ආතුරයන් නිරාතුර කරන ආවේශය හා ආරූඪය


​වත්මන් සමාජයේ නින්දාවට, නිගරුවට, අවඥාවට ලක් කෙරෙන සංසිද්ධියක් වන ආවේශ වීම සහ ආරූඪ වීම වසර සිය දහස් ගණනක් තිස්සේ අප ජන සමාජය හා යාවජීව ලෙසින් සබැඳි සංසිද්ධියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ රෝග නිවාරණය, ගුප්ත දෝෂ දුරු කිරීම සහ යහපත උදා කිරීම සඳහා පවත්වනු ලබන තොවිල් ඇතුළු පුරාණ ශාන්තිකර්ම වලදී මෙම ආවේශ වීම ( Trance ) සහ ආරූඪ වීම (Possession ) සංසිද්ධීන් බහුලව දක්නට ලැබිණ. එහි දී ඒවාට සම්බන්ධ යක්දෙස්සන්, ඇදුරන්, කපුවන් සේම එම ශාන්ති කර්ම වල නිමිත්ත වන ආතුරයන් හෙවත් රෝගීන් සේම එම යාතුකර්ම නැරඹීමට එන්නවුන් ද මෙලෙස ආවේශ හා ආරූඪ තත්ත්වයන්ට පත් වීම අතිශය සුලබව දක්නට ලැබුණි.

​ඊට අමතරව ගුප්ත අනාවැකි පළ කිරීම් වල දී ද මෙම ආරූඪ හා ආවේශ වීම් බහුලව දක්නට පුළුවන. මීට දශක කිහිපයක් තෙක්ම රටේ නුවර කලාවිය ප්‍රමුඛ තවත් පළාත් කිහිපයක ඇනමිති රාළ නමින් හැඳින් වූ විශේෂ භූමිකාවක් දැකිය හැකි විය. එම ගම්මාන හා ඒවායේ ගැමියන් සම්බන්ධ විශේෂිත තත්ත්වයන්හි දී ඒ සම්බන්ධ දේව අනුමැතිය දැන ගැනීම පිණිස මෙම ඇනමිති රාළ ගේ පිහිට ලබා ගත් අතර දෙවියන්ගෙන් අනුමැතිය ලබා ගන්නා අනුමැති රාළ ලෙසින් මුලින් හඳුන්වනු ලැබූ එම චරිතය පසුකාලීනව ඇනමිති රාළ වූ බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. ඊට අමතරව මේ වන විටත් අප රටේ ගමින් ගමට දක්නට ලැබෙන දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන ස්ථාන වල පුරුෂ පක්ෂය අබිබවා කාන්තා පක්ෂය මෙලෙස ආරූඪයට හා ආවේශයට පත් වනු මා ද කොතෙකුත් දැක තිබේ. ඒ අප ජන සමාජයේ ගුප්ත විශ්වාස පිළිබඳ ගවේෂණ වලදී ය.

​ආවේශය යනු පුද්ගලයෙකුගේ ප්‍රකෘති විඥාන මට්ටම තාවකාලිකව වෙනස් වීම හෝ පහව යාම ය. කෝපය ආදී ඉතා ප්‍රබල හැඟීම් ආවේග හමුවේ ද මෙවැන්නක් සිදු වන අතර, “මම ඒ ටික කීවා විතරයි මිනිහා ආවේශ වුණා නේ”, “ඒ වෙලාවේ නම් මට යකා වැහුණා” ආදී වශයෙන් අපට නිතර ඇසෙන ප්‍රකාශ ඒ සඳහා වන කදිම නිදසුනකි. නමුත් විවිධ යාතු කර්ම වල දී මෙය චාරිත්‍රානුකූලව ඇති කරගනු ලබන තත්වයකි. මෙහි දී යක්දෙස්සා, ඇදුරා, කපුවා ආදී වශයෙන් යාතු කර්මය මෙහෙයවන පුද්ගලයෝ ඒ වන විට එහි දක්නට ලැබෙන පසුබිම, නාද රටා, බෙර වාදනය, ගායනා සේම රතු, නිල්, කහ ආදී තීව්‍ර වර්ණ හා තීව්‍ර ආඝ්‍රාණයන්ට අනුව අසාමාන්‍ය චලනයන්ට ලක් වෙති. මෙය මොළයේ සාමාන්‍ය ස්නායු ක්‍රියාකාරීත්වයේ තාවකාලික වෙනසක් ඇති කිරීමකි.

​ඒ අනුව මෙම මාතෘකාව සැමට වටහා ගත හැකි අන්දමට මෙම ආවේශය හා ආරූඪය වෙන් කොට හඳුන්වා දීමට මම උත්සාහ කරමි.
​ආවේශය යනු පුද්ගලයෙකුගේ ප්‍රකෘති විඥාන මට්ටම තාවකාලිකව වෙනස් වීම හෝ පහව යාම ය. කෝපය ආදී ඉතා ප්‍රබල හැඟීම් ආවේග හමුවේ ද මෙවැන්නක් සිදු වන අතර, “මම ඒ ටික කීවා විතරයි මිනිහා ආවේශ වුණා නේ”, “ඒ වෙලාවේ නම් මට යකා වැහුණා” ආදී වශයෙන් අපට නිතර ඇසෙන ප්‍රකාශ ඒ සඳහා වන කදිම නිදසුනකි. නමුත් විවිධ යාතු කර්ම වල දී මෙය චාරිත්‍රානුකූලව ඇති කරගනු ලබන තත්වයකි. මෙහි දී යක්දෙස්සා, ඇදුරා, කපුවා ආදී වශයෙන් යාතු කර්මය මෙහෙයවන පුද්ගලයෝ ඒ වන විට එහි දක්නට ලැබෙන පසුබිම, නාද රටා, බෙර වාදනය, ගායනා සේම රතු, නිල්, කහ ආදී තීව්‍ර වර්ණ හා තීව්‍ර ආඝ්‍රාණයන්ට අනුව අසාමාන්‍ය චලනයන්ට ලක් වෙති. මෙය මොළයේ සාමාන්‍ය ස්නායු ක්‍රියාකාරීත්වයේ තාවකාලික වෙනසක් ඇති කිරීමකි. වේගවත් හා පුනරාවර්තන අංග චලන දැක්වීම, අවට පරිසරය සම්බන්ධ සාමාන්‍ය සංවේදීතා සහ අවබෝධය අඩුවීම, සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවූ විකෘති විඥාන තත්ත්වයකට පත්වීම මඟින් වේගවත් ලෙස හිස සෙලවීම, ගෙල කරකැවීම, අත් පා සලිත කරවීම ආදිය මෙවන් ආවේශයක සාමාන්‍ය ලක්ෂණ සේ ගත හැක. සමහර විට මෙම තත්ත්වය රෝගියා කෙරෙන් ද දක්නට ලැබෙන අතර, එය එම රෝග කාරක අමනුෂයා අදාළ මිනිස් සිරුරට පිවිසීමක් සේ සාම්ප්‍රදායිකව සලකනු ලැබේ. ආගමික සුව කිරීම් මෙහෙයන් වල යක්ෂයා ගේ පැමිණීම යනු ද මෙයම ය. මීට කලකට පෙර කිරිඳිවැල ප්‍රදේශයේ රූපලාවන්‍යවේදිනියක ගේ ඉල්ලීම මත මම එම ප්‍රදේශයේ ශාන්ති කර්මයක් නැරඹීමට ගියෙමි. එහි තීව්‍ර අවස්ථාවේ දී යක් දෙස්සා ආවේශයට පත් වූ අතර ඒ සමඟ එය නැරඹීමට පැමිණ සිටි කිහිප දෙනෙක් ද ආවේශයට පත් වූහ. එහෙත් මගේ විස්මයට හේතු වූයේ ඔවුන් අතරේ මට එම ශාන්ති කර්මය නැරඹීමට මඟ පාදා දුන් රූප ලාවන්‍යවේදිනිය ද එසේ ආවේශයට පත්ව නටන්නට වීම ය. “ඒකෙන් පස්සේ මගේ හිතට අමුතුම සැහැල්ලුවක් දැනුණා” ඊට පසු දිනෙක ඇය මා හා කීවා ය.

​ආරූඪ වීම යනු ඉහත සඳහන් ආවේශ වීම් වල ඊළඟ දිගුව වන අතර, දෙවියෙකු, යක්ෂයෙකු, භූතයකු හෝ මියගිය පුද්ගලයෙකුගේ ආත්මයක් තාවකාලිකව අදාළ පුද්ගලයා තුළට පිවිස ඔහු ගේ කථනය සහ හැසිරීම් පාලනය කරන අවස්ථාව බව ජන විශ්වාසයයි. ශාන්ති කර්මයක දී රෝගියා හෙවත් ආතුරයා මෙලෙස ආරූඪ වීම ඔහුට හෝ ඇයට වැළඳී ඇති ලෙඩ රෝගය සම්බන්ධයෙන් ඊට වගකිව යුතු බව පැවසෙන යක්ෂයා හෝ භූතයා ගෙන් තොරතුරු දැන ගැනීමට ලැබෙන අවකාශයක් සේ සලකනු ලැබේ. නමුත් මෙය හුදෙක් ඒ තැනැත්තා තුළින් මතු වන උප විඥානගත බලපෑමකින් ද්වීතික පෞරුෂයක් පළ වීමක් මිස එවැනි බාහිර බලවේගයක ප්‍රවිශ්ඨයක් නොවන බව විද්‍යාත්මකව අනාවරණය වී තිබේ.

​ප්‍රධාන තොවිල් වල ඇති අතිශය උද්වේගකර අවස්ථාව වන අතර එය නිමාවේ එහි අමනුෂ්‍යයාට ඇඟ සිටින ශිල්පියා සහ ඇදුරා අතර ඇති වන දෙබස අතිශය රසවත් නාට්‍යමය අත්දැකීමක් ලබා දෙන්නකි. එහි දී ඇදුරා ආතුරයාට වින කරන යක්ෂයා සමඟ ගිවිස ගැනීම (Negotiation) තුළ ලිංගිකත්වය හා හාස්‍යය නොමඳව ගැබ් ව තිබීම මුල් කොට ගත් රසාලිප්ත ප්‍රාසාංගික අත්දැකීමක් එම ආතුරයාට සේම නරඹන්නවුන්ට ලැබෙනු ඇත. එහෙත්, මෙය හුදෙක් ආවේශයක් හෝ ආරූඪයක් නොවන, එම ශිල්පියා යක්ෂයකු ලෙස රඟපාන සමාරෝපණ (Impersonatiom) තත්ත්වයක් වීමට ද පුළුවන. එහි දී එම ආතුරයා හැර යාමට තමන්ට නර බිල්ලක් අවශ්‍ය බව යක්ෂයා ඇදුරාට පවසා සිටීමේ දී එම යාග භූමිය බුදුන් ගේ ආනුභාවය හා තෙද ඇති ස්ථානයක් බැවින් එසේ කළ නොහැකි බව ඇදුරා යක්ෂයාට පැවසීම බොහෝ විට දක්නට ලැබෙන්නකි. එහි දී මඳක් පසු බසින යක්ෂයා එසේ නම් මෙම රෝගියා හැර යාම සඳහා නර බිල්ලක් වෙනුවට කුකුළු බිල්ලක් වත් දිය නොහැකි දැයි ඇදුරා ගෙන් ඉල්ලා සිටිනුයේ, එය තමන් තුළ පවත්නා රෝගය පහ වීමේ මූලික ඉඟියක් බව ආතුරයා ගේ සිත තුළ සියුම් ඉඟියක් ජනිත කරමිනි. එහි දී ඇතැම් යාතු කර්ම වල දී යක්ෂයාට එම කුකුළු බිල්ල දෙන බව සංකේතවත් ව නිරූපණය කොට කුකුළා යහතින් මුදා හැරෙයි. වරක් මා නැරඹූ ගම්පහ හේනේගම ප්‍රදේශයේ දී එක් යකකු ඇදුරා ගෙන් කුකුළු බිල්ලක් ඉල්ලා සිටි විටෙක ඇදුරා පළමුව ගම් කුකුළකු වෙනුවට බ්‍රොයිලර් කුකුළකු ද දෙවනුව නො එසේ නම් කුකුළු මස් රසැති සෝයා මීට් පැකට්ටුවක් ද දෙන්න දැයි යකාගෙන් අසා සිටියේ, ඊට යකා දෙන පිළිතුර නෑසෙන තරම් අවටින් නැඟෙන උස් සිනා හඬක් සමඟිනි. ඒ අනුව මේවායේ ප්‍රහසන චිකිත්සක (Humor Therapy ) අංග ද ගැබ් ව ඇති බව පෙනෙයි. නමුත් අප සමාජයේ ශාන්ති කර්ම වල ඇති මෙම සරල විනෝදාත්මක ස්වරූපය මෙම ආවේශ වීම් බහුල දේවාල කෝවිල් සහ යාඥා මධ්‍යස්ථාන වල නොමැති බව මගේ පෞද්ගලික වැටහීම ය.

​ඉහත සඳහන් ආකාරයේ නොවිධිමත් සුවකාරක චිකිත්සාවකට (උදා: Informal Healing Therapy / Non-Formal Healing Therapy) සේම නාට්‍ය රංගන වාදන කැටයම් ආදී කලාවන් රැසකට සේම යුනෙස්කෝව මඟින් තහවුරු කොට 2008 වසරේ සිට අප රටට ද ප්‍රඥප්තිගතව ඇති ආරක්ෂා කළ යුතු අස්පර්ශනීය සංස්කෘතික උරුමයක් (Intangible Cultural Heritage) ද වන යාතු කර්ම හුදෙක් දියුණු සමාජයේ කුණු මුල්ලට ඇද දැමිය යුතු ග්‍රාම්‍ය සහ ම්ලේච්ඡ චාරිත්‍ර බවට ජන සම්මතයක් විය. මෙය අප සමාජයේ නාගරිකත්වය පදනම් කොට ගත් මධ්‍යම පන්තිය විසින් ගැමියන් ගේ මෝඩ ක්‍රියාකාරකම් ලෙස හුවා දක්වන්නට වූ අතර ලොව බටහිර විද්වතුන් පවා මේවාට අයත් ආවේශය සහ ආරූඪය මානසික රෝග, මානසික අර්බුද සහ මානසික රෝග ලක්ෂණ සහ මානසික රෝග සඳහා තුඩු දෙන සාධක ලෙස විස්තර කොට තිබිණි. නමුත් අප සමාජයේ බොහෝ දෙනකු නොදන්නා මුත් අද එම තත්වයේ ප්‍රබල වෙනසක් සිදු වී තිබේ. එනිසා මෙම අප ජන සංස්කෘතියට අයත් යාතු කර්ම සම්ප්‍රදායන් පිළිබඳව යළි විමසා බැලිය යුතු බව අප ගේ වැටහීම ය.

​DSM-5 සහ ICD-11 යනු මානසික රෝග සහ සෞඛ්‍ය තත්වයන් හඳුනාගැනීම සහ වර්ගීකරණය කිරීම සඳහා වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් භාවිතා කරන ලොව ඉහළම පිළිගැනීමට ලක් වූ ප්‍රධාන වෛද්‍ය මාර්ගෝපදේශන සංග්‍රහයන් දෙකකි. DSM-5 (Diagnostic and Statistical Manual of Mental Disorders, 5th Edition) යනු ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය (APA – American Psychiatric Association) විසින් ප්‍රකාශයට පත් කොට ඇති ලොව පිළිගත් වෛද්‍ය සංග්‍රහයකි. ප්‍රධාන වශයෙන්ම මානසික ආබාධ කෙරෙහි අවධානය යොමු කර ඇති එය එක්සත් ජනපදය තුළ සහ ලොව පුරා පර්යේෂණ කටයුතු සඳහා බහුලවම භාවිතා වේ. ICD-11 (International Classification of Diseases, 11th Revision) යනු ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO – World Health Organization) විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සියලුම රෝග, ආබාධ, තුවාල සහ මරණයට හේතු පිළිබඳ වර්ගීකරණ සංග්‍රහයයි. මානසික රෝග යනු එහි එක් කොටසක් පමණි. එමෙන්ම එය ජාත්‍යන්තරව සහ රක්ෂණ කේතනය කිරීම (Insurance Coding) සඳහා වැඩි වශයෙන් භාවිතා වන නිල ගෝලීය වර්ගීකරණ පද්ධතියයි. මෙම වර්ගීකරණ පද්ධති දෙකම වෛද්‍යවරුන්ට රෝගීන්ගේ තත්ත්වය පිළිබඳව පැහැදිලිව සන්නිවේදනය කිරීමට සහ නිවැරදි ප්‍රතිකාර සැලසුම් කිරීමට උපකාරී වේ. DSM-5 2013 වර්ෂයේ නිකුත් ව ඇති අතර ICD-11 2018-2019 සම්මත කොට 2022 සිට ක්‍රියාත්මක කරන ලදී. DSM-5 නවතම රෝගී වර්ගීකරණයට අනුව ආවේශය හා ආරූඪය වෙනම රෝගයක් ලෙස දක්වා නොමැත. එමෙන්ම කලින් එහි ඒ සම්බන්ධයෙන් දක්වා තිබූ “Dissociative Trance Disorder” යන රෝග විනිශ්චය පවා ඉවත් කර ඇත. මෙය Dissociative Identity Disorder (DID) හි රෝග විනිශ්චය නිර්ණායකවල කොටසක් ලෙස ඇතුළත් කර ඇතත් එය රෝග විනිශ්චයක් සඳහා යොදා ගත හැක්කේ සමහර සංස්කෘතීන් තුළ දක්නට ලැබෙන ආගමික සංස්කෘතික සන්දර්භයන් ගෙන් බැහැර වූ විට දී පමණක් බව එහි පැහැදිලි ව සඳහන් කර තිබේ.

අද වන විට මෙය රෝග ලක්ෂණයක් ලෙස හැඳින්වෙනුයේ අනවශ්‍ය සහ අනෛච්ඡික (Involuntary and Unwanted) ලෙස ඇති වන යමකු ස්වකීය පෞරුෂයෙන් ඉවත් වීමේ තත්වයන් සඳහා පමණි. නමුත් ගත වූ කාලය පුරා නවීන විද්‍යාවෙන් “දඬු කඳේ ගසා සිටි” අප ගේ දේශීය සංස්කෘතිය හා සබැඳි පාරම්පරික යක්දෙස්සන්, ඇදුරන්, කපුවන් ආදීන් “නිදොස් කොට නිදහස් කිරීම” සම්බන්ධ මෙම සුභ පණිවිඩය තවමත් සමාජ ගත වී නැත. එමෙන්ම එය සමාජ ගත වන කාල වකවානුවක් පිළිබඳ හාංකවිසියක්වත් දැන ගන්නට නැත.

​සාරාංශයක් ලෙස ආවේශය සහ ආරූඪය යනු වෙනම රෝග ලෙස නොව, වෙනත් විසන්ධි කිරීමේ ආබාධ (Dissociative Disorders) විස්තර කිරීමට භාවිතා කරන රෝග ලක්ෂණ (Symptoms) හෝ විවිධ ජන කොටස් වල සංස්කෘතික ප්‍රකාශන ලෙස ද DSM-5 මඟින් හුවා දක්වා තිබේ. එමෙන්ම ICD-11 හි ද ආවේශය සහ ආරූඪය ICD-10 පැරණි වෙළුමේ තිබූ අර්ථ දැක්වීම වෙනස් කර, එය DSM-5 හි ප්‍රවේශයට වඩාත් සමීප කර ඇත. ඒ අනුව DSM-5 සහ ICD-10 හි මෙන්, ICD-11 ද ඉතා දැඩි ලෙස අවධාරණය කරන්නේ මෙම ආවේශය සහ ආරූඪය සංස්කෘතිකව පිළිගත් හෝ ආගමික වශයෙන් අපේක්ෂිත වතාවත්වල කොටසක් නම් ඒවා රෝග ලෙස නොසැලකෙන බව ය. ඒ අනුව අද වන විට මෙය රෝග ලක්ෂණයක් ලෙස හැඳින්වෙනුයේ අනවශ්‍ය සහ අනෛච්ඡික (Involuntary and Unwanted) ලෙස ඇති වන යමකු ස්වකීය පෞරුෂයෙන් ඉවත් වීමේ තත්වයන් සඳහා පමණි. නමුත් ගත වූ කාලය පුරා නවීන විද්‍යාවෙන් “දඬු කඳේ ගසා සිටි” අප ගේ දේශීය සංස්කෘතිය හා සබැඳි පාරම්පරික යක්දෙස්සන්, ඇදුරන්, කපුවන් ආදීන් “නිදොස් කොට නිදහස් කිරීම” සම්බන්ධ මෙම සුභ පණිවිඩය තවමත් සමාජ ගත වී නැත. එමෙන්ම එය සමාජ ගත වන කාල වකවානුවක් පිළිබඳ හාංකවිසියක්වත් දැන ගන්නට නැත.

​තිලක් සේනාසිංහ (සිළුමිණ)

උරුමයක අසිරිය