අපේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඇමෙරිකාව හා ඉරානය මෙන් විය යුතු නැත – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති


ඉරාන නෞකාවකට අපේ සුවිශේෂී මුහුදු ආර්ථික කලාපයේදී එල්ල කළ විනාශකාරී ටෝපිඩෝ ප්‍රහාරය තවදුරටත් බරපතළ ගැටලුවක් සේ ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලාංකීය අභ්‍යන්තර දේශපාලනය සූදානම් බව පෙනේ. ඊට පසුදින ඊළඟ ඉරාන යුද නෞකාව පිළිබඳව ආණ්ඩුව විචක්ෂණ තීරණයක් ගනිමින් සිදු කළ මැදිහත්වීමෙන් මුල් සිද්ධිය අමතක කර දැමීමට ඉඩ දීමට විපක්ෂ කණ්ඩායම් බහුතරයක් සූදානම් නැති බව ඉකුත් 07 වන දා පාර්ලිමේන්තුවේදී කැපී පෙනුණි. සමාජ මාධ්‍යයේ ද ආණ්ඩු විරෝධී මත පළ කරන්නන් ද එසේම ය. මේවා දෙස නිරීක්ෂණාත්මකව බලන කල ආණ්ඩුවට එරෙහි බලවේග උත්සාහ කරමින් සිටින්නේ “කළ දුටු කල වළ ඉහ ගැනීමේ” ප්‍රතිපත්තියක බව පෙනේ. මේ ආණ්ඩුව විපක්ෂයේ සිටියදී ද කිසිම අඩුවක් නැතිව ඔය න්‍යාය අනුගමනය කළ බව ඇත්ත ය. ආණ්ඩුවට අසීරු අවස්ථා යනු විපක්ෂයේ ආණ්ඩු බලය අපේක්ෂා කරන්නන්ට ලැබෙන “චාන්ස්” බව ද ඇත්ත ය. එසේ වුව ද නූතන දේශපාලනයේදී මේවා ඒ අන්දමින්ම කරතියාගෙන යා යුතු හණමිටි නොවන බව තේරුම් ගැනීම වැදගත් ය.

පසුගිය සතියේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ කතාබහට ලක් කෙරුණේ ඇමෙරිකන් සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් ඉරානයට අයත් “අයිරිස් දෙනා” යුද නෞකාව මෙරටට අයත් මුහුදු කලාපයේ ගිලීගොස් එහි සිටි නාවිකයන් සියයක් පමණ මියයාම නිසා ය. මෙය ඉන්දීය සාගරයේදී සිදුවීමම පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර සම්මුතීන් හා පිළිගැනීම් බලවතුන්ට අදාළ නොවන බව ය. යුදමය කාර්යයක නිරත වී නොසිටි ඉරාන නෞකාවකට කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව පහරදීම කිසිසේත් සාධාරණීකරණය කළ හැක්කක් නොවේ. එය වඩාත් බරපතළ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ යෝජනාවකින් ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පිළිගෙන තිබුණු නිසා ය.

ඇමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කරමින් ආරම්භ වූ මේ මහා යුද්ධය එන්න එන්නම තීව්‍ර වෙමින් පවතී. ආරම්භයේදී ඉරානයට සිදු වූ හානියේ ප්‍රමාණය අනුව යුද්ධය එතරම් දිග්ගැස්සෙතැයි ලෝකයා නොසිතුවත්, මේ වන විට ඉරානයේ ප්‍රතිප්‍රහාරය සමග මෙය දිග්ගැස්සුණු යුද්ධයක් වන බවට සැකයක් නැත. පසුගිය සතියේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ කතාබහට ලක් කෙරුණේ ඇමෙරිකන් සබ්මැරීනයකින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් ඉරානයට අයත් “අයිරිස් දෙනා” යුද නෞකාව මෙරටට අයත් මුහුදු කලාපයේ ගිලීගොස් එහි සිටි නාවිකයන් සියයක් පමණ මියයාම නිසා ය. මෙය ඉන්දීය සාගරයේදී සිදුවීමම පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර සම්මුතීන් හා පිළිගැනීම් බලවතුන්ට අදාළ නොවන බව ය. යුදමය කාර්යයක නිරත වී නොසිටි ඉරාන නෞකාවකට කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව පහරදීම කිසිසේත් සාධාරණීකරණය කළ හැක්කක් නොවේ. එය වඩාත් බරපතළ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කළ යෝජනාවකින් ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පිළිගෙන තිබුණු නිසා ය.

මෙම ප්‍රහාරයට ලක් වූ නැවට පහරදීම කිසිසේත් එකඟ විය හැකි ක්‍රියාවක් නොවේ. එය ශ්‍රී ලංකාව වැනි කුඩා රටක මුහුදු සීමාව තුළ සිදු කිරීම ඊටත් වඩා පිළිකුල් සහගත ය. ශ්‍රී ලංකාව එහි දීර්ඝ ඉතිහාසයේ කවර කලකවත් අන් රටවල් කෙරෙහි ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ කළ රාජ්‍යයක් නොවේ. ශ්‍රී ලාංකිකයන් ඉතිහාසය පුරාම සටන් කළේ ස්වකීය ආරක්ෂාව තහවුරු කර ගැනීම වෙනුවෙනි. වර්තමානයේ බලවතුන් විසින් ක්‍රියාත්මක කරන මහ පරිමාණ යුද්ධවල පාර්ශ්වකරුවකු වීමට හෝ අඩු ගණනේ ආරක්ෂාව සඳහා සටන් කිරීමටවත් ප්‍රමාණාත්මක ශක්තියක් ජාතියක් ලෙස අපට නැත. මේ නිසාම මහා පරිමාණ යුද්ධයක බලවත් පාර්ශ්වකරුවකු, යුද කලාපයෙන් කිලෝමීටර් දෙදහසකටත් වඩා දුරින් පිහිටි ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික මුහුදු කලාපය තුළ තිබූ තම සතුරු පාර්ශ්වයට අයත් නැවකට සබ්මැරීන් ප්‍රහාර එල්ල කිරීම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය නොසලකා හැරීමක් සේ සැලකිය හැකි ය. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම කලාපයක් ලෙස පිළිගෙන ඇති ඉන්දීය සාගරය තුළට මේ යුද්ධය ගෙන ඒමෙන් ජාත්‍යන්තර සම්මුතීන්ට තමන් ගරු නොකරන බව ද ඇමෙරිකාව ප්‍රදර්ශනය කර ඇත. විශේෂයෙන්ම ඉන්දීය සාගරය සාම කලාපයක් කළ යුතුය යන යෝජනාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය තුළදීම මේ ප්‍රහාරය සිදු කිරීමෙන් පෙන්නුම් කර ඇත්තේ අධිපතිවාදී මානසිකත්වයයි. මේ සියල්ල පුරවැසියන් ලෙස සාධාරණව විවේචනය කළ හැකි වුවත්, රාජ්‍යයක් ලෙස මීට එරෙහිව යමක් කළ හැකි තත්ත්වයක ශ්‍රී ලංකාව නොමැති බව අප තේරුම් ගත යුතුව ඇත. එසේ යමක් කළ නොහැක්කේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ අඩුපාඩුවක් නිසා නොවන බව ද තේරුම් ගැනීම වැදගත් ය. කවර ආණ්ඩුවක් රටේ තිබුණ ද මේ අවස්ථාවේ ප්‍රතිචාර දැක්වීමේදී මීට වඩා වෙනස් දෙයක් අපේක්ෂා කළ නොහැක. පළමු නෞකාවට සිදු වූ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව බොහෝ දේ නොදන්නා බව ඇඟවූයේ, ඇතැම් විට එබඳු අවස්ථාවක් පිළිබඳව ඊට පෙර ලද අත්දැකීම් නොමැතිව අන්දමන්දව සිටි නිසා විය හැකිය.

දෙවන ඉරාන නැව අරභයා ආණ්ඩුව ඉතාම විචක්ෂණශීලී පියවරක් අනුමනය කිරීමට සමත්වීම සතුටට කරුණකි. ඒ පියවරෙන් පෙන්නුම් කළේ ආණ්ඩුව පළමු නැවේ සිද්ධියේ අත්දැකීම මැනවින් යොදාගත් බව ය. යළිත් පළමු නැවට මෙන් ඛේදවාචකයක් සිදුවීම වළක්වා ගැනීමට රජය කල්පනා කළ බව දෙවැනි නැව අරභයා අනුගමනය කළ පියවරෙන් පෙනී යයි. මෙබඳු අවස්ථාවල යුද වැදී සිටින දෙපාර්ශ්වයම තුලනය වන ලෙසට තීරණයක් ගැනීම බෙහෙවින් අසීරු කරුණකි. නමුත් ශ්‍රී ලංකාවේ අනුර දිසානායක ජනාධිපතිවරයා ඒ අසීරු තීරණය සාර්ථකව ගැනීමට සමත්වීම රට ලැබූ ජයග්‍රහණයකි. අපේ රටේ ඉතිහාසයේ රාජ්‍ය පාලකයන්ට මුහුණ දීමට සිදු වී ඇති මෙබඳු ජාත්‍යන්තර ගැටලු පිළිබඳ තොරතුරු අනුරාධපුර යුගයේ ද දක්නට ලැබේ. අනුරාධපුර යුගයේ අවසාන භාගය වන විට දකුණු ඉන්දියාවේ චෝල බලය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබියදී චෝල ආධිපත්‍යයට එරෙහිව කෙළින්ම ගැටුණේ පාණ්ඩ්‍යයන් ය. ප්‍රබල චෝල ආක්‍රමණ හමුවේ මෙරටට පැමිණි පාණ්ඩ්‍ය පාලකයා සතරවන දප්පුල රජුගෙන් චෝලයන් හා සටන් කිරීමට යුද ආධාර ඉල්ලා සිටියේ ය. යුද ආධාර සැපයීමට නොහැකි බවත්, පඬි රටේ රාජ කකුධ භාණ්ඩ ආරක්ෂා කර දීම කළ හැකි බවටත් රාජ්‍ය තාන්ත්‍රික පිළිතුරක් ලබා දුන් දප්පුල රජු පාණ්ඩ්‍ය පාලකයා සමග වූ මිත්‍රත්වය ආරක්ෂා කර ගැනීමට සමත් විය. ඒ අනුව පාණ්ඩ්‍ය පාලකයා පාණ්ඩ්‍ය රාජ්‍යයේ රාජ කකුධ භාණ්ඩ ආරක්ෂාව සඳහා සතරවන දප්පුල රජුගේ භාරයට පත් කළේය.

අවසානයේ පාණ්ඩ්‍ය රාජ්‍යය අල්ලාගත් චෝල රජු එහි අභිෂේක කිරීමට සූදානම් වන විට ඊට අවශ්‍ය රාජ කකුධ භාණ්ඩ ලංකාවේ ආරක්ෂා සහිතව තබා ඇති බව දැනගෙන ඒවා ලබා දෙන ලෙස අප රටේ එවක සිටි පස්වන මිහිඳු රජුගෙන් ඉල්ලා සිටීමට සිදු විය. එසේ වුව ද පාණ්ඩ්‍ය රජු මෙරට ආරක්ෂාවට තබා ගිය රාජ කකුධ භාණ්ඩ චෝල රජු වෙත භාරදීමට පස්වන මිහිඳු රජතුමා කැමති වූයේ නැත. අවසානයේ චෝලයන්ට ඒ සඳහා ලංකාව ආක්‍රමණය කිරීමට සිදු විය. ඒ එදා ශ්‍රී ලංකාව මුහුණ දුන් ජාත්‍යන්තර ගැටලු ය. අනුරාධපුර යුගයෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දේශපාලනිකව උණුසුම්ම වාතාවරණය ඇති වූයේ 1987 වඩමාරච්චි මෙහෙයුම සම්බන්ධව ඇති වූ මතභේදය අවස්ථාවේදී විය යුතු ය. වඩමාරච්චි මෙහෙයුම නිසා යාපනයේ සාමාන්‍ය ජනයාට ආහාර පාන සැපයීම අඩාල වී ඇතැයි පවසමින් ඉන්දියාව ආහාර ද්‍රව්‍ය බෝට්ටු මගින් යාපනයට එවන බවට ශ්‍රී ලංකාවේ විරෝධය නොතකා කළ මැදිහත්වීමට පෙර, ප්‍රබල නායකයකු වූ ජේ. ආර්. ජයවර්ධන එදා විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක හා වාමාංශික පක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ එවක සිටි එකම මන්ත්‍රී ඩිව් ගුණසේකර ගෙන්වාගෙන ඒ තීරණාත්මක අවස්ථාවේ ගත යුතු පියවර ගැන ඔවුන් සමඟ ද සාකච්ඡා කළ බව ඩිව් ගුණසේකරයන් හෙළි කර තිබුණි. මේ ජාතික වශයෙන් ගත යුතු තීරණාත්මක දේශපාලනික තීරණවලදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක කටයුතු කරන අන්දමයි. එහෙත්, මේ වන විට ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම එබඳු පිළිවෙත් අනුගමනය නොකරන බවත්, ලැබෙන ඕනෑම ඉඩකදී දෙපාර්ශ්වයම එකිනෙකා නිර්දය ලෙස විවේචනය කිරීමට නොපැකිළව සූදානම්ව සිටින බවත් නිරීක්ෂණය වේ.

මේ ඉරාන නැව් දෙකෙන් පළමු නැව අරභයා සිදු වූ කනගාටුදායක සිද්ධියට දෙවැනි නැව පාත්‍රවීම වළක්වා ගැනීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි. එයට නිසි ඇගයීමක් දෙන්නට ප්‍රධාන විපක්ෂයට සිතක් පහළ නොවීම කනගාටුදායක ය. ඒ වෙනුවට සිදු වූ සබ්මැරීන් ප්‍රහාරයේ විස්තර ඉල්ලමින්, ජාතික ආරක්ෂාවට අදාළව සබ්මැරීන් පැමිණීම දැන ගැනීමට තාක්ෂණික උපකරණ තිබුණාදැයි ආණ්ඩුවෙන් විමසමින්, මුහුදු යට සබ්මැරීන් ගමනාගමන තොරතුරු සොයා ගැනීමට අදාළ තාක්ෂණික උපකරණ ලැයිස්තු හා සබ්මැරීන් ටෝපිඩෝ වර්ගවල නම් විස්තර කියවමින් පාර්ලිමේන්තුවේ තම පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කිරීමට තැත් කිරීම කනගාටුදායක ය. ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී කී අන්දමට “හුණ්ඩුවක්” ම නොවුණත්, අප රට බඳු කුඩා ආර්ථිකයක් ඇති රාජ්‍යයකට අපට අයත් මුහුදු කලාපයේ සබ්මැරීන් හෝ යුද යාත්‍රා ගමනාගමන නිරීක්ෂණයට අදාළ තාක්ෂණයන් සඳහා වියදම් දැරිය හැකි ද? එබඳු තොරතුරු දැන ගැනීමෙන් පමණක් ප්‍රමාණවත් නොවේ. අනවසරයෙන් එන සබ්මැරීන් පිළිබඳ තොරතුරු ලැබුණොත් ඒ ගැන ක්‍රියාත්මක වීමට අවශ්‍ය තාක්ෂණය ද අවශ්‍ය වේ. ඒවා අධික වියදම් සහිත ය. මේ තත්ත්වය හොඳින් දන්නා ප්‍රධාන විපක්ෂය මේ ඉරාන නැව් සිද්ධියෙන් පසුව කරන ඇතැම් හැසිරීම් වැරදි ය. ඒ අතර ආණ්ඩුව දෙවැනි නැව අරභයා ගත් තීන්දු තීරණ අගය කරන විපක්ෂ දේශපාලන පක්ෂ නායකයන් දෙතුන් දෙනෙක් ද අදහස් දක්වනු නිරීක්ෂණය විය. ඒ චම්පික රණවක, නාමල් රාජපක්ෂ හා හිටපු විදේශ අමාත්‍යවරයකු ද වන අලි සබ්‍රිය. ජාත්‍යන්තරයෙන් රටට එන අභියෝගවලදී තීරණ ගැනීමේ කාර්යය පැවරෙන්නේ ආණ්ඩුවට ය. නමුත් ඒවා ජාතික ප්‍රශ්න මිස පක්ෂ දේශපාලන ප්‍රශ්න නොවේ. ජාතික ප්‍රශ්නවලදී විපක්ෂය සමග සාකච්ඡා කර තීරණ ගැනීමට ආණ්ඩුව ද පුරුදු විය යුතුය. ආණ්ඩුව ජාතික ප්‍රශ්න අරභයා ගන්නා තීරණවලට රට අභ්‍යන්තරයෙන් පීඩනයක් එල්ල නොකිරීමට විපක්ෂය ද වගබලා ගත යුතුය.

රටේ පුරවැසියන් ද මෙබඳු අවස්ථාවල වගකීම් සහගතව ක්‍රියා කළ යුතුය. සාමාන්‍ය ජනතාව අතර ඉරානයට පක්ෂපාතී හෝ ඇමෙරිකන් ඊශ්‍රායෙල් පාර්ශ්වයට පක්ෂපාතී අදහස් දරන්නන් සිටිය හැකි ය. ඒ අයට තම හැඟීම අනුව සහාය දැක්වීමේ හෝ විරෝධය දැක්වීමේ උද්ඝෝෂණ හා ප්‍රචාරක කටයුතු කිරීමට බාධාවක් නැත. එසේ වුව ද කවර පක්ෂයක් බලයේ සිටියත් ඒ ආණ්ඩුවට හැකි වන්නේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක ක්‍රියා කිරීමට පමණක් බව ඒ අය තේරුම් ගත යුතුව ඇත. බිහිසුණු ලෙස යුද වැදී ඇති පාර්ශ්ව දෙකකින් එකක් පමණක් වැරදි වන්නේ නැත. යුද්ධය විසඳුමක් ලෙස දකින ඕනෑම පාර්ශ්වයක් වැරදි ය. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද අතිමහත් බහුතරය මේ යුද්ධයට විරුද්ධ ය. එසේ වන්නේ යුද්ධයෙන් වැඩිම පීඩාව විඳින්නට වෙන්නේ යුද වැදුණු අයට පමණක් නොවන නිසා ය.

රටේ පුරවැසියන් ද මෙබඳු අවස්ථාවල වගකීම් සහගතව ක්‍රියා කළ යුතුය. සාමාන්‍ය ජනතාව අතර ඉරානයට පක්ෂපාතී හෝ ඇමෙරිකන් ඊශ්‍රායෙල් පාර්ශ්වයට පක්ෂපාතී අදහස් දරන්නන් සිටිය හැකි ය. ඒ අයට තම හැඟීම අනුව සහාය දැක්වීමේ හෝ විරෝධය දැක්වීමේ උද්ඝෝෂණ හා ප්‍රචාරක කටයුතු කිරීමට බාධාවක් නැත. එසේ වුව ද කවර පක්ෂයක් බලයේ සිටියත් ඒ ආණ්ඩුවට හැකි වන්නේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක ක්‍රියා කිරීමට පමණක් බව ඒ අය තේරුම් ගත යුතුව ඇත. බිහිසුණු ලෙස යුද වැදී ඇති පාර්ශ්ව දෙකකින් එකක් පමණක් වැරදි වන්නේ නැත. යුද්ධය විසඳුමක් ලෙස දකින ඕනෑම පාර්ශ්වයක් වැරදි ය. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද අතිමහත් බහුතරය මේ යුද්ධයට විරුද්ධ ය. එසේ වන්නේ යුද්ධයෙන් වැඩිම පීඩාව විඳින්නට වෙන්නේ යුද වැදුණු අයට පමණක් නොවන නිසා ය. පසුගිය සිකුරාදා කොළඹදී ඇමෙරිකාවට එරෙහිව පැවති ජනතා උද්ඝෝෂණ අවස්ථාවකට පැමිණි ඉරාන තානාපතිවරයා, ඇමෙරිකාවට එරෙහිව අදහස් දක්වනු ද නිරීක්ෂණය විය. මේ යුද්ධයේදී මධ්‍යස්ථ ප්‍රතිපත්තියේ සිටින රාජ්‍යයක රාජකාරි කරන තානාපතිවරයකු මහජන උද්ඝෝෂණයකදී තම සතුරු පාර්ශ්වය විවේචනය කිරීම එතරම් යෝග්‍ය නැත. මේ දේම හෙට ඇමෙරිකානු තානාපතිනිය කළොත් එයත් වැරදි ය. එමෙන්ම අප රට මානුෂීයව සිතා රැකවරණය සැලසූ ඉරාන නාවිකයන් පිළිබඳ කළ යුතු ඉදිරි පියවර පිළිබඳ බලපෑම් කිරීමට කවර රාජ්‍යයකට හෝ අයිතියක් නැත. එය ඉරානයත් ශ්‍රී ලංකාවත් අතර සාකච්ඡා කර කළ යුතු දෙයකි. එසේම මේ රටේ මේ වන විට රැඳී සිටින කවර රටක පුරවැසියකු පිළිබඳව හෝ ගන්නා තීරණය ශ්‍රී ලංකාවත් අදාළ තැනැත්තා අයත් රාජ්‍යයත් අතර විසඳා ගත යුත්තකි. අවසාන වශයෙන් කිව යුත්තේ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්න විසඳීමේදී අපේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ඇමෙරිකාව හා ඉරානය මෙන් එකිනෙකාට එරෙහිව වැඩ නොකර එකම සංයුතියක් ලෙස සමගියෙන් ක්‍රියා කළ යුතු බව ය.

සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර