ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන මහා සංඝරත්නයෙන් විරෝධයක්

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ පාර්ශ්ව කිහිපයකින් විරෝධය පළ වී තිබේ.සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කර ඇත්තේ, චීවරය ඉවත් කර ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම බරපතළ නෛතික හා ශාසනික ගැටලුවක් බවයි.අධිකරණය ලබා දුන් තීන්දුවට පූර්ණ ගෞරවය දක්වන නමුත්, බන්ධනාගාර බලධාරීන් විසින් සිදුකර ඇති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනත හා අදාළ රෙගුලාසි යළි පරීක්ෂා කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දී තිබේ. බුද්ධාගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛස්ථානය මෙන්ම ශාසනික සම්ප්‍රදායන් ද සැලකිල්ලට ගත යුතු බව ද උන්වහන්සේ අවධාරණය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව රාජ්‍යයේ වගකීම වන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමය.කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන්නේ වෙනස් නීතිමය පැහැදිලි කිරීමකි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය 6 වැනිදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර බන්ධනාගාර ඇඳුමින් සැරසීම බන්ධනාගාර ආඥා පනත සහ බන්ධනාගාර රෙගුලාසි අනුව සිදුකර ඇති බවයි. එය ඥානසාර හිමියන්ට පමණක් අදාළ කළ විශේෂ ක්‍රියාමාර්ගයක් නොවන බවත්, බන්ධනාගාරගතව සිටින බෞද්ධ භික්ෂූන් 63 දෙනකු සම්බන්ධයෙන් ද එම ක්‍රමවේදය අනුගමනය කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා ද නිකුත් කළ පැහැදිලි කිරීමකදී පවසා ඇත්තේ සරල සිරදඬුවමකට යටත් කළ භික්ෂුවකට බන්ධනාගාරය තුළ චීවරයෙන් සිටීමට අවසර තිබිය හැකි නමුත්, බරපතළ සිරදඬුවමක් (rigorous imprisonment) නියම කර ඇති ඕනෑම පුද්ගලයකු බන්ධනාගාර ඇඳුමින් සිටිය යුතු බවයි. වසර තුනකට අඩු සිරදඬුවමක් ලබන අයකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පෙර භාවිත කළ සිවිල් ඇඳුමින් පැමිණීමට බන්ධනාගාර අධිකාරිවරයාට අවසර දිය හැකි නමුත්, වසර තුනකට වැඩි සිරදඬුවමක් ලබන අයකු බන්ධනාගාරයෙන් නිකුත් කරන ඇඳුමින්ම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඥානසාර හිමියන්ට චීවරය රඳවා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබේ. භික්ෂුවකගේ චීවරය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය අදාළ සංඝ සභාවට හා මහා සංඝරත්නයට අයත් වන බව උන්වහන්සේ පෙන්වා දී ඇත.ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මෙවැනි තත්ත්වයක් මතුවීමට පසුබිම් වී ඇත්තේ උන්වහන්සේට පෙර නියම කර තිබූ වසර හයක සිරදඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය ඔක්තෝබර් 5 වැනිදා නියෝග කිරීමය. එම නියෝගය පැමිණියේ 2019 දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සැප්තැම්බර් 10 වැනිදා බල රහිත කිරීමෙන් පසුවය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියම වූ එම වසර හයක සිරදඬුවමෙන් කොටසක් පමණක් ගෙවා තිබූ ඥානසාර හිමියන්ට ඉතිරි සිරදඬුවම ගෙවීමට සිදුව ඇති අතර, අභියාචනාධිකරණ නියෝගයෙන් අනතුරුව උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

කාලීන පුවත්