අලුත් පරපුර පෙර පරපුරට වඩා බුද්ධිමය පසුබෑමක; නවතම අමෙරිකානු පර්යේෂණයකින් හෙළි වේ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මානව බුද්ධි පරිණාමයේ පසුබෑමක් පිළිබඳව අසන්නට ලැබීම එක්තරා ලෙසකින් අප තුළ විමතියක් සේම මානසික ප්‍රකම්පනයක් ද ඇති කරවන්නකි. වත්මන් පරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩු බව නවතම අමෙරිකානු පර්යේෂණයකින් හෙළි වී තිබේ.

තාක්ෂණය දියුණු වීම තුළ 1997 සිට 2012 දක්වා කාලය තුළ උපන් අලුත් පරම්පරාව (Gen Z) ඊට පෙර පරම්පරාව වූ “මිලේනියල්ස්” (Gen Y) හෙවත් ඔවුන්ගේ දෙමාපියන් අයත් වන පරම්පරාවට වඩා බුද්ධි මට්ටම අතින් ඉතා පහළ මට්ටමක පසුවන බව නවතම අමෙරිකානු සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වූ ස්නායු විද්‍යාඥ (Neuroscientist) සහ අධ්‍යාපනඥ (Educator) ආචාර්ය ජැරඩ් කූනි (Dr. Jared Cooney) විසින් එක්සත් ජනපදයේ වාණිජ, විද්‍යාත්මක සහ ප්‍රවාහනය පිළිබඳ ස්ථාවර සෙනෙට් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දක්වා ඇත.

මෙහිදී ඔහු අවධාරණය කරන්නේ මිනිස් ඉතිහාසය ආරම්භයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට සිදුවෙමින් පැවති බුද්ධි වර්ධනය (Flynn Effect) Gen Z පරම්පරාවේ සිට ආපස්සට ගමන් කරන බවයි. තාක්ෂණික දියුණුව අධ්‍යාපනයට ද යොදා ගැනීම හේතුවෙන් සහ ඩිජිටල්කරණය නිසා මේ පරම්පරාවේ පුද්ගලයන් තුළ භාෂාමය, ගණිතමය, සංජානන හැකියාවන් මෙන්ම තාර්කික හැකියාව සහ ගැටලු විසඳීමේ හැකියාව ද පූර්ව පරම්පරාවට වඩා බෙහෙවින් අඩු බව මෙම අධ්‍යයනයේදී හෙළි වී තිබේ. මිනිස් පරිණාමයේදී බුද්ධිය වර්ධනය වීම සිදුවන්නේ මුහුණට මුහුණ සිදුවන අන්තර් ක්‍රියාවන් මගිනි. නමුත් ඩිජිටල් තිර මෙම ක්‍රියාවලියට බාධා පමුණුවා ඇත. මෙම පරපුර සිය කාලයෙන් විශාල ප්‍රමාණයක් මිඩංගු කරන්නේ ඩිජිටල් තිර ඉදිරියේ ය. මේ හේතුවෙන්ම ඔවුන්ට යමක් කෙරෙහි දිගටම අවධානය යොමු කිරීමේ, ග්‍රහණය කරගැනීමේ සහ මතක තබා ගැනීමේ හැකියාවන් දුර්වල වේ.

ජෛව විද්‍යාත්මකව මිනිසා සකස් වී ඇත්තේ තවත් පුද්ගලයෙකුගෙන් දැනුම ලබාගෙන ඒ පිළිබඳව ගැඹුරට අධ්‍යයනය කොට නව දැනුම සොයා ගැනීමටයි. නවීන තාක්ෂණයම ගැටලුවක් වන විට, එය භාවිතයෙන් අධ්‍යාපනය ලබන්නාට සිය බුද්ධියෙන් ගැටලු විසඳීමේ හැකියාව නොලැබේ.

ඇමෙරිකාව තුළ පමණක් නොව අධ්‍යාපනය පුළුල් ලෙස ඩිජිටල්කරණය කළ ලොව පුරා රටවල් 80කට අධික ප්‍රමාණයක මෙම තත්ත්වය දක්නට ලැබෙන බව ආචාර්ය ජැරඩ් කූනි තවදුරටත් පවසා ඇත.

මෙම තත්ත්වය තහවුරු කරමින් Times of India පුවත්පත සඳහන් කරන්නේ ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාල විසින් මෑතක සිට සිය විෂයමාලා වත්මන් ශිෂ්‍යයන්ට ගැළපෙන පරිදි ලිහිල් කොට ඇති බවයි.

වර්තමානයේ වයස 14 සිට 30 දක්වා වන පරම්පරාව මෙලෙස මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට “බුද්ධි හැකිලීමක්“ ප්‍රදර්ශනය කරන අතර, තාක්ෂණය මීට වඩා දියුණු – විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය ඉතා දියුණු තත්ත්වයක් තුළ – මින් පසු පරම්පරාව වන 2012 වසරෙන් පසු උපන් Gen Alpha පරම්පරාවට අයිති ඔබේ දරුවා ද මේ අයුරින්ම ඔබට වඩා බුද්ධියෙන් අඩු දරුවෙකු වීමේ ප්‍රවණතාව පවතී. විශේෂයෙන්ම දරුවන්ට අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය මෙන්ම ඩිජිටල් උපකරණ හඳුන්වා දීමේ අහිතකර ප්‍රතිවිපාක දියුණු රටවලින්ම ප්‍රකාශ වෙද්දී, ඔවුන් ඒවා දරුවන්ගෙන් ඈත් කිරීමට පියවර ගනිමින් පවතී.

ඇස්වලට, මොළයේ ක්‍රියාකාරිත්වයට, බෝ නොවන රෝගවලට, ඉරියව් සහ කොඳු ඇට පෙළේ ආබාධවලට හේතු වන මෙන්ම පුද්ගල අන්තර් ක්‍රියාවන්ට, සබඳතාවලට, සමාජානුයෝජනයට සහ මානව ගුණධර්මවලට බෙහෙවින් අහිතකර තත්ත්වයන් මෙම තාක්ෂණය මගින් ඔබේ දරුවාට ද උරුම කර දෙනු ඇත. මේ තත්ත්වය අත්දකින රටවල් බොහොමයක් ඉන් මිදීමට කටයුතු කරද්දී, අපේ දරුවන් ඒ තුළට බලහත්කාරයෙන් තල්ලු කිරීමට වැඩිහිටියන් වන අප දුර දිග නොබලා කරන උත්සාහය අපේම දරුවන්ට පාරාවළල්ලක් වීම වැළැක්විය නොහැක්කක් වනු ඇත.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ නීති වෛද්‍ය නිලධාරී, ශික්ෂණ රෝහල, පේරාදෙණිය.

නිතර නොඇසෙන කතා