාපෝච්ඡාරණ බඳු, එපාවීම. පූජකවරුන් ගැන ඇති අප්‍රසාද. සභා පාලකයෙකු තමන් ට ප්‍රසිද්ධියේ දැක්වූ නිගරුවක්. දරුවන් කිතුනු කොලීජියකට දමා ගැනුමට උදව් නො ලැබීමක්. දරුවෙකුට පල්ලියේ සරණ බන්ධනය නො ලැබීමක්. දරුවෙකු පල්ලියේ බෞතීස්ම කර ගැනීමට නො හැකිවීමක්. ආගමික ප්‍රශ්නයක් විමසීමට ඉඩ නො ලැබීමක්. ඥාතියෙකුට පල්ලියේ සුසානය අහිමිවීමක්. පූජක තීරණ ගිහියන් මත බලෙන් පැටවීමක්. ජීවිත ගැටළු වලට හේතුව දේව කැමැත්තය යන්න නො පිළිගැනීමක්. ළඟපාත දෙව්මැදුරු නොමැතිවීමක්. රැකියා හා නිවාස සොයා දීමක්.

දුප්පතුන් අන්ත දිළිඳුන් කරන, ධනවතුන් කෝටිපතියන් කරන දූෂිත දේශපාලනයට තමන් එරෙහි බව, තම ධනවත් සාමාජිකයන් නිසි සේ ආදායම් බදු ගෙවීමට තමන් පොළඹවන බව, තම සාමාජිකයන් ඇදහිලිවන්තයන් නොව තමන් ගේම සහෝදරයන් බව, බයිබලයේ ඇති සැබෑ ක්‍රිස්තු දැක්ම තමන් තම සාමාජිකයනට වටහන හා ඒ අනුව ජීවත් වන්නට පොළඹවන බව, තමන් ද ඒ අනුවම ජීවත්වන බව, ඔව්හූ පුන පුනා පවසති.
අඳන දෙකක් ඇති අයට…කෑම අවශ්‍ය පමණට වැඩියෙන් ඇති අයට…පොදු දේපළ සොරකම් කරන අයට තමන් හැබෑ ක්‍රිස්තු දැක්ම වටහන බව ඔව්හූ පවසති. ලැබෙන දෙයින් තෘප්තිමත් වන්නට…සේවය නො ලබා සේවය කරන්නට, තමන් සාමාජිකයන් පොළඹවන බවත්, රටවැසියන් පෙළන ආණ්ඩු වලට එරෙහිව තමන් කටයුතු කරන බවත්, ඔව්හූ පවසති.

රදගුරු පූජක ජනයාට දැනටමත් යස ඉසුරු පිරි ස්වර්ගය හමුව ඇති බවත්, බැතිමතුන් ස්වර්ගයට යාමට නම් මියයා යුතුව ඇති බවත්, දිළිඳුනට අත නො දී පල්ලියට දහයෙන් එක දෙන ධනවතුන් මළාවූ ආගමිකයන් බවත්, තමන් එකතු කරන්නේ නැති බැරි අය මිසක් මුදල් නොවන බවත්, පරණ ආගම් බිහිව ශත වර්ෂාධික කාලයක් ගතව තිබියදීත් ලෝකය අයහපතින් මිදී නැත්තේ ඇයිදැයි සිතීමට තමන් තමන් කරා එන්නන් පොළඹවන බවත්, ගම්වල දුගී කිතුනුවන්ට සිදුව ඇත්තේ හැමදාම සුරුවම් පසුපස දුවන්නට බව තමන් ඔවුන්ට වටහා දෙන බවත්, නායක දේවගැති වරයෙකු අප හා පැවසීය.

ලංකා කතෝලික සංගමය පැවති අවදියේ, එදා කොළඹ සිටි අගරදගුරුවරයාට එහි සාමාජික පිරිසක් සමග ගොස්, මේ උවදුර හා, ඔවුන් සඳහන් කරන යම් යම් කරුණුවල සිතන්නට දේ ඇති බව අපි පෙන්වා දුනිමු.” ඕව තාවකාලික යි ඔය යන අය ආපහු එනව…ඉතිරි හරිය දෙවියන් වහන්සෙ බලාගනියි”
රදගුරු පැවසීය.
අද….පෑලියගොඩ සිට මීගොමු පාරේ තෙල්වත්ත හන්දිය කරා යන විට…පෙරියමුල්ලේ සිට පුත්තලම දක්වා යන විට…! නුවර පාරේ! රත්නපුර පාරේ! ගාළු පාරේ! ජාඇල සිට කුරුණෑගල දක්වා යන විට!
අනිකුත් සම්මත කිතුනු සභා හා එක්ව ජනතාවට උවදුරේ තරම වටහා දෙන්නට….ඒ දේවගැති විදැහුම් දෙස ආපසු බලා, එක්ව ක්‍රියාකරන්නට, 1968 දී හා 1995 දී ශ්‍රී ලංකා කතෝලික සභාව තීන්දු රැසක් ගත්තේය. ඒවා පොත්වල සඳහන් කර ඇත. ‘නවෝදයේ මග සළකුණ’ 1968 – (සකසු, ප්රෑන්ක් මාකස් ප්‍රනාන්දු, හලාවත හිටපු රදගුරු) ‘බෙදාහදා ගැනීමේ සභා නවෝදයක් කරා’ 1995 – (සකසු, වින්ස්ටන් ප්‍රනාන්දු, ඌව හිටපු රදගුරු) ඒ ග්‍රන්ථ රචනා කළ දෙපළට, පසුව රදගුරුකම් නම් හිමි විය.

ජෙරම් ප්‍රනාන්දු ලා බිහිවන්නේ කතෝලිකයන් අතරින්ම ය. ඔවුන් ඩැහැ ගනු ලබන ඉතා වැඩි පිරිස ද කතෝලිකයන්ම ය.
ක්‍රිස්තියානි මූලධර්ම වාදීනට, ඉස්ලාමයනට මෙන් අධිරාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලනයක් ඇතැයි අපට නො සිතේ. එහෙත්, ඔවුන් බොහෝ දෙනෙකු, ලෝකය පාප් තනතුරට දක්වන ගෞරවය හීන කිරීමේ ඇමරිකානු දේශපාලන සිහිනයට, හරි තේරුම් ගැනීමක් නැතිව බිලිව සිටින්නන් යයි, අපට සිතේ.

සිරිල් එඬේරමුල්ල

එතෙර - මෙතෙර