ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ත්‍රාසජනක, නාට්‍යමය සහ සිදුවීම් සහිත කණ්ඩායම් අදියර නිමාවට පත්වූ අතර, අවසන් කණ්ඩායම් 32 අතර වටය අද අලුයම සිට ආරම්භ විය. වත්මන් ශූර ආර්ජන්ටිනාව මූලික වටයේ තරග තුනම ජයගෙන සියයට සියයක සාර්ථකත්වයක් සමඟ පිළිමලුන් පිටුදැකීමේ අදියරට අපරාජිතව පිවිස ඇත. මෙක්සිකෝව හා ප්‍රංසයද මූලික වටයේ අපරාජිතව පිළිමළුන් පිටුදැකීමේ අදියරට පිවිසි කණ්ඩායම් වෙති.
ජර්මනිය, බ්‍රසීලය, පෘතුගාලය, එංගලන්තය සහ යුරෝපීය ශූර ස්පාඤ්ඤය පිළිමලුන් පිටුදැකීමේ අදියරට පිවිසියද, ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්වීමට නොහැකි වී තිබේ. විශේෂයෙන්ම ලෝක පාපන්දු ශූරතා 4ක් දිනා සිටින ජර්මනිය ඔවුන්ගේ අවසන් තරගයේදී ඉක්වදෝරයට 2-1ක් ලෙස පරාජය වී කණ්ඩායම් අදියර අවසන් කිරීම කාගේත් කතාබහට ලක් විය.
පිළිමලුන් පිටුදැකීමේ කණ්ඩායම් 32 වටයේදී ආර්ජන්ටිනාවට ලබන 4 වැනිදා කේප් වර්ඩ් පිල හමුවන අතර. එය පහසු තරගයක් වනු ඇතැයි විශ්වාසය වේ. අනතුරුව කණ්ඩායම් 16 වටයේදී ඔවුන්ට හමුවන්නේ ඔස්ට්‍රේලියා හා ඊජිප්තුව අතර තරගයේ ජයග්‍රාහී කණ්ඩායම වේ. එබැවින් විශ්ලේෂකයන්ට අනුව, ආර්ජන්ටිනාවට අවසන් හතර දෙනා අතරට පැමිණීමට පහසු මාර්ගයක් විවෘත වී ඇත.
කෙසේ වෙතත්, අවසන් පූර්ව වටයේදී විශාල තරගකාරී තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි අතර, එහිදී ආර්ජන්ටිනාවට බ්‍රසීලය, එංගලන්තය, නෝර්වේ හෝ අයිවරි කෝස්ට් වැනි ශක්තිමත්ම කණ්ඩායම්වලින් එකකට මුහුණ දීමට සිදුවනු ඇත. 32 වටයේ තරග සටහන අනුව යුරෝපීය සුපිරි බලවතුන් අතර සටන වේගවත් වෙමින් පවතී. ප්රංසය, ජර්මනිය, ස්පාඤ්ඤය, පෘතුගාලය, නෙදර්ලන්තය සහ බෙල්ජියම වැනි කණ්ඩායම් සියල්ලම එකම කොටසක සිටින බැවින්, ආරම්භයේ සිටම දැඩි තරගකාරීත්වයක් පවතිනු ඇත.
මෙවර පාපන්දු ලෝක කුසලානයේ කාණ්ඩ ශූරයන් ලෙස මෙක්සිකෝව, ස්විට්සර්ලන්තය, බ්‍රසීලය, අමෙරිකාව, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම, ස්පාඤ්ඤය, ප්‍රංශය, ආර්ජන්ටිනාව, කොලොම්බියාව සහ එංගලන්තය ඉදිරියට පැමිණි අතර, කාණ්ඩවල දෙවැනි ස්ථානයේ දකුණු අප්‍රිකාව, කැනඩාව, මොරොක්කෝව, ඔස්ට්‍රේලියාව, අයිවරි කෝස්ට්, ජපානය, ඊජිප්තුව, කේප් වර්ඩ්, නෝර්වේ, ඔස්ට්‍රියාව, පෘතුගාලය සහ ක්‍රොඒෂියාව සිටිති.