රජය වී මිල ඉහළ දැම්මොත් මෝල් හිමියන් සහල් මිලත් ඉහළ දමාවි

රජය වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමේ මිල ඉහළ දැමුවහොත් වී මෝල් හිමියන් ද සහල් මිල ඉහළ දැමීමට අපේක්ෂාවෙන් සිටින බැවින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට වී ගබඩා පිරී පවතින නමුත් එම තොග මේ වනවිට ක්‍රමයෙන් ඉවත් කරමින් පවතින බවයි. වර්තමානයේ අම්පාර, වැල්ලවාය සහ උතුරු ප්‍රදේශවලින් සුළු වශයෙන් යල කන්නයේ අස්වැන්න ලැබෙමින් තිබෙන අතර, වී අලෙවි මණ්ඩලයේ පවතින තොග අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව ඔහු පැවසීය. යල කන්නයේ වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට සැලසුම් කර ඇති නමුත් මිල සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය. මහ කන්නයේ දී නාඩු කිලෝවක් රු. 120කට, සම්බා රු. 130කට සහ කීරි සම්බා රු. 140කට මිලදී ගත් අතර, යල කන්නයේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගොයම් කැපීමේ හා කුඹුරු සැකසීමේ වියදම් වැඩි වී ඇති අතර, හෙක්ටර් කොබ්බෑකඩුව වී පර්යේෂණ ආයතනය මඟින් නිෂ්පාදන පිරිවැය කිලෝවක් සඳහා ආසන්න වශයෙන් රු. 137ක් ලෙස ගණනය කර ඇත.කෙසේ වෙතත්, වී අලෙවි මණ්ඩලයේ මිලදී ගැනීමේ මිල රු. 150 දක්වා ඉහළ දැමුවහොත්, පසුගිය දිනවල රු. 95, 100, 105 වැනි අඩු මිල ගණන් යටතේ වී මිලදී ගත් මෝල් හිමියන් එය පදනම් කරගෙන සහල් මිල ඉහළ දැමීමට කටයුතු කරනු ඇතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය. එවැනි තත්ත්වයක් පාරිභෝගික ජනතාවට බරපතළ ගැටලුවක් වනු ඇති බවත්, එබැවින් මිල ඉහළ දැමීම හෝ ගොවීන්ට වෙනත් සහන ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ඉදිරි දින එක දෙක තුළ තීරණයක් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. රජයේ ප්‍රතිපත්තිය ගොවියා ආරක්ෂා කිරීම බවත්, නිෂ්පාදන පිරිවැයට සරිලන මිලක් ගොවියාට ලබාදීමේ ස්ථාවරයේ සිට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රාසමානික්කම් ශානක්කියන් මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

කාලීන පුවත්