මැයි දිනය අදයි

මැයි දිනය නමින් ප්‍රකට ජාත්‍යන්තර කම්කරු දිනය අද(01)ට යෙදී තිබේ.පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් නිමා වීම ජාත්‍යන්තර කම්කරු දිනයේ ආරම්භය සනිටුහන් කරයි.1886 වසරේ අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය තුළ සිදු වූ එම කම්කරු රුධිර ගලායාම පසුව එම දිනය ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් පාලකයන් හමුවේ අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය විය. ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව ලෝකවාසී කම්කරුවන් සමග එක්සත්ව පෙළ ගැසුණේ එලෙස තම අයිතීන් දිනාගැනීමේ අඛණ්ඩ අරගලයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. අප රටේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේ දී ය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.1947 පමණ වන විට මෙරට කම්කරු අරගල උත්සන්න විය. එහි දී වැඩ වර්ජනයක් සිදු වූයෙන් එහි දී රැකියා අහිමි වූ බොහෝ දෙනා පසුව කම්කරු නායකයන් බවට පත්වූහ. 1956 දී අගමැති බණ්ඩාරනායකයන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පිලිප් ගුණවර්ධනයන්ගේ විප්ලවකාරී සම සමාජ පක්ෂයත් එකමුතුව පිහිට වූ මහජන එක්සත් පෙරමුණ රජයේ මැයි දිනය රතුපාටින් හා නිල් පාටින් පැවැත්විය.එසේම ප‍්‍රථම වරට මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වූයේ බණ්ඩාරනායකගේ ආණ්ඩුවෙනි. ඒ වන විට කම්කරු ඇමතිවරයා ලෙස කටයුතු කළේ ටී. බී. ඉලංගරත්න මහතාය. අනතුරුව 1956 දී මැයි 01 දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.මෙවර මැයි දිනය වෙනුවෙන් මෙරට ප්‍රධාන පක්ෂ සහ සංවිධාන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.මේ වන විට මැයි දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය අප රටේ දේශපාලන පක්ෂ තම ජන බලය රටට කියා පෑම උදෙසා යොදා ගැනීම සැබෑ කම්කරු අයිතීන්ට මරු පහරක් බවට සිවිල් ජනතා මතයක් තිබේ.

කාලීන පුවත්