ජූනි මාසයේ එක් නිහඬ බ්‍රහස්පතින්දා දිනයක දහවල ගෙවී මද වේලාවෙකින් ඉන්දීය ගුවන් ගමන් ඉතිහාසයට අඳුරුතම පරිච්ඡේදයක් එකතු විය. ඉන්දීය ගුවන් සමාගමට (Air India) අයත් AI171 නම් බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය පස්වරු 1.39ට අහමදාබාද් හි සර්දාර් වලාභායි පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ලන්ඩන් හි ගැට්වික් ගුවන් තොටුපල දක්වා වූ දීර්ඝ ගමනක් ආරම්භ කරන්නට ගුවනට නැගුණි. නමුත් තත්පර 32 ක් වැනි ඉතා සුළු කාලයක් තුළ මේ ගුවන් යානය සුන්බුන් ගොඩක් බවට පත් විය. ගුවන් යානය අඩි 625ක උන්නතාංශයකට නැගුණා පමණි, එය නැවත පොළොව කරා ඇදී විත් වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයක් මත පතිත වී ඉන්දීය ඉතිහාසය තුළ වාර්තා වූ ඛේදනීයතම ගුවන් අනතුර බවට සනිටුහන් විය. ගුවන් යානයේ විවර වූ හදිසි දොරටුවකින් ඇදහිය නොහැකි ආකාරයකින් පිටතට පැන ගත් ආසන අංක 11A හි සිටි විශ්වකුමාර් රමේෂ් හැරුණු විට ගුවන් මගීන් සියල්ලෝම මරු වැළඳ ගත්හ. රමේෂ්ගේ සොහොයුරා ද ගුවන් යානයේ වෙනත් ආසනයක සිටි අතර ඔහු රමේෂ් තරම් වාසනාවන්තයකු වූයේ නැත.
මේ වන විට ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගෙන තිබේ. ගුවන් අනතුර පිළිබඳ විමර්ශනයන් ද සිදුවෙමින් පවතින අතරේ ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා නිෂ්පාදනය කරන දැවැන්ත ඇමරිකානු බෝයිං සමාගම සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් කසුකුසුවක් ද මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. තාක්ෂණික අසාර්ථකත්වයකට වඩා මේ ව්‍යසනය බෝයිං සමාගමේ නිෂ්පාදන සහ ආරක්ෂක සංස්කෘතිය තුළ ගැඹුරු, වඩාත් දරුණු පද්ධතිමය බිඳ වැටීමක් පෙන්නුම් කරයි. මේ තත්ත්වය වසරින් වසර වර්ධනය වෙමින් පවතින ගැටලුවකි.

මේ වන විට ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගෙන තිබේ. ගුවන් අනතුර පිළිබඳ විමර්ශනයන් ද සිදුවෙමින් පවතින අතරේ ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා නිෂ්පාදනය කරන දැවැන්ත ඇමරිකානු බෝයිං සමාගම සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් කසුකුසුවක් ද මතුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. තාක්ෂණික අසාර්ථකත්වයකට වඩා මේ ව්‍යසනය බෝයිං සමාගමේ නිෂ්පාදන සහ ආරක්ෂක සංස්කෘතිය තුළ ගැඹුරු, වඩාත් දරුණු පද්ධතිමය බිඳ වැටීමක් පෙන්නුම් කරයි. මේ තත්ත්වය වසරින් වසර වර්ධනය වෙමින් පවතින ගැටලුවකි.

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් හි, සියැටල් ප්‍රදේශයේ විසූ විලියම් බෝයිං විසින් 1916 දී සාමාන්‍ය ගුවන් යානා නිපදවීමේ ව්‍යාපාරයක් ලෙස බෝයිං සමාගම ආරම්භ කරනු ලැබිණි. පසුව මෙය ලොව දැවැන්තම ගුවන් යානා නිෂ්පාදන සමාගමක් බවට පත් විය. ලෝක යුද්ධ සමයන්හි දී සහ සීතල යුද්ධය පැවති සමයේ දී යුද ගුවන් යානා, වාණිජමය ගුවන් යානා, චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ යානා නිපදවමින් ඇමරිකා එක්සත් ජනපදයේ කාර්මික ක්ෂේත්‍රය තුළ ඉතා දැවැන්ත භූමිකාවක මේ සමාගම නිරත විය. ඔවුන්ට සිටින එකම තරගකරුවා වන්නේ ප්‍රංශයේ ටූලූස්වල පිහිටා ඇති එයාර් බස් සමාගම පමණක් වන අතර ඔවුන් සමග තරග කරමින්, බෝයිං 737, 747, 767 සහ 777 යන මාදිලිවලින් දැවැන්ත මගී ගුවන් යානා නිපදවමින් ගුවන් ගමන් ක්ෂේත්‍රය තුළ ආධිපත්‍යය පතුරුවන්නට මේ සමාගමට හැකියාව ලැබිණි.
2009 වසරේ දී නිෂ්පාදනය ආරම්භ කළ බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා, සම්මිශ්‍රිත ද්‍රව්‍ය (composite materials) වලින් නිෂ්පාදනය කරනු ලබන අතර ආරක්ෂාව, ඉන්ධන පිරිමැස්ම, සැහැල්ලු බව, මගී ආරක්ෂාව ආදී අංගයන්ගෙන් ප්‍රමුඛයා වෙමින් ගුවන් යානා ක්ෂේත්‍රය තුළ විප්ලවීය සංධිස්ථානයක් ඇති කරන්නට සමත් විය. 2025 මැයි මාසය වන විට බෝයිං 787 ගුවන් යානා මගින් රැගෙන ගොස් තිබුණු සමස්ත මගී සංඛ්‍යාව බිලියනය ඉක්මවා තිබිණි. කෙසේ නමුත් මේ දිදුලන මතුපිටට යටින් ගැටලුකාරී සළකුණු ඉස්මතුවෙමින් පැවතුණු බව බොහෝ දෙනෙක් දැන සිටියේ නැත.
මෑත වර්ෂවල දී, විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන්, බෝයිං සමාගම පිළිබඳ බොහෝ කසුකුසු පැතිර යන්නට විය. 2018 සහ 2019 වර්ෂවලදී බෝයිං 737 මැක්ස් යානා දෙකක් මාරක අනතුරුවලට ලක් වී මගීන් 346 දෙනෙකුගේ ජීවිත අහිමි වීම හේතුකොට ගෙන බෝයිං සමාගමට දැඩි අපවාදයන්ට ලක් වන්නට සිදු විය. විමර්ශනයන් මගින් හෙළි වූයේ මේ අනතුරුවලට හේතු වූයේ දෝෂ සහිත මෘදුකාංග පද්ධතිය සහ ප්‍රමාණවත් තරම් නියමු පුහුණුවීම් ලබා නොදීම නිසා බවය. එහි පවතින විෂම සංස්කෘතිය සහ ආරක්ෂාවට මුල් තැන දීම වෙනුවට අඩු වියදමින් වැඩි ගුවන් යානා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීම පිළිබඳ බෝයිං සමාගමේ අභ්‍යන්තරයෙන් තොරතුරු ලැබී තිබිණි.
මේ විෂම සංස්කෘතිය නිසා සිදුවූයේ ආරක්ෂාවට වඩා නිෂ්පාදන වේගය පිළිබඳ අවධානය යොමුවීමය. බෝයිං 767 ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා නිෂ්පාදනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලිනා හි පිහිටි චාර්ල්ස්ටන් කර්මාන්ත ශාලාවෙන් ලැබෙන වාර්තාවලට අනුව, කළමනාකාරීත්වයෙන් එල්ලවන දරුණු පීඩනය නිසා ඇතැම් අවස්ථාවල දී උසස් ගුණත්වයෙන් යුක්ත අංගෝපාංග වෙනුවට අඩු ගුණත්වයෙන් යුක්ත ඒවා ගුවන් යානාවලට සවිකර තිබෙන බව පැවසේ. ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා නියමිත දිනයට නිෂ්පාදන අවසන් කරන්නට සේවකයන් මත දැඩි පීඩනයක් එල්ල කර තිබෙන බව ද වාර්තා වේ.

දෝෂ ඇති වේ යැයි සැක පහළ කරන ලද ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා 11 ක ලැයිස්තුවක්, බෝයිං සමාගමේ එක් විධායක නිලධාරිනියක වන සින්තියා කිචන්ස් විසින් සකස් කර තිබුණු බව වාර්තා වේ. ඒ අතරින් 6ක් අළෙවි කර තිබෙන්නේ ඉන්දීය ගුවන් සේවයටය. මේ එක් ගුවන් යානයක හෝ තමාගේ දරු පවුල ගමන් කරනවාට කැමතිදැයි ඇය සිය කළමනාකරුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු සිනහවෙමින් පවසා ඇත්තේ ඒ ගුවන් යානා එකකුදු හෝ ඇමරිකාව තුළ ගුවන් ගත නොවන බවත්, ඒ සියල්ල ඇත්තේ රටෙන් බැහැරින් බවත්ය.
2024 වසරේදී ද බෝයිං සමාගමට කලු පැල්ලමක් සනිටුහන් වන සිදුවීමක් වාර්තා විය. ඒ ගුවන් ගමනක් අතරතුර දී ඇලස්කා ගුවන් සේවයට අයත් යානයක දොරක් ගැලවී යාමය. මෙය එක් සිදුවීමක් පමණක් නොවේ. ගුණත්වයේ පවතින ගැටලු, නීතිමය ගැටලු සහ සේවක වැඩ වර්ජන නිසා බෝයිං සමාගමට මසකට ඇමරිකානු ඩොලර් බිලියන එකක පමණ අලාභයකට ද මුහුණ දෙන්නට සිදුව තිබිණි. මේ කාරණා සියල්ල කැටිකරමින් 2022 වසරේ දී Downfall: The Case Against Boeing නමින් චිත්‍රපටයක් නිර්මාණය කෙරුණු අතර සමාගමේ පද්ධති අකාර්යක්ෂමතාව පිළිබඳ එයින් මැනවින් නිරූපණය විය. බෝයිං සමාගම තුළ පවතින මේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ඉංජිනේරුවන්, ගුවන් නියමුවන් සහ ආරක්ෂක විශේෂඥයින් වසර ගණනාවක සිට අනතුරු හඟවන ආකාරය මේ චිත්‍රපටය තුලින් විදහා දැක්විනි. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වූ වියදම්කාරී පරීක්ෂාකිරීම් මගහරිමින් සමාගමේ කළමනාකාරීත්වය මේ අනතුරු හැඟවීම් දෙස බීරි අලින් ලෙස බලා සිටි බව ද එයින් විදහා දැක්විනි.
අනතුරට පත් බෝයිං AI171 යානයේ ප්‍රධාන නියමු කපිතාන් සුමිට් සභ්‍රවාල් සමග සේවය කළ තවත් ඉන්දීය ගුවන් නියමුවකු වන රාකේෂ් රායි තහවුරු කරන්නේ අඩි 400 – 500 පමණ උන්නතාංශයකට ළඟා වන තෙක් යානය ඉහළට නැංවීම සාමාන්‍ය පරිදි සිදු වූ බවය. නමුත් ගොඩ බෑම සඳහා යොදා ගැනෙන රෝද හකුලාගෙන නොතිබීම පිළිබඳ ඔහු පුදුමය පළ කරයි. මේ අවුල් සහගත බව තුළින් වැදගත් කාරණයක් මතු වෙයි. ඒ එංජින්වල ක්‍රියාවිරහිත වීමක් සිදු වූයේ ද යන්නය. එක්කෝ හයිඩ්‍රොලික් පද්ධතියේ බිඳ වැටීමක් සිදු වීද? එසේත් නැත්නම් එයටත් වඩා යම්කිසි බරපතල තත්ත්වයක් උද්ගත වූයේද?

ගුවන් ගමන අතරතුර දී Ram Air Turbine (RAT) නම් යාන්ත්‍රික උපාංගය ක්‍රියාත්මක වී තිබුණු බව වාර්තාවලින් කියැවේ. එංජින් ද්විත්වයම ක්‍රියාවිරහිත වීම වැනි ගුවන් යානයේ බලය මුළුමනින්ම බිඳ වැටුණු අවස්ථාවක දී භාවිතයට ගත හැකි අවසන් යාන්ත්‍රණය වන්නේ මෙයයි. ගුවන් ගතවීමක දී RAT ක්‍රියාත්මක වීම ඉතාමත් කලාතුරකින් සිදුවන දෙයක් වන අතර එයින් පෙන්නුම් කරන්නේ ඉතා දරුණු ගණයේ පද්ධති බිඳවැටීමක් සිදුව තිබූ බවය. එම කරණාව එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ගුවන් බලඇණියේ නියමුවකු වූ කපිතාන් ස්ටීව් ෂිබ්නර් ද මතු කරයි. ගුවනට නැංවීමත් සමගම මේ ආකාරයේ මහා පරිමාණ බිඳ වැටීමක් යානයේ කාර්ය මණ්ඩලය ක්ෂණිකව වික්ෂිප්ත තත්ත්වයට පත් කරවන්නක් වන අතර ඔවුන්ට ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා පවතින්නේ ද තත්පර කිහිපයක කාලයක් පමණි.
වර්තමානයේ පවතින, පූර්ණ පරීක්ෂාවකට ලක් වූ ගුවන් යානයක එවැනි බිඳවැටීමක් සිදුවිය නොහැකිය. අනතුරට පත් වූ යානය නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරදී දෝෂ සහිත එකක් ලෙස ලැයිස්තු ගත කර තිබුණේ නම්, එතැන ඇත්තේ භයානක තත්ත්වයකි. එයින් පැවසනේනේ අනාරක්ෂිත විය හැකි යැයි සැක කෙරෙන ගුවන් යානයක් මගීන් සමග ගුවන් ගත වන්නට හිතාමතාම ඉඩහැරි බවකි.

මීට අමතරව ඉන්ධනවල අපවිත්‍රවීමක් නිසා එංජින්වල දෝෂ මතුවී ද යන කාරණයක් ද ඇතැම් පිරිස් විසින් මතුකරමින් සිටිති.
අහමදාබාද් ගුවන් අනතුර සම්බන්ධව විමර්ශනය තමා යටතට ගැනිමට හෝ ඒ සම්බන්ධයෙන් ඉතා සමීපව කටයුතු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය දැඩි උනන්දුවකින් පසුවන බව පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධව බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ ඇමරිකානු බලධාරීන් සහ බෝයිං සමාගම මේ උත්සාහ දරන්නේ මියගිය නියමුවන් දෙදෙනා පිට වරද පටවා තමාගේ ඇඟ ගලවා ගැනීමට බවය. පූර්ණ විමර්ශනයකින් පසුව මිස නියමු දෝෂයක් සිදු වූයේ යැයි නිගමනයකට පැමිණිය නොහැකි අතර, ගුණත්වයෙන් අඩු අංගෝපාංග ද, මෙයට පෙර සිදු වූ අනතුරු සම්බන්ධව ද බෝයිං සමාගමට චෝදනා පවතින බැවින් සිදුවිය හැකි සෑම කාරණයක්ම ඉතා විනිවිදභාවයකින් යුක්තව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ.

මේ විමර්ශනයේ පාලනය සියතට ගැනීමට එක්සත් ජනපදය උත්සාහ දරන්නේ බෝයිං සමාගමේ කීර්ති නාමයට හානි සිදුවීම වළක්වා ගැනීමට සහ තවදුරටත් එයට මූල්‍යමය පාඩු සිදුවීම වළක්වා ගැනීමටත් බව පෙනෙන්නට තිබේ. කෙසේ නමුත් ඉන්දීය ගුවන් යානයේ අනතුරින් පසු කොටස් වෙළෙඳ පළ තුළ බෝයිං සමාගමේ කොටස් 5%කින් පමණ පහත වැටුණි.
මේ ඛේදජනක අනතුර හේතුවෙන් මගීන්ගේ පවුල්වලට අත් වූ මානසික වේදනාව මෙතෙකැයි ගණනය කළ නොහැකිය. ඉන්දීය ගුවන් සමාගමට, බෝයිං සමාගමට සහ ගෝලීය ගුවන් ගමන් ක්ෂේත්‍රයට මේ ගුවන් අනතුර නිසා සිදු වූ මුල්‍යමය බලපෑම තවමත් ගණනය කොට නැත. නමුත්, මේ මූල්‍යමය අගයයන්ට වඩා සලකා බැලිය යුත් වැදගත් කාරණාවක් තිබේ. ඒ, සැබෑ වෙනසක් සිදුවන්නට නම් නොසළකා හැරීම් හේතුවෙන් තවත් මෙවැනි අනතුරු කොපමණ සංඛ්‍යාවක් සිදුවිය යුතු වේද යන්නය.

ඉන්දීය ගුවන් අනතුර හුදෙක් එක් ඛේදනීය සිදුවීමක් පමණක්ම නොවේ. එය අනතුරු හැඟවීමේ සංඥාවකි. කලෙක විශිෂ්ටත්වය සමග අත්වැල්බැඳගත් කීර්තිනාමයක් තිබූ බෝයිං සමාගම, මේ වන විට නොසලකා හැරීම්, දුර්වල කළමනාකාරීත්වය සහ ආයතනමය වශයෙන් ලාභය කෙරෙහි පමණක් අවධානය යොමුකිරීම වැනි කාරණාවලින් වැසී යමින් පවතී. දෝෂ සහිත යැයි හඳුනාගනු ලැබූ යානා ගුවන් සේවාවන්ට ලබා දෙන්නට තරම් ඔවුන් නොසැලකිලිමත් නම්, ලාභය පමණක් උදෙසා ආරක්ෂාව ඉවතට දමන්නේ නම්, සමස්ත පද්ධතියම නැවත මකා දමා අලුතින් ගොඩනැගිය යුතුව තිබේ.

විමර්ශනයන් මගින් කරුණු එකිනෙක හෙළිදරව් වන ආකාරය දෙස ලෝකය විමසිලිමත් දෑසින් බලා සිටියි. AI171 ගුවන් යානයේ මගීන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත් නොපමාව යුක්තිය ඉටු විය යුතුව තිබේ. බෝයිං සමාගමේත් සමස්ත ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තයේත් ප්‍රතිසංස්කරණයන් සිදුවිය යුතු බව පිළිගත යුතු තැනකට එලැඹ තිබේ.
රාජ්‍යයන්, බලධාරීන් සහ පාරිභෝගිකයන් යන පාර්ශ්වයන් සියල්ල එක්ව ඉහළ විනිවිදභාවයක් සහ වගවීමක් ඉල්ලා සිටිය යුතුව තිබේ. බෝයිං සමාගම ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තුළ පමණක් නොව, අධිකරණය තුළත්, ගුවන් ක්ෂේත්‍රය තුළත්, ගුවන් ගමන් යන මගීන්ගේ හදවත් තුළත් වගවිය යුතුය. ආරක්ෂාව යනු තවදුරටත් ලාභයේ අතුරු නිෂ්පාදනයක් නොවිය යුතුය.

විමර්ශනයන් මගින් කරුණු එකිනෙක හෙළිදරව් වන ආකාරය දෙස ලෝකය විමසිලිමත් දෑසින් බලා සිටියි. AI171 ගුවන් යානයේ මගීන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත් නොපමාව යුක්තිය ඉටු විය යුතුව තිබේ. බෝයිං සමාගමේත් සමස්ත ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තයේත් ප්‍රතිසංස්කරණයන් සිදුවිය යුතු බව පිළිගත යුතු තැනකට එලැඹ තිබේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක