අරුණ ප්‍රධාන කර්තෘවරයා CID යට කැඳවූයේ මාධ්‍යකරුවන් බිය වැද්දීමට ද?

vinivida aruna

පොලිස් නිෂ්කාශන වාර්තාවක් (Police Clearance Report) ලබා ගැනීමේ ක්‍රියාවලියට අදාළව මෑතකදී ශ්‍රී ලංකාව තුළ මතු වූ ආන්දෝලනාත්මක සිදුවීමක්, රාජ්‍ය සේවාවන් දේශපාලනීකරණය වීමේ අවදානම සහ මාධ්‍ය නිදහසට එල්ල වන තර්ජන පිළිබඳව සමාජ කතිකාවක් ඇති කොට තිබේ. 2025 නොවැම්බර් 19 වන දින ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් යටතේ පළ වූ වාර්තාවකට අනුව, පුරවැසියෙකු පොලිස් සහතිකයක් ඉල්ලා සිටීමේදී සාමාන්‍යයෙන් අවශ්‍ය වන ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව, අදාළ ප්‍රදේශයේ මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ අනුමැතියක් හෝ චරිත සහතිකයක් ද ඉදිරිපත් කළ යුතු බවට පොලිස් ස්ථාන මගින් දැනුම් දී තිබෙන බව සඳහන් විය. “ග්‍රාම නිලධාරි සහතිකය මදි, පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීගේ අනුමැතියත් ඕනෑ” යන සිරස්තලය යටතේ පළ වූ මෙම පුවත, මෙවැනි ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ අපක්ෂපාතීත්වය පිළිබඳ බරපතළ ප්‍රශ්න මතු කරන්නකි. නමුත් මෙය අසත්‍ය පුවතක් යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ලැබූ අතර, එවැනි අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එකී පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණෙන ලෙස ද දන්වා තිබිණි.

පොලිස් නිෂ්කාශන වාර්තාවක් යනු රැකියා, අධ්‍යාපන හෝ සංක්‍රමණික කටයුතු සඳහා පුරවැසියන්ට අත්‍යවශ්‍ය වන නිල ලේඛනයකි. මෙතෙක් කල් අදාළ අයදුම්කරුගේ පදිංචිය තහවුරු කිරීමට රාජ්‍ය නිලධාරියෙකු වන ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය ප්‍රමාණවත් විය. එහෙත්, මෙම නව අවශ්‍යතාව ලෙස සැලකෙන මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ අනුමැතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සිය විවේචනය එල්ල කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

පොලිස් නිෂ්කාශන වාර්තාවක් යනු රැකියා, අධ්‍යාපන හෝ සංක්‍රමණික කටයුතු සඳහා පුරවැසියන්ට අත්‍යවශ්‍ය වන නිල ලේඛනයකි. මෙතෙක් කල් අදාළ අයදුම්කරුගේ පදිංචිය තහවුරු කිරීමට රාජ්‍ය නිලධාරියෙකු වන ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය ප්‍රමාණවත් විය. එහෙත්, මෙම නව අවශ්‍යතාව ලෙස සැලකෙන මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ අනුමැතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් සිය විවේචනය එල්ල කළේය.

මෙම මහජන ආරක්ෂක කමිටු යනු ප්‍රජා ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ආයතන වුවද, එහි සභාපතිවරුන් දේශපාලන හෝ වෙනත් පෞද්ගලික පක්ෂපාතීත්වයන් මත පත් කළ පුද්ගලයන් විය හැකි බැවින්, ඔවුන්ගේ සහතිකයක් ඉල්ලා සිටීම රාජ්‍ය සේවාවට දේශපාලනය ගාවා ගැනීමක් ලෙස සැලකිය හැකිය. එවැනි කමිටු ප්‍රධානීන්ගේ තීරණ අපක්ෂපාතීව හෝ විෂයයට අදාළව සිදුවනු ඇතැයි අපේක්ෂා කිරීම අසීරු ය. මෙහිදී, කිසියම් පුරවැසියකුට දේශපාලන හේතු මත හෝ පෞද්ගලික අමනාපකම් මත පොලිස් සහතිකයක් ලබා ගැනීම සඳහා වූ අවස්ථාව අහිමිවීමේ අවදානමක් පවතී. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද පෙන්වා දුන්නේ මෙම කාරණය සමස්ත සමාජයම බැරෑරුම් ලෙස ගත යුත්තක් බවයි. අපි ද එය එක හෙළා අනුමත කරමු.

මෙම පුවත පළ වූ දිනයේම (නොවැම්බර් 19) ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම වාර්තාව අසත්‍ය බවට නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීය. පොලිස් වාර්තාවක් ලබාගැනීම සඳහා අයදුම් කිරීමේදී මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයා විසින් නිකුත් කරනු ලබන චරිත සහතිකයක් කිසිසේත් අවශ්‍ය නොවන බව එම නිවේදනයේ පැහැදිලිව සඳහන් විය. එමෙන්ම, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රවෘත්තිය අසත්‍යයක් බවට ප්‍රකාශ කළේය.

නමුත්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහ මාධ්‍ය සංවිධානවල අදහස වූයේ, රජය මෙලෙස නිල වශයෙන් ප්‍රතික්ෂේප කළ ද, ප්‍රායෝගිකව බොහෝ පොලිස් ස්ථාන මට්ටමින් මෙම නව අනුමැතිය ඉල්ලා සිටීම සිදුවන බවයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය නිවේදනය මගින් සඳහන් කළේ, පුවත්පතේ සඳහන් කරුණ සැබෑවක් බව තමන්ට ද දැනගන්නට ලැබී ඇති බවයි. මේ අනුව, නීතියේ සහ නිල ප්‍රතිපත්තියේ පවතින තත්ත්වයත්, ප්‍රායෝගිකව රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන ආකාරයත් අතර පැහැදිලි පරතරයක් මෙම සිද්ධියෙන් මතු වේ. මෙවැනි ප්‍රවණතාවයන් සමාජ යහපැවැත්මට කෙසේවත් හිතකර නොවේ.

මෙම කරුණ පාර්ලිමේන්තුව තුළ ද දැඩි සංවාදයකට තුඩු දුන්නේය. ආණ්ඩු පක්ෂය දිගින් දිගටම කියා සිටියේ පොලිස් වාර්තාව ලබා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිගේ අනුමැතිය අවශ්‍ය නොවන බවයි.

අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම

එහෙත්, ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නොවැම්බර් 25 දින පාර්ලිමේන්තුව අමතමින්, සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ සහතිකය අවශ්‍ය බවට වන කරුණ සනාථ කිරීම සඳහා අදාළ ලිපි ලේඛන හැන්සාඩ් ගත කිරීමට යොමු කළේය.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට අනාවරණය කළේ, හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට යොමු කළ ලිපි දෙකක් තමා සතුව ඇති බවත්, එම ලිපි 280 බී බඩබද්ද ග්‍රාම සේවා වසමේ මහජන ආරක්ෂක කමිටුවේ සභාපති යසන්ත ආරියසේන නම් අයෙකු විසින් යොමු කර ඇති බවත් ය. එවැනි සහතිකයක් අවශ්‍ය නොවන බව ආණ්ඩුව තවදුරටත් ප්‍රකාශ කරන්නේ නම් ඊට අදාළ ලිපි ලේඛන සියල්ල තමන් හැන්සාඩ් ගත කිරීම තුළින් සත්‍ය අසත්‍ය කුමක්ද කියා ජනතාවට දැන ගැනීමට හැකි වනු ඇති බව ඔහු අවධාරණය කළේය.

මෙම තත්ත්වය තවත් තහවුරු කරමින්, විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අනාවරණය කළේ, 25 දින උදෑසන වන තෙක් මාතර පොලිසියේ දැන්වීම් පුවරුවේ පවා, පොලිස් වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි අතර සිවිල් ආරක්ෂක කමිටුවේ ලිපිය අවශ්‍ය බව සඳහන්ව තිබූ බවත්, මෙම කරුණ පාර්ලිමේන්තුවේදී මතු කළ පසුව එම කොටස පමණක් මකා දමා ඇති බවත් ය. මෙම කරුණු මගින් පෙනී යන්නේ, ආණ්ඩුව නිල වශයෙන් කරුණු ප්‍රතික්ෂේප කළ ද, ප්‍රායෝගිකව ඇතැම් පොලිස් ස්ථාන මට්ටමෙන් මෙම නිල නොවන ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක වී ඇති බවයි. මෙහි සත්‍ය අසත්‍යතාව බිම් මට්ටමින් ඔබට ද නිරීක්ෂණය කළ හැක.

මෙම වාර්තාව පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වන මහින්ද ඉලේපෙරුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවීමට කටයුතු කිරීම මෙම සිද්ධියේ වඩාත්ම තීරණාත්මක සහ විවේචනාත්මක පැතිකඩ විය.

බීබීසී පුවත් සේවය පවසන අන්දමට , මහින්ද ඉලේපෙරුම මහතා අදාළ දින CID වෙත නොගියද, ඔහු මෙලෙස කැඳවීමට විවිධ මාධ්‍ය සංවිධාන දැඩි ලෙස විරෝධය පළ කොට තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කළේ, කර්තෘවරයකු මෙලෙස පොලීසිය වෙත කැඳවීම නුසුදුසු ක්‍රියාවක් බවයි. ඔවුන් පෙන්වා දුන්නේ, පුවත සාවද්‍ය යැයි රජයට හැඟේ නම්, ඒ සඳහා වන නිවැරදි ක්‍රමවේදය විය යුත්තේ, පිළිතුරු දීමේ අයිතිය (Right of Reply) භාවිත කරමින් සත්‍යය පළ කිරීමට පුවත්පතට අවස්ථාව ලබා දීම මිස, පොලිස් බලය යොදා මාධ්‍යවේදීන් බිය ගැන්වීමට උත්සාහ දැරීම නොවන බවයි.

එමෙන්ම, මාධ්‍යවේදීන් මර්දනය කිරීමට අතීතයේ දී යොදා ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත භාවිතා කරමින් මෙවැනි ක්‍රියාවලීන් සිදුකිරීම, දේශපාලන පරිවර්තනයක් අපේක්ෂා කරන රටක වැරදි පූර්වාදර්ශයක් සපයන බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය නිවේදනයෙන් අනතුරු අඟවා තිබේ.

මෙම සමස්ත සිද්ධිය මගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලු දෙකක් මතු කරයි. පළමුවැන්න නම්, පුරවැසියන්ට අත්‍යවශ්‍ය වන රාජ්‍ය සේවාවන් දේශපාලනීකරණයට ලක් වීමේ ප්‍රවණතාවයයි. පොලිස් සහතිකයක් ලබාගැනීමේ දී පවා දේශපාලනික පක්ෂපාතීත්වයන් මත පදනම් වූ අනුමැතියක් ඉල්ලා සිටින්නේ නම්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලන බලපෑම්වලින් ගිලී ඇති බවට සැක පහළ වේ. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි සහ පොලිස් දැන්වීම් පුවරුවේ සිදුවූ වෙනස්කම් මගින් එම ප්‍රායෝගික සත්‍යය තවදුරටත් තහවුරු වේ. රාජ්‍ය ආයතන, විශේෂයෙන්ම නීතිය හා සාමය පවත්වාගෙන යන පොලිසිය, කිසිදු දේශපාලන බලපෑමකින් තොරව අපක්ෂපාතීව සහ විෂයයට අනුකූලව කටයුතු කිරීම අනිවාර්ය වේ.

විවේචනාත්මක මාධ්‍ය වාර්තාකරණයට එරෙහිව රාජ්‍ය බලය යොදා ගැනීමට උත්සාහ දැරීමයි. පුවත්පත් කර්තෘවරයකු CID වෙත කැඳවීමට උත්සාහ කිරීම, නිදහස් හා ස්වාධීන මාධ්‍ය ව්‍යාපාරයකට බරපතළ බාධාවකි. රජයකට තම ක්‍රියාකාරකම් පිළිබඳව විවේචන සහ සාවද්‍ය යැයි හැඟෙන වාර්තා නිවැරදි කිරීම සඳහා නිල මාර්ග සහ පිළිතුරු දීමේ අයිතිය වැනි ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප තිබේ. මාධ්‍යවේදීන් බිය ගැන්වීම වෙනුවට, විනිවිදභාවය සහ සංවාදය තුළින් කටයුතු කිරීම නව රජයක වගකීම විය යුතු ය. අනෙක සමාජයේ පවතින මතුපිට කාරණා පමණක් නොව අභ්‍යන්තර කාරණා ද සමාජ ගත කිරීම මාධ්‍යවේදියකුගේ වගකීමක් වන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

දෙවැන්න නම්, විවේචනාත්මක මාධ්‍ය වාර්තාකරණයට එරෙහිව රාජ්‍ය බලය යොදා ගැනීමට උත්සාහ දැරීමයි. පුවත්පත් කර්තෘවරයකු CID වෙත කැඳවීමට උත්සාහ කිරීම, නිදහස් හා ස්වාධීන මාධ්‍ය ව්‍යාපාරයකට බරපතළ බාධාවකි. රජයකට තම ක්‍රියාකාරකම් පිළිබඳව විවේචන සහ සාවද්‍ය යැයි හැඟෙන වාර්තා නිවැරදි කිරීම සඳහා නිල මාර්ග සහ පිළිතුරු දීමේ අයිතිය වැනි ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප තිබේ. මාධ්‍යවේදීන් බිය ගැන්වීම වෙනුවට, විනිවිදභාවය සහ සංවාදය තුළින් කටයුතු කිරීම නව රජයක වගකීම විය යුතු ය. අනෙක සමාජයේ පවතින මතුපිට කාරණා පමණක් නොව අභ්‍යන්තර කාරණා ද සමාජ ගත කිරීම මාධ්‍යවේදියකුගේ වගකීමක් වන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මෙහි දී අරුණ පුවත්පත එම අභ්‍යන්තර කාරණා පිළිබඳව කළ අනාවරණය සමාජමය යහ පැවැත්මට හේතු වන බව අපගේ ද වැටහීම ය.

ජනතාව විසින් අපේක්ෂා කරනු ලැබූ දේශපාලන පරිවර්තනයක් සැබෑවක් වන්නේ, මෙම ආකාරයේ දේශපාලනීකරණය වූ හැසිරීම්වලට තිත තැබීමෙන් සහ මාධ්‍ය නිදහසට ගරු කිරීමෙන් පමණක් බව මෙම සිදුවීමෙන් පැහැදිලි වේ. පොලිස් නිෂ්කාශන වාර්තාවක් වැනි මූලික මහජන සේවාවක් ලබා ගැනීමේ දී පවා දේශපාලන බලපෑම් ඇති වන්නේ නම්, එය රටේ යහපාලනයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ බරපතළ හානියක් බව ආණ්ඩු පක්ෂය තරයේ වටහා ගත යුතු ය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර