සුනඛ සුරතලුන්ට කිනිතුලු නාශක ඖෂධ හිතුමතයට ලබාදීම නුසුදුසුයි

සුරතල් සතුන්ට, විශේෂයෙන් සුනඛයන්ට බොහෝ සෙයින් බලපාන ගැටලුවක් තමයි කිනිතුල්ලන් බෝවීම. මේ සඳහා විවිධ අත් බෙහෙත් වගේම ෆාමසිවලින් මිලදී ගෙන භාවිතා කළ හැකි ඖෂධ වර්ග ද තිබෙනවා. නමුත් මේ ඖෂධ වර්ග භාවිතා කළ යුත්තේ ප්‍රවේශමෙන්. මෙවැනි ඖෂධ පාවිච්චි කරන්නේ නම් එය පශු වෛද්‍යවරයෙකු ගේ උපදෙස් මත කිරීම තමයි වඩාත්ම සුදුසු වන්නේ.
අපි මුලින්ම කිනිතුල්ලන් සඳහා වන ස්වභාවික ඖෂධ පිළිබඳව කතා කරමු. මෙහිදී අප කතා කරන්නේ සුනඛයන් පිළිබඳවයි.

දෙහි යුෂ

දෙහිවල අඩංගු සිට්‍රික් ඇසිඩ් මගින් කිනිතුල්ලන්ට හානි වෙනවා. එය සකස් කරගත යුත්තේ මේ ආකාරයටයි.
දෙහි ගෙඩි දෙකක් කෑලිවලට කපා පැය 12ක් උණුසුම් වතුරේ දමා තබන්න. පැය 12කින් පසු එම යුෂ පෙරා ස්ප්‍රේ බෝතලයකට දමා සුනඛයාගේ ඇස්වලට, මුඛයට සහ නාසයට නොයන පරිදි ශරීරයේ සමට ස්ප්‍රේ කරන්න.

සුදු ලූනු

සුදු ලූනු බික් අටක් පමණ ගෙන ඒවායේ පොතු ඉවත් කරන්න. ඉන්පසු එම සුදු ලූනු බික් ටික උණුවතුර බඳුනකට දමා පැය 12ක් තබා ඉහත ආකාරයටම පෙරා ගන්න. මේවා සතාගේ කූඩුවට දමන්නේ නම් මේ ආකාරයෙන්ම ගෙන ස්ප්‍රේ කර දැමිය හැකියි. සතාගේ සමට යොදන්නේ නම් මෙම ද්‍රාවණයට තව වතුර දමා එය තනුක කර ගත යුතුයි. ශරීරයට ස්ප්‍රේ කළ පසු පැය තුනක් තිබෙන්නට හැර ඉන් පසු සතා නාවන්න.

විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරි ( Apple cider vinegar) නොමැතිනම් සාමාන්‍ය පොල් විනාකිරි හෝ මි.ලී 150 කට ලුණු තේ හැඳි 1/2, වතුර මිලි ලීටර් 100 ක් දමා සතාගේ ඇස් වලට , මුඛයට සහ තුවාල තිබේ නම් එම තුවාලවලටද නොයන සේ ස්ප්‍රේ කළ යුතුයි.

පොල්තෙල්

මෙහි අඩංගු ලෝරික් ඇසිඩ් නිසා සුනඛයාගේ සමේ පොල් තෙල් ගෑ විට කිනිතුල්ලන් ගැලවී යනවා. එසේම එයින් සමට තෙතමනයක් ඇති වන නිසා දිලීර ආසාදන වැළැක්වීමටත් පොල්තෙල් සුදුසුයි.

කරාබු නැටි

කරාබු නැටි 3 ක්, කපුරු සමග මිශ්‍රකර එයට එතනෝල් (විනාකිරි) ලීටරයක් දමා පැය 12ක් තියෙන්නට හරින්න. පැය 12කින් පසු එය පෙරා සතාට ස්ප්‍රේ කර පැය දෙකකින් පසු සතා නාවන්න.

දුම්කොළ

වතුරට දුම්කොළ ටිකක් දමා පෙඟෙන්නට තබා ස්ප්‍රේ කරන්න.
මෙම ප්‍රතිකාරවලින් කුමක් කළත් එය සතියකට වරක් පමණ ප්‍රමාණවත්.
සාමාන්‍යයෙන් කිනිතුල්ලන් සඳහා දෙනු ලබන බටහිර වෛද්‍ය ප්‍රතිකාර පශු වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබා දීම වඩාත් සුදුසුයි. මෙහි දී කරුණු කීපයක් ගැන විමසා බැලිය යුතු නිසයි.

1. සතාගේ වයස

සුනඛ පැටවුන්ට සහ වැඩිහිටි සතුන්ට ප්‍රතිකාර ලබාදිය යුතු ආකාරය වෙනස් නිසා සතාගේ වයස ගැන සැලකිල්ලට ලක් කිරීම අනිවාර්යයි.

2. සතා ගේ සෞඛ්‍ය තත්ත්වය

නිරෝගී නොවන සතකුට මෙවැනි ප්‍රතිකාර කිරීම සුදුසු නෑ.

3. ගර්භනීභාවය

ගර්භණී තත්වයේ පසුවන සුනඛයන්ට මෙබඳු ප්‍රතිකාර ලබාදීමට සිදුවුවහොත් එය පශු
වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත කළ යුතුයි.

4. පැටවුන්ට කිරි දෙන සුනඛ මවක වීම

එවැනි අවස්ථාවලදීත් මෙවැනි ප්‍රතිකාර ලබාදීමේදී පශු වෛද්‍ය උපදෙස් ලබා සගත යුතු වෙනවා.

කිනිතුල්ලන්ට දෙනු ලබන ඖෂධ ප්‍රතිකාර අතර ප්‍රබලතාවය අඩු, මධ්‍යම සහ ප්‍රබලතාවය වැඩි යනුවෙන් වර්ග තුනකට වෙන් කෙරෙනවා. මේ සියලු ඖෂධ වර්ග කෘමිනාශක වර්ග යටතටයි ගැනෙන්නේ. එම නිසා ප්‍රතිකාර ආරම්භ කළ යුත්තේ ඉහත සඳහන් කළ පරිදි මුලින්ම ප්‍රබලතාවය අඩු වර්ගයකින්. එමගින් සමේ ප්‍රතිරෝධතාවයක් ඇති වේ දැයි සොයා බැලිය යුතුයි. එසේම කුමන ඖෂධයක් වුවද ඇතැම් විට සුනඛයාට අසාත්මික වීමට ඉඩ ඇති නිසා මුලින්ම ඉතා ස්වල්පයක් ආලේප කර සතාට වෙනසක් ඇති වේ දැයි විමසිල්ලෙන් සිටිය යුතුයි. එම ස්ථානය අධික ලෙස කැසීම වැනි විවිධ අපහසුතා එමගින් ඇති නොවන්නේ නම් ඒ ඖෂධය ආලේප කිරීම සුදුසු වෙනවා.

ප්‍රබලතාවය අඩු ඖෂධ කිනිතුල්ලන් සඳහා යොදනු ලබන සබන් වර්ග, ෂැම්පු වර්ග සහ පවුඩර් වර්ග මීට අයත් වෙනවා.

මධ්‍යම තත්ත්වයේ ඖෂධ

Spot on ලෙසින් හඳුන්වන ආලේප කරන ඖෂධ මීට අයත්. උදාහරණ ලෙස Amitraz, Fidronil වැනි දෑ දක්වන්න පුළුවන්. මේවා කොන්ද දිගට දැමූ විට ශරීරයට උරාගෙන කිනිතුල්ලන් විනාශ වෙනවා.

ප්‍රබලතාවය වැඩි ඖෂධ

සපා කන පෙති වර්ග (chiewable tablets ) මේ වර්ගයට අයත් වන අතර මේවා ලබා දිය යුත්තේ පශු වෛද්‍යවරයෙකු ගේ උපදෙස් මතයි.

වයසට අනුව ප්‍රතිකාර ලබා දිය යුතු ආකාරය

වයස සති 2ට අඩු පැටවුන්ට

එවැනි කුඩා පැටවුන්ට කිනිතුල්ලන් සඳහා ප්‍රතිකාර යෙදීම නොසුදුසුයි. මේ පැටවුන්ගේ කිනිතුල්ලන් සිටී නම් ඉවත් කළ යුත්තේ අතින් ගලවා දැමීම තුළින් පමණයි.

සති 2 – මාස 1 1/2 අතර පැටවුන්ට

ඉහත කී ප්‍රබලතාවය අඩු ගණයට අයත් වන පවුඩර් වර්ගයක් සමග ළදරු පවුඩර් වර්ගයක් 1:1 අනුපාතයට මිශ්‍ර කර සුනඛ පැටවාට ගල්වන්න.

මාස 1 1/2 – මාස 5 දක්වා සුනඛයන්ට

ප්‍රබලතාවයෙන් අඩු ගණයට අයත් වන පවුඩර්, ෂැම්පු හෝ සබන් යෙදීම සුදුසුයි.

මාස 5 ට වැඩි සුනඛයන්ට

මේ වයස වන විට සුනඛයන් හොඳින් වැඩුණු සතුන් නිසා Spot on වර්ගයක් කිනිතුල්ලන් සඳහා යොදන්න පුළුවන්. බොහෝ සෙයින් කිනිතුල්ලන් වැඩිනම් පමණක් පෙති වර්ගයක් දීම සුදුසුයි.

වයස අවුරුදු 10ට වැඩි සුනඛයන්ට

වයස අවුරුදු 10 ට වැඩි නම් එම සුනඛයන් වයස්ගතයි.ඔවුන්ට කිනිතුල්ලන් සිටියත් ප්‍රබලත්වයෙන් වැඩි ඖෂධ දීම සුදුසු වන්නේ නෑ. එනිසා සබන්, ෂැම්පු, පවුඩර් වැනි ප්‍රබලත්වය අඩු වර්ගයක් දී එමගින් සුව නොවන්නේ නම් මධ්‍යම ප්‍රමාණයේ ඖෂධයක් ලබා දීම වරදක් නෑ. මෙම වයසේ පසුවන සුනඛයන්ගේ වකුගඩු, අක්මාව වැනි ඉන්ද්‍රියයන් දුර්වල තත්වයෙන් පවතින නිසා ප්‍රබලත්වය වැඩි ඖෂධ එම සතුන්ට හානි කර වීමට තිබෙන ඉඩකඩ වැඩියි.

ගර්භණී තත්වයේ පසුවන සහ කිරිදෙන සුනඛ මව්වරුන්ට

ප්‍රබලත්වය අඩු ෂැම්පු, සබන් හෝ පවුඩර් වැනි ඖෂධයක් ආලේප කිරීම සුදුසුයි . ඒ හැර අනෙකුත් ඖෂධ වර්ග මෙවැනි සතුන්ට හිතකර වන්නේ නෑ.
අනෙක් ඉතාමත්ම සැලකිය යුතු දෙය වන්නේ මේ සියලුම ඖෂධ සහ ආලේපන වර්ග කෘමිනාශක නිසා කුඩා දරුවන්ගෙන් ඈත් කර තැබීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.

රජයේ පශු වෛද්‍ය නිලධාරිනී නදීකා දිල්රුක්ෂි

සටහන – ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය