කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය 75 වන ජන්ම දිනය සපිරුණු වහාම කැනන් නීතියට අනුව ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත සිය විශ්‍රාම ගැන්වීමේ ලිපිය යොමු කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිල වශයෙන් නිවේදනය කරයි.මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් 1947 නොවැම්බර් 15 වන දින උපත ලබා ඇති අතර, 2022 නොවැම්බර් මස 15 වන දින උන්වහන්සේගේ 75 වන ජන්ම දිනය යෙදී තිබුණි. කතෝලික සභාවේ කැනන් නීති සංග්‍රහයේ 401 වගන්තියට අනුව, ඕනෑම රදගුරුතුමෙකු වයස අවුරුදු 75 සම්පූර්ණ වූ විට ශුද්ධෝත්තම පාප් වහන්සේට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ යුතුය.
මෙම නීතිමය බැඳීම නිසි ලෙස ඉටු කර ඇති කාදිනල් හිමිපාණන්, ශුද්ධෝත්තම පාප් වහන්සේගේ අවසන් තීරණය ලැබෙන තෙක් කොළඹ අගරදගුරු ධුරයේ සියලු වගකීම් දිගටම ඉටු කිරීමට බැඳී සිටින බව රදගුරු සම්මේලනය අවධාරණය කරයි. සාමාන්‍යයෙන් පාප් වහන්සේ විසින් එම ඉල්ලීම පිළිගන්නා තෙක් හෝ නව අගරදගුරුතුමෙකු පත් කරන තෙක් අදාළ රදගුරුතුමා සිය ධුරයේ කටයුතු කරගෙන යයි.
රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකර දීම වෙනුවෙන් මැල්කම් කාදිනල් හිමිපාණන් සහ කතෝලික සභාව දරන අවංක උත්සාහය සම්බන්ධයෙන් සිය පූර්ණ සහයෝගය පළ කරන බවයි.“ආරම්භයේ සිටම උන්වහන්සේ පෙනී සිටින්නේ පිරිසිදු හා අවංක චේතනාවෙන්” බව පවසන රදගුරු මණ්ඩලය, දේශීය මෙන්ම විශ්ව කතෝලික සභාවට උන්වහන්සේ සිදුකර ඇති සුවිශේෂී මෙහෙවර අගය කර සිටී. උන්වහන්සේගේ එම වැඩපිළිවෙළ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකේය කතෝලික ජනතාවගේ සහ රදගුරු මණ්ඩලයේ නොසැලෙන සහයෝගය නොඅඩුව හිමිවන බවද නිවේදනයේ දැක්වේ.මෙම ක්‍රියාවලිය පැහැදිලි කරමින් රදගුරු සම්මේලනය පෙන්වා දෙන්නේ “කතෝලික සභාවේ නීති රීති ක්‍රියාත්මක කිරීම සහ දේශපාලන ලෝකයේ බල අරගල කිසිසේත්ම සංසන්දනය කළ නොහැකි” බවයි. සාමාන්‍ය සිවිල් නීතිය ආණ්ඩුකරණය මත පදනම් වුවද, කතෝලික සභාවේ බලය පවතින්නේ ‘දේව සේවය’ තුළ බවද එම නිවේදනයේ සඳහන් වේ.මෙම නිල නිවේදනය ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් සහ මහලේකම්, මඩකළපුව අපෝස්තලික පරිපාලක හා කොළඹ සහයක රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.