මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම

vinivida

මිනිසුන් සතුන් කෙරෙහි තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි හදවතක් තිබූ තෙවරප්පෙරුම වර්තමාන දේශපාලනය වශයෙන් බොහෝ දෙනකුට හඳුනා ගෙන ඇති පොදු ආකෘතියක් තිබේ.බලයට පත් වන තුරු ජනතා වීරයන් හා ජනතාවගේ විමුක්තිදායකයන් වශයෙන් බොහෝ දෙනකු හඳුනා ගන්නා පුද්ගලයන් සහ පිරිස් බලයට පත් වූ පසු ජනතා ද්‍රෝහීන් අබල දුබලයන් ආදී වශයෙන් එම ජනතාව විසින්ම හඳුන්වනු ලැබීම එම ආකෘතියේ සාමාන්‍ය ස්වරූපයයි.එමෙන්ම ජන වරමින් බලයට පත් වන පිරිස් ද ජනතාව උදෙසා සේවය කරනු වෙනුවට ජනතාවට පිටු පා එම පුද්ගලයන් හා පක්ෂ වෙනුවෙන් ඉතා අන්තගාමී ලෙස පෙනී සිටීම ද වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ දුර්දාන්ත ලක්ෂණයක් බවට පත්ව තිබේ.එවන් පසුබිමක් මත යුතු නූතන දේශපාලන ක්ෂේත්‍රයෙන් මතු වූ සුවිශේෂ පෞරුෂයක් සනිටුහන් කළ අපූරු මාදිලියක දේශපාලනඥයකු පසුගිය 16 වන දා ඉතා ඛේදනීය ලෙස සදහටම අප අතුරින් වෙන් විය.

ඒ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු සේම හිටපු වන ජීවී නියෝජ්‍ය අමාත්‍ය වරයකු වූ පාලිත තෙවරප්පෙරුම ය. වර්තමාන දේශපාලනමය ආකෘතියෙන් අත් මිදී තම මෙහෙවර ජනතාව සේම සතා සීපාවා කෙරෙහි ද විහිදුවා ලූ ආදර කරුණා සම්භාරයක් පදනම් කර ගනිමින් තම මෙහෙවර ඉටු කළ ඔහු තම ජීවන කරලිය තුළ දී දැක් වූ එම ප්‍රතිභාව කෙතරම් පුළුල් ද යත අප රටේ අන් කිසිදු දේශපාලනඥයකුට හිමි කර ගත නොහැකි විශිෂ්ඨ මතක සමරුවක් ඔහු සතුව තිබේ.නමුත් අද වන විට පාලිත තෙවරප්පෙරුම නම් වන ඒ අපූරු විප්ලවකාරී මිනිසා ඒ සියල්ල හැර දමා මෙලොවින් සමුගෙන ඇති මොහොතක අපි ඉන් ඉතා සුළු කොටසක් මෙසේ ඔබ වෙත තිළිණ කරමු.ඒ පාලිත තෙවරප්පෙරුම යනු මිනිසුන් සේම සතුන් කෙරෙහි ද වරක් නොව තෙවරක් පෙරූ කරුණා දයාවෙන් සපිරි උතුම් මිනිස් හදවතක් ඇත්තකු බව ඔබ හමුවේ මඳ වශයෙන් හෝ ගෙන හැර දැක්වීම පිණිස ය.

එතෙර - මෙතෙර