“චිචී ගේ රොකට් එක” ගැන සුප්‍රීම්සෙට් සභාපති ගෙන් නිවේදනයක්

පටු දේශපාලන වාසි තකා වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් සුප්‍රීම්සෙට් -1 චන්ද්‍රිකාව ගැන පැතිර වූ අසත්‍ය කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වීම තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම්සෙට් පෞද්ගලික සමාගමේ සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.මේ වන විට සුප්‍රීම්සෙට් -1 චන්ද්‍රිකාව 87.5° නැගෙනහිර කක්ෂයේ නිවැරදිව සක්‍රිය ලෙසින් පවතින බවත් මූලික දියත් කිරිමේ සිටම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර තිබෙන බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙයි. ආර්.එම්. මනිවන්නන් මහතා එම නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ නිරන්තරයෙන් සුප්‍රීම්සෙට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් තවදුරටත් සමාගමේ කීර්ති නාමය ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවයි.
සුප්‍රීම්සෙට් සමාගම බහු නෛතික රාමු යටතේ නිසි දේශීය හා අන්තර්ජාතික නීති රෙගුලාසීන්ට යටත්ව, නිසි අවසරයන් යටතේ ජාත්‍යන්තර තාක්ෂණික ප්‍රමිතීන් හා නියාමනයන්ට යටත්ව ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් වේ.එමෙන්ම ඒ සම්බන්ධ නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුන්ගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනය මඟින් ඔහු වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්