අපේ ආයුෂ අඩු වෙනවාද?

අපේ ආයුෂ අඩු වෙනවාද?
බොහෝ දෙනා නිතර ප්‍රකාශ කරන කාරණයක් හා වැරදි අදහසක් නම්, අපේ අත්තලා මුත්තලා මෙන් දිගු ආයු කාලයක් භුක්ති විඳීමට අපේ පරම්පරාවට හැකියාවක් (‘වාසනාවක්’) නැති බවයි. මෙය ඇත්තක්ද? මේ කාරණය විග්‍රහ කර බැලිය හැක්කේ සංඛ්‍යාලේඛන ඇසුරිනි. එක් එක් රටවලට වෙන වෙනමත්, සමස්ත ලෝකයටමත් ගණනය කරනු ලබන ‘උපතේදී අපේක්ෂිත ආයු මට්ටම’ නම් දර්ශකය ඇසුරින් මේ කතාවේ යථාර්ථය පැහැදිලි කරගැනීමට අපට හැකිය. විවිධ හේතු මත රටක සිදුවන මරණ අනුපාත මේ දර්ශකය සකස් කිරීමට පාදක කරගනු ලබයි. අපේ රටේ මෙන්ම සෙසු රටවලත් සිදුවන උපත් හා මරණ ලියාපදිංචි කෙරේ. එමෙන්ම යම් මරණයක් වාර්තා කරන විට මරණයට ආසන්න හේතුවත් වාර්තා කර ගනු ලබයි. හදිසි අනතුරු, බෝ නොවන රෝග, වසංගත තත්ත්වයන්, අපරාධමය සිදුවීම් ආදී හේතු නිසා සිදුවන ‘අකල්’ මරණ මෙන්ම සාමාන්‍ය ලෙස වියපත්වීම මත ශාරීරික දුර්වලතා හේතුවෙන් සිදුවන මරණ ආදිය එලෙස වාර්තා ගත වේ.

කෙසේ මුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය හේතුවෙන් (මානව ශිෂ්ටාචාරයට හිමි වූ ප්‍රතිලාභය හේතුවෙන්) වසංගත රෝගවලින් සිදුවන මරණ අතිවිශාල ලෙස පහත වැටී ඇත; බෝ නොවන රෝග වෙනුවෙන් ඇති ප්‍රතිකාර ක්‍රම වේගයෙන් දියුණු වන නිසා ‘මරණය කල් දමා ගැනීමට’ ඇති හැකියාව අපි අද අත්දකින්නෙමු; මාර්ග අනතුරු සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවීමේ තත්ත්වය පාලනය කරගත හැකි වන්නේ නම් මීට වඩා ඉහළ ආයු අපේක්ෂාවක් ලෝකයාට හිමි වනු ඇත. ඉන්දියාවේ වසරකට සර්ප විෂෙන් මිය යන 50,000ක පමණ ප්‍රමාණය අඩු කර ගැනීමට එරට සමත් වන්නේ නම් සමස්ත ලෝකයට අදාළ මෙම දර්ශකය ඉහළ අගයක් කරා ගෙන යා හැකිය. ඒ සඳහා එරට වැසියන් පොළඹවා ගැනීමට අනුගමනය කළ හැකි සරල චර්යා වෙනස වන්නේ රාත්‍රී නින්ද සඳහා ඇඳක් භාවිත කිරීම හා රාත්‍රියේ නින්දට පෙර ශරීර කෘත්‍යය කිරීම සඳහා ‘එළිපහළියට’ නොගොස් නිවසේ වැසිකිළිය භාවිතයට හුරු කරවීමයි. මන්ද සර්ප දෂ්ටනයන් වැඩි ප්‍රමාණයකට අවස්ථාව උදා වී ඇත්තේ මේ හේතු නිසාය. ලෝකයේ වෙසෙන ග්‍රාමීය ජනතාව එවන් චර්යාත්මක වෙනසක් හෝ ප්‍රගතියක් අත්කර ගන්නේ නම් ලෝක මට්ටමින් මෙම දර්ශකය තවත් ඉහළ නංවා ගත හැකි වනු ඇත.

ලෝකයේ තත්ත්වය ගත් විට, 1990 සිට 2013 වන විට උපතේදී අපේක්ෂිත ආයු කාලය වසර 57.3 සිට වසර 64.2 දක්වා වර්ධනයක් අත්කරගෙන ඇත. මෙම වර්ධනය අත්කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුකාරක වූයේ ළමා මරණ මට්ටම අඩු කර ගැනීමට අවශ්‍ය රෝහල් සේවාවන්හි හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වූ ගුණාත්මක වර්ධනයයි. ලෝකයේ සමස්ත තත්ත්වය අනුව වසරකට මාස දෙකක පමණ ප්‍රමාණයකින් උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩි වන බව නිරීක්ෂණය කොට ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වය අනුව වසරකට මාස තුනක පමණ වේගයකින් උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩි කර ගැනීමට සමත් වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය, පවතින ප්‍රශස්ත සෞඛ්‍ය සේවා මට්ටම හේතු කොට ගෙන (විශේෂයෙන් ළදරු මරණ අනුපාතය අඩු මට්ටමක පැවතීම හා ළමා ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වල සාර්ථකත්වය නිසා) යහපත් ආයු අපේක්ෂා මට්ටමක් පවත්වා ගනිමින් පවතී. එහෙත් මාර්ග අනතුරු හා සිවිල් අපරාධ මට්ටම එවන් ප්‍රගතියක් දක්වා නැත.

ලෝකයේ තත්ත්වය ගත් විට, 1990 සිට 2013 වන විට උපතේදී අපේක්ෂිත ආයු කාලය වසර 57.3 සිට වසර 64.2 දක්වා වර්ධනයක් අත්කරගෙන ඇත. මෙම වර්ධනය අත්කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුකාරක වූයේ ළමා මරණ මට්ටම අඩු කර ගැනීමට අවශ්‍ය රෝහල් සේවාවන්හි හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වූ ගුණාත්මක වර්ධනයයි. ලෝකයේ සමස්ත තත්ත්වය අනුව වසරකට මාස දෙකක පමණ ප්‍රමාණයකින් උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩි වන බව නිරීක්ෂණය කොට ඇත. ශ්‍රී ලංකාවේ තත්ත්වය අනුව වසරකට මාස තුනක පමණ වේගයකින් උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩි කර ගැනීමට සමත් වී ඇති බව වාර්තා වෙයි. ආහාර පෝෂණ තත්ත්වය ඉහළ නංවා ගැනීමෙන්, ආහාර හා පානීය ජලයේ පිරිසිදුතාව අත්කර ගැනීමෙන්, අපරාධ අඩු කර ගැනීමෙන් සහ ව්‍යායාමවල යෙදීමෙන් තවදුරටත් අපගේ අපේක්ෂිත ආයු කාලය ඉහළ ඉලක්කමක් කරා ළඟා කර ගත හැකි වනු ඇත.

වසර 2000දී ශ්‍රී ලංකා පුරවැසියෙකුගේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වසර 71.83ක් වූ අතර, 2005දී එම අගය වසර 73.17ක් ලෙසද, 2010 වන විට එය වසර 75.3ක් ලෙසද, 2014 වර්ෂයේදී එම දර්ශකය වසර 76.35 ලෙසද ගණනය කොට ඇත. ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් අපේක්ෂිත ආයු කාලය වැඩි වී ඇත. අපගේ ජනප්‍රිය විශ්වාසය නිවැරදි නොවන බවට ඇති නිවැරදිම හා විද්‍යානුකූල සාක්ෂිය මෙය වෙයි.

සෞඛ්‍යමය තත්ත්වයේ වර්ධනය විසින් මෙම දර්ශකය ඉහළ නංවා ගැනීමට දෙන තල්ලුව තරමක් දුරට අඩපණ කරන මානව පුරුදු වන්නේ, නූතන සුවපහසු ජීවන රටාව විසින් අහිමි කර ඇති (ශරීරයට අවශ්‍යම වන්නා වූ) ව්‍යායාම ප්‍රමාණය හිලවු කරගැනීමේ ක්‍රමවේදයකට සමාජයේ බහුතරයක් අවතීර්ණ නොවීමයි. සමහර අයගේ කෑදර ආහාර රටාව හා මාරක මාර්ග අනතුරු සංඛ්‍යාව පාලනය කර ගැනීමට තවමත් අපොහොසත් වීම තවත් එවැනි නොසැලකිල්ලකි.

කෙසේ මුත් අනපේක්ෂිත ලෙස මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ උපතේදී අපේක්ෂිත ආයු කාලය මඳකට අඩුවීමක් වාර්තා වී ඇති අතර, එය පමණ ඉක්මවා ඇල්කොහොල් භාවිතය නිසා බවට වෛද්‍යවරු අනුමාන කරති.

අතීතය ශ්‍රේෂ්ඨයි, උත්කෘෂ්ටයි, ‘වර්තමානය අප්සෙට්’ වැනි ජනප්‍රිය මිථ්‍යාවන් මේ විශ්වාසය සමග වෙලී ඇත. මිථ්‍යා ලෝලීන් ගිලී සිටින සමස්ත මිථ්‍යාවේ හරස්කඩක් මේ මිථ්‍යාව තුළ නිරූපණය වේ. එසේ විශ්වාස කළ අයට මේ සත්‍යය තේරුම් ගෙන සතුටු විය හැකිය.ඇත්තෙන්ම අපි තව වසර 50කට පසුව උපන්නා නම්, වඩා වැඩි ආයු කාලයක් භුක්ති විඳ, වඩා හොඳ ජීවිතයක් ගත කරන්නට හැකි වනු ඇත. ඒ බව පසක් කරගන්නට නම් ලෝකය ඉදිරියට මිස පසුපසට ගමන් නොකරන බව තේරුම් ගැනීම ප්‍රමාණවත්ය.

අතීතය ශ්‍රේෂ්ඨයි, උත්කෘෂ්ටයි, ‘වර්තමානය අප්සෙට්’ වැනි ජනප්‍රිය මිථ්‍යාවන් මේ විශ්වාසය සමග වෙලී ඇත. මිථ්‍යා ලෝලීන් ගිලී සිටින සමස්ත මිථ්‍යාවේ හරස්කඩක් මේ මිථ්‍යාව තුළ නිරූපණය වේ. එසේ විශ්වාස කළ අයට මේ සත්‍යය තේරුම් ගෙන සතුටු විය හැකිය.

ඇත්තෙන්ම අපි තව වසර 50කට පසුව උපන්නා නම්, වඩා වැඩි ආයු කාලයක් භුක්ති විඳ, වඩා හොඳ ජීවිතයක් ගත කරන්නට හැකි වනු ඇත. ඒ බව පසක් කරගන්නට නම් ලෝකය ඉදිරියට මිස පසුපසට ගමන් නොකරන බව තේරුම් ගැනීම ප්‍රමාණවත්ය.

තාරක වරාපිටිය

ඉරා අදුරුපට