පාර්ලිමේන්තුව අද රැස්වෙයි

2025 සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගියදා (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 9 සිට 12 දක්වා රැස්වීමට නියමිතයි.අද (09) පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය සුරක්ෂණය පිළිබඳ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය සම්මත කිරීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථාව ප්‍රකාරව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුව ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම එදින ප.ව 5.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.අනතුරුව ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේදී අසනු ලබන ප්‍රශ්න සඳහායි කාලය වෙන් කර ඇත.

කාලීන පුවත්