තව මාස දෙකකින් මට හැටයි,මේ වයසෙ මං රට ගිහින් මොනවා කරන්නද?

කමල් අද්දරආරච්චි මෙරට සිටින අති දක්ෂ  චරිතාංග නළුවෙකි. යොවුන් වියේ දී රංගනයට පිවිසි ඔහු හැමදාමත් රඟපෑවේ චරිත තෝරා බේරාගෙන ය. එනිසාම ඔහුගේ සියලුම රංගනයන් ප්‍රේක්ෂකයන්ගේ මතකයෙහි  විවිධාකාර අයුරින් රැඳී පවතී.  එනිසාම කමල් අද්දරආරච්චි නැමැති චරිතාංග නළුවා පිළිබඳ මතකය ප්‍රේක්ෂකයන් තුළ එදා  මෙන්ම අදත් එකසේ ජීවමානය. කමල් ගේ අද දවසේ සුව දුක් විමසීමක්,මේ;

* ඔබ ප්‍රේක්ෂකයන්ගේ මතකය තුළ  මෙලෙස සදා ජීවමානව හිඳින රහස කුමක්ද?
නළුවකුගෙන් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේ ඉතා දක්ෂ රඟපෑමක්. මේක නළුවකුට විතරක් නෙමේ පොදුවේ සියලුම රංගන ශිල්පිනියන්ටත් පොදුයි. චරිතවල  රඟපාන්න වගේම පෙනී සිටින්නත් පුළුවන්. පෙනී සිටින අය නොපෙනී යන දවස ඉක්මන්.  නමුත් යම් චරිතයක රඟපෑම හෙවත් එම චරිතයට උපරිමයෙන්ම සාධාරණයක් ඉෂ්ඨ කිරීම තුළ  ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ සදා රැඳී සිටින්න රංගන ශිල්පීන්ට හැකියාව ලැබෙනවා.

* ඔබ රඟපාන්නේ චරිත තෝරා බේරා ගෙනද?
ඇත්තෙන්ම. මා රඟපාන චරිතය තුළ සිටිය යුත්තේ කමල්  අද්දරආරච්චි නොව එම චරිතයයි. එවැනි රංගනයක් ඉදිරිපත් කරන්නට තරම් දෙයක් නොමැති නිකනම්ම නිකනම් චරිතවලට පණ පොවන්න මම කැමති නැහැ.  මේ නිසාම එදා මෙදා තුර කාලයේදී චිත්‍රපට වගේම ටෙලි නාට්‍ය ගණනාවකම මට  ලැබුණු  අවස්ථාවන් මා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

* එය ඔබගේ වෘත්තීය ජීවිතයට පාඩුවක් නොවෙයිද?
මම නළුකම වෘත්තිය කරගත්ත කෙනෙක් නෙවෙයි. අනෙක රඟපෑම වෘත්තිය කරගත හැකි මට්ටමක් මේ රටේ නෑනෙ.

*  මේ දවස්වල කොහොමද ඔබේ ඔබේ වැඩකටයුතු?
හැම දෙයක්ම අච්චාරුවක් වෙලා තියෙන කාලයක් මේ. කිසිම දෙයක් සම්බන්ධයෙන් ඉලක්කයක් තියාගන්න මේ කාලයේ  අපහසුයි. අලුතෙන් ව්‍යාපාර සොයාගන්න වෙලා තියෙනවා. තියෙන ව්‍යාපාර රැක ගන්නේ කොහොමද කියලා අලුතෙන් හිතන්න වෙලා තියෙනවා.මේ යුගයත් එක්ක අඛණ්ඩව රටට ගැලපෙන ව්‍යාපාරයක් ගෙනියන්න  බැරි තත්ත්වයක් තියෙන්නේ .

* ඔබ සිතන්නේ මේ තත්ත්වයට හේතුව කොරෝනා වසංගතය  කියලද ?
මේකට හේතුව වසංගතයම නොවෙයි. එයත් එක්තරා ආකාරයකින් බලපෑවේ නැහැ කියලා කියන්න බෑ. නමුත්, මෙය රට පාලනය කිරීමේදී  ගන්නා ලද ක්‍රියාමාර්ගවල ඇති වූ අඩුපාඩු සහ සිදුරු නිසා ඇති වූ ප්‍රතිඵලයක් ලෙස උද්ගත වුණු තත්ත්වයක්. එකම එක උදාහරණයක් ගත්තොත් කාබනික පොහොර වලින් අපේ රටේ වගාවන් කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි .එතකොට මේ තියෙන ලෙඩ රෝග වගේම පෝෂණ ගැටලු විශාල ප්‍රමාණයක් අඩු කළ හැකි වේවි. නමුත් බීජ ගෙනෙන්නේත් පිටරටින් නම් පොහොර විතරක් කාබනික වූ පමණින්  වගාවන් කරන්න පුළුවන්ද ? අපේ රටේ තේ වගාව ගැන කතා කළොත් තේ වගාව කාබනික පොහොර යොදා ගෙන  කරන්න අපහසුයි. ඒවායේ සංයුතිය වෙනස් වෙනවා.  අවසානයේ සිදුවන්නේ මේ රටේ තේ වගාව විනාශයට පත්වීම. මෙවැනි ගැටලු රාශියක් වර්තමානයේ අපේ රටේ නිර්මාණය වී තිබෙනවා.

* මොනවද මේ දවස්වල ඔබ කරන ව්‍යාපාර?”ස්කයි ලයින්”නමැති මගේ ප්‍රචාරක ආයතනයේ වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මගේ ශබ්දාගාර කිහිපයක් සහ මැදිරි කිහිපයක් තිබෙනවා.  ඒවායේත් ප්‍රමාණවත් තරමට වැඩකටයුතු මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ඊට අමතරව පිටරට හවුල්කරුවන් කිහිප දෙනෙක් සමග මා එකතුව කරන ස්කෑන් ෆිෂ් නමැති  ටින් මාළු ව්‍යාපාරයත් කරගෙන යනවා.

* කොහොමද ඔබගේ බිරිඳ, දරුවන් ගැන තොරතුරු ?
ලොකු පුතා ඕස්ට්‍රේලියාවේ ශබ්ද පරිපාලනය ඇතුළු ඒ ආශ්‍රිත උසස් අධ්‍යාපනය ලබනවා. මේ දිනවල එයා ඉන්නේ ලංකාවේ.  තව ටික කාලයකින් නැවතත් පුතා ඕස්ට්‍රේලියාවට යාවි.දෙවැනි පුතා ජාත්‍යන්තර පාසලක උසස් පෙළ හදාරනවා.  බිරිඳත් දරුවනුත් සමඟ මා ගත කරන්නේ හරිම සංතෘප්තිමත් ජීවිතයක්.

* ඔබ කෙදිනක හෝ  ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙනවාද ?
අනේ නෑ,කිසිසේත්ම නෑ. මට මේ ඉන්න විදිහ හොඳයි.

* ඒ කියන්නේ ඔබ දේශපාලනය කිසිසේත් ම ප්‍රිය නොකරන කෙනෙක් ?
ප්‍රිය වීම ද අප්‍රිය වීම ද නෙමෙයි මෙතන තියෙන කාරණාව. මම ක්‍රියාකාරී ලෙස දේශපාලනයට පිවිසෙන්න කැමති නෑ.කොටින්ම කිව්වොත් කැමතිම නෑ

* වර්තමානය වන විට අපේ රටේ බොහෝ දෙනෙකු රට අතහැර යන බව පැහැදිලි කරුණක්. ඔබ කතා කතා කරන්නේත් පවතින  තත්ත්වය පිළිබඳව යම් කලකිරීමකින්. ඒ අනුව කමල් අද්දර අරර්ච්චිත් දිනෙක රට අතහැර යාවිද?
තව මාස් දෙකකින්; ලබන අවුරුද්දේ පෙබරවාරි පස් වැනිදා වන කොට මගේ වයස අවුරුදු හැට සම්පූර්ණ වෙනවා. මේ වයසෙදි මං පිටරටකට ගිහිල්ලා මොනවා කරන්නද? කොහොම වුණත් රට අතහැර යාමේ වුවමනාවක් මට කවදාවත් තිබුණේ නෑ.

ඉන්දු පෙරේරා

රසගඟුල