උතුරු ඉන්දියාවේ ස්ථූපයක තිබී බුදුන් ගේ ශාරීරික ධාතු අඩංගු මංජුසාවක් සමග මෙයට වසර130 කට පමණ පෙර සොයා ගනු ලැබූ මුතුමැණික් එකතුවක් පිලිබඳව මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා. ඒ මෙම මැණික් එකතුව එහි භාරකරුවන් විසින් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට සූදානම් වීමත් සමග යි. බෞද්ධ විද්වතුන් සහ ආගමික නායකයන් වැනි පාර්ශ්ව මෙම වෙන්දේසියට දැඩි විරෝධය දැක්වීමත් සමග මෙය මාධ්‍ය තුළ ද ලොකු අවධානයක් දිනා ගත් මාතෘකාවක් බවට පත් වුණා.

බුදුන්ගේ ශාරීරික ධාතු සමග තිබී හමු වූ, ඒ හා සබඳතාවක් ඇති මෙවැනි මැණික් එකතුවක් සාමාන්‍ය භාණ්ඩයක් සේ වෙන්දේසි කළ හැකිද, එය කෙතරම් දුරට ආචාර ධාර්මික ද යන කාරණය බොහෝ පාර්ශ්ව මතු කරන්නට පටන් ගත්තා.
ලංකා රුපියල් කෝටි 380 කට ආසන්න වටිනාකමකින් යුතු මුතු මැණික් 1,800 ක් පමණ මෙම එකතුවට අයත් බව සඳහන්.
බුදුන්ගේ අස්ථි කොටස් සහ අළු අඩංගු යයි පිලිගැණුනු මංජුසාවක් සමග මෙම මුතු මැණික් එකතුව උතුරු ඉන්දියාවේ පිප්රහ්වා නැමැති ප්‍රදේශයෙන් සොයා ගනු ලැබ තිබුණේ විලියම් ක්ලැක්ස්ටන් පෙපේ නැමැති බ්‍රිතාන්‍ය ජාතික නිලධාරියකු විසින්. ඒ 1898 වසරේ යි. පිප්රහ්වා ප්‍රදේශය වර්තමාන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලුම්බිනිය ආසන්නයේ පිහිටා ඇති ප්‍රදේශයක්.
මෙම මැණික් බුදුන්ගේ ශාරීරික ධාතු වෙනුවෙන් පූජා කළ පූජා භාණ්ඩ විය හැකි බවටත් අදහස් පළ වී තිබුණා. මෙම ශාරීරික ධාතු සහ මුතු මැණික් ස්ථූපයේ තැන්පත් කරන්නට ඇත්තේ මෙයට වසර 2,100 කට පමණ පෙර බවයි විශ්වාස කෙරෙන්නේ.
විලියම් පෙපේ විසින් සොයා ගනු ලැබූ බුදුන් ගේ ශාරීරික ධාතු පසු කාලයේ ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය වැනි රටවලට ලබා දුන් බව පැවසෙනවා. නමුත් මෙම ධාතු සමග තිබී හමු වූ ඉහත කී මුතු මැණික් එකතුව තිබී ඇත්තේ ඒවා සොයා ගත් විලියම් පෙපේ ගේ පරම්පරාවේ උදවිය ළඟ යි. ඔවුන් තමයි පසුගිය දිනවල ඒවා වෙන්දේසි කිරීමට සූදානම් වී තිබුණේ. පසුගිය 7 වැනි දින මෙම මැණික් එකතුව වෙන්දේසි කිරීමට නියමිතව තිබුණේ හොංකොං හි සතබිස් (Sotheby’s) නැමැති සුප්‍රකට වෙන්දේසි ආයතනයේ දී යි.
ඉහත කී අස්ථි කොටස් සහ මැණික් එකතුව සැලකෙන්නේ පුරාවිද්‍යා ඉතිහාසය තුළ සොයා ගැණුනු වැදගත්ම කෞතුක වස්තූන් එකතුවක් හැටියටයි.

මැණික් එකතුව වෙන්දේසි කිරීමට තීරණය කළේ මන්ද යන්න සම්බන්ධයෙන් විලියම් පෙපේ ගේ මී මුණුපුරෙකු වන ක්‍රිස් පෙපේ අදහස් දක්වා තිබුණා. ඔහු මෙම මැණික් එකතුවේ වත්මන් හිමිකරුවෙක්. ක්‍රිස් පෙපේ පවසා තිබුණේ මෙම මුතු මැණික් එකතුව විහාරස්ථාන සහ කෞතුකාගාර වෙත ලබා දීමට මෙයට පෙර උත්සාහ කළ බව යි. නමුත් එහි දී බලාපොරොත්තු නොවූ ප්‍රශ්න රැසක් මතු වූ බව ඔහු සඳහන් කර තිබෙනවා. වෙන්දේසි කිරීමට තීරණය කළේ එයින් පසුව බව යි ක්‍රිස් පෙපේ පවසන්නේ. මෙම මුතු මැණික් එකතුව බෞද්ධ ජනතාව වෙත ලබා දිය හැකි වඩාත්ම සාධාරණ සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමය එය යයි කල්පනා කළ බව ඔහු තව දුරටත් සඳහන් කර තිබුණා.
නමුත් ඉතිහාසඥයන්, බෞද්ධ විද්වතුන් වැනි පාර්ශ්ව ප්‍රශ්න කරන්නේ පූජනීය වස්තු යයි සැලකිය හැකි මෙවැනි එකතුවක් සාමාන්‍ය වෙළෙඳ භාණ්ඩයක් සේ සලකා වෙන්දේසි කිරීම සුදුසු ද යන්න යි. ඇතැම් බෞද්ධ නායකයන් පවසන්නේ මෙය ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම චින්තකයකුට කරන විශාල අගෞරවයක් බව යි.
වෙන්දේසියට එරෙහිව විවිධ පාර්ශ්ව ඉහත කී ආකාරයෙන් විරෝධය දක්වමින් විවේචන ඉදිරිපත් කරද්දී ඉන්දියානු රජයත් මෙම ප්‍රශ්නයට මැදිහත් වුණා. මෙම මුතු මැණික් එකතුව වෙන්දේසි කළහොත් එයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඔවුන් ප්‍රකාශ කළා. මේ බව සඳහන් කරමින් ඉන්දීය රජය ඉහත කී වෙන්දේසි ආයතනය වන සතබීස් ආයතනය වෙත ලිපියක් යොමු කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම ධාතු සහ මැණික් එකතුව ඉන්දියාවේත්, ලෝකයේ බෞද්ධ ප්‍රජාවගේත් වටිනා ආගමික සහ සංස්කෘතික උරුමයක් බව මෙම ලිපියෙන් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

“ඒවා මේ ආකාරයෙන් අලෙවි කිරීම ඉන්දියානු නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතිය ද උල්ලංඝනය කිරීමක්. එමෙන්ම එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට ද පටහැනි යි” යනුවෙන් ද එකී ලිපියෙහි සඳහන් වන බව වාර්තා වෙනවා.
ඉන්දියානු රජය මෙම ලිපිය යැවීමෙන් පමණක් නතර වී නැහැ. රජයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ඉහත කී වෙන්දේසි ආයතනය සමග මෙම කාරණය පිළිබඳව සාකච්ඡා කිරීමටත් පියවර ගෙන තිබුණා.
බෞද්ධ පාර්ශ්වවල සහ ඉන්දීය රජයේ මෙම මැදිහත් වීම් වලින් පසු වෙන්දේසිය කල් දැමීමට වෙන්දේසි ආයතනය තීරණය කර තිබෙනවා. ඔවුන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉන්දීය රජය මතු කළ කාරණා පිළිබඳ සලකා බැලීමෙන් පසු සහ අනෙක් අදාල පාර්ශ්ව සමග ද එකඟතාවකට පැමිණීමෙන් පසු වෙන්දේසිය කල් දැමීමට තීරණය කළ බව ඉහත ප්‍රකාශයෙ හි සඳහන් වෙනවා.
මෙම වෙන්දේසියට අදාළ සියළු දැන්වීම් ආදිය සතබීස් ආයතනයේ වෙබ් අඩවියෙන් ඉවත් කර තිබෙනවා.
වෙන්දේසිය මේ ආකාරයෙන් අත්හිටුවීම නිසා අදාළ පාර්ශ්වවලට මේ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව උදාවනු ඇති බව එම ආයතනය ප්‍රකාශ කර තිබුණා.
නිහාල් පීරිස්