බොලිවුඩ් සුපිරි නළු ආමීර් ඛාන් භාවනා කිරීම සඳහා නේපාලයට යයි

බොලිවුඩ් නළු ආමීර් ඛාන් භාවනාව සඳහා සිත යොමු කිරීමට කල්පනා කර ඇති බව වාර්තා වේ. ඔහු මේ අරමුණෙන් නේපාලයේ පිහිටි විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් වෙත ගොස් ඇති බව පසුගිය දා ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබිණි.

පසුගිය කාලයේ ආමීර් සිය වෘත්තිය ජීවිතයේ ඇතැම් ගැටලුවලට මුහුණ දෙමින් සිටි බවක් දැකිය හැකි විය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ ඔහු විසින් නිශ්පාදනය කරන ලද ‘ලාල් සිං චද්දා’ නැමැති චිත්‍රපටය බලාපොරොත්තු නොවූ ආකාරයෙන් අසාර්ථක වීම යි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කළේ ද ආමීර් ම ය. නවසිය අනූව දශකයේ ප්‍රදර්ශණය කෙරුණු සුප්‍රකට සහ සම්මානනීය හොලිවුඩ් සිනමාපටයක් වූ Forrest Gump චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වුවත් ‘ලාල් සිං චද්දා’ ප්‍රේක්‍ෂකයන්ගේ සහ විචාරකයන්ගේ ප්‍රසාදයක් දිනාගත්තේ නැත. දක්‍ෂ නළුවකු ලෙස පිලිගැනෙන ආමීර්ගේ රංගනයට පවා එතරම් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. මෙයට දින කිහිපයකට පෙර පැවැති ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී ඔහුගේ නම හොඳම නළුවා සම්මානය සඳහා නිර්දේශ වූවේවත් නැත.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශණය වීමට ආසන්නව තිබිය දී ආමීර්ට සහ චිත්‍රපටයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් ද දියත් වූ අතර ‘ලාල් සිං චද්දා’ වර්ජනය කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ද ආරම්භ විය. ආමීර් පිලිබඳව ඉන්දියාවේ ඇතැම් හින්දු ජන කොටස් අතර වැඩි ප්‍රසාදයක් නොවේ. කලකට පෙර එරට මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී හින්දු කණ්ඩායම් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙද්දී ආමීර් ඊට එරෙහිව අදහස් දැක්වූයේය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හෙලා දැකීමට ප්‍රමාද වීම ගැන ඔහු අගමැති නරේන්‍ද්‍ර මෝදිට පවා fදාස් පැවරුවේය. පවුල පිටින් ඉන්දියාව අතහැර යමු යයි එවකට ඔහුගේ බිරිඳ වූ කිරන් රාඕ යෝජනා කළ බවකුත් ආමීර් වරක් ප්‍රකාශ කළ අතර මෙම තත්ත්වය තුළ ඇතැම් හින්දුවාදීහු ඔහු ඉන්දියානු විරෝධී පුද්ගලයකු ලෙස හැඳින්වූහ.

කෙසේ හෝ වේවා, ‘ලාල් සිං චද්දා’ ට අත් වූ ඉරණම ආමීර් තුළ කම්පනයක්, කළකිරීමක් ඇති කළ ආකාරයක් දැකිය හැකි විය. ඔහු කලකට සිනමා රංගනයෙන් ඉවත් වීමට පවා තීරණය කළේය. එයින් පසු ආමීර් කිසිදු චිත්‍රපටයක් භාර ගත්තේ නැත.

‘චිත්‍රපටයක රඟපාන්න ගත්තම මම මුළු කාලයම ඒ වෙනුවෙන් කැප කරනවා. අන් සියල්ල අමතක කරනවා. එතකොට මගේ ජීවිතයේ වෙන කිසි දෙයක් සිදු වන්නේ නැහැ. ලාල් සිං චද්දාගෙන් පසුවත් මා චිත්‍රපටයක රඟපෑමට සූදානමින් සිටියා. එය ඉතා අපූරු කතා පුවතක්, තිරනාටකයක් රැගත්, හැඟීම්බර සිනමාපටයක්. නමුත් මම මේ වෙලාවේ මේ වැඩවලින් විවේකයක් ගත යුතු යයි මම කල්පනා කළා. මගේ පවුලේ අය, මගේ දරුවන්, මගේ මව සමග කාලය ගත කළ යුතු යයි මට හිතුණා.

‘යම් විවේකයක් අරගෙන ඔවුන් සමග වැඩි කාලයක් ගත කිරීමටත්, ජීවිතය වෙනස් ආකාරයකින් අත්විඳීමටත් සුදුසු කාලය මෙය කියා මා සිතනවා. තව අවුරුද්දක්, එකහමාරක් විතර යන තෙක් මම නළුවකු ලෙස වැඩ කරන එකක් නැහැ’ සිය රංගන දිවියට විරාමයක් දෙමින් ආමීර් පැවසුවේය.

සිය සිනමා ජීවිතය තුළ ඇති වූ මෙම කඩා වැටීම් හේතුවෙන් හටගත් මානසික තත්ත්වයක් නිසා ආමීර් භාවනාව කරා යොමු වූවා වන්නට ද පිලිවන. ඔහු නේපාලයේ විපස්සනා භාවනා මධ්‍යස්ථානය වෙත ගොස් ඇත්තේ දින 11 ක මූලික වැඩසටහනකට සහභාගි වීමට බව සඳහන් වේ. නේපාලයේ අගනුවර වන කත්මන්දු නගරයේ සිටි කි.මී. 12 ක් පමණ දුරින් පිහිටි බුධනිල්කාන්ත නැමැති සුන්දර කඳුකර ඉසව්වක මෙම භාවනා මධ්‍යස්ථානය පිහිටා ඇති බව පැවසේ.

මේ වනවිට ආමීර්ගේ වයස අවුරුදු 58 කි. පසුගිය දිනවල ඔහු සුදු හිසකෙසින් සහ සුදු වූ රැවුලෙන් යුතුව සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ද විශාල වශයෙන් මාධ්‍ය තුළ සංසරණය විය. මේ වෙද්දී ඔහු ගත කරන්නේ තනිකඩ ජීවිතයකි. ඔහුගේ දෙවැනි බිරිඳ වූ කිරන් රාඕගෙන් ද ඔහු 2021 වසරේ දික්කසාද වූයේය. ඒ වසර 16 ක යුග දිවියකින් පසුව යි. ඊට පෙර ආමීර් විවාහ වී සිටියේ රීනා දත්තා සමග ය. 1986 වසරේ ඇය සමග විවාහ වූ ආමීර් ඇයගෙන් දිකකසාද වූයේ 2002 වසරේ යි.

ආමීර් දරු තිදෙනෙකුගේ පියෙකි. එයින් දෙදෙනකු ලැබුණේ පළමු විවාහයෙනි.

කලකට පෙර ආමීර්ගේ චිත්‍රපට අතිශයින් ජනප්‍රිය වූ අතර විචාරකයෝ ද ඒවා මහත් ඉහළින් වර්ණනා කළහ. 3 ඉඩියට්ස්, දන්ගල්, තාරේ සමීන් පාර්, සීක්‍රට් සුපර්ස්ටාර් වැනි චිත්‍රපට ඊට නිදසුන් ය. ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපටය ද ඔහුගේ චිත්‍රපටයකි. ඒ 2016 වසරේ තිරගත වූ ‘දන්ගල්’ චිත්‍රපටය යි. ලොව පුරා ප්‍රදර්ශණයෙන් එය ඉන්දීය රුපියල් කෝටි 2,000 කට ආසන්න මුදලක් උපයන්නට සමත් විය.

නිහාල් පීරිස්

රසගඟුල