පසුගිය දිනයෙක මල්වතු මහ නා හිමියන් කෘෂිකර්ම ඇමති වරයාට අනතුරු අඟවා සිටි අන්දමටම මේ වන විට අප රටේ ගොවීන්ට ගොවිතැන එපා වෙමින් තිබේ.ඒ පසුගිය සමයේ ගෝඨාභය රාජපක්ෂ ජනපති වරයා උපන් හැටියේ බිළිඳෙකු ඇවිද්දවීමට වෙර දරන්නාක් මෙන් හිටිහැටියේ දේශීය කෘෂිකර්මය හා සම්බන්ධ රසායනික පොහොර භාවිතය මුළුමනින් අත්හිටුවීමේ විලම්බීතය මුල් කොට ගත් අර්බුද රැසක් පෙරදැරිව ය.එහි දී කෘෂි විද්‍යාඥයන් තමන් තරම් කෘෂි විද්‍යාව නොදන්නා බව මාධ්‍ය මඟින් පැවසීමට තරම් ළාමක බොළඳයකු වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු හිටපු ජනපති ගේ ඊනියා විද්වත් උපදේශක මණ්ඩලය අද සීසී කඩ විසිර ගොසිනි.නමුදු සැබෑ ජන රජයක් බිහි වූ දිනෙක ගත වූ කාලය තුළ රටට උදා කළ නස්පැත්තිය සම්බන්ධ වගකීමෙන් නිදහස් වීමට අනාගත පරපුර ඔවුන්ට ඉඩ නොදෙනු ඇත. මේ අතර ගත වූ යල කන්නයේ හට ගත් ජල අර්බුදය ගොවි මනැසට කෙතරම් පීඩාකාරී වූයේ ද යත් දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් උද්ඝෝෂණ වලින් නොනැවතී වැසි පිරිත් මඟින් සහ දේව කන්නලව් මඟින් පවා ජලය ඉල්ලා සිටින මට්ටමට පත් විය. මේ අවිනිශ්චිතතාව මැද එළඹෙන මහ කන්නයේ ගොවිතැන් කටයුතු වෙනුවෙන් ජලය නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කිරීම අරමුණු කර ගත් ජාතික ජල කළමනාකරණ කමිටු රැස්වීම පසුගිය 26 වන දා කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.නමුත් එය සිදු වී ඇත්තේ ද ගම්බද බසින් ම කිව හොත් “එපා වාහෙට හොදි බෙදන්නාක් “මෙනි. මෙවර මාස් කන්නයේ වගා සැලැස්මට අනුව ජලය මුදා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන ජාතික වැදගත්කමක් ඇති ජල කළමනාකරණ කමිටු රැස්වීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්, ගොවිජන සේවා අධ්‍යක්ෂක ජනරාල් ඇතුළු වගකිව යුතු නිලධාරීන් රැසක් සහභාගි නොවීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා වාරිමාර්ග ඇමැතිවරයා අදාළ රැස්වීම් අවසානයේ දැඩි අප්‍රසාදය පළ කිරීමෙන්ම එය නොකෙරෙන වෙදකමක් බව තහවුරු වේ.වසරකට දෙවතාවක් පමණක් පැවැත්වෙන ජාතික වශයෙන් ඉතාමත්ම වැදගත් රැස්වීමකට වගකිව යුතු නිලධාරීන් සහභාගි නොවීම කනගාටුවට කරුණක් බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.අනෙක ගොවිජන සේවා අධ්යක්ෂ ජනරාල් වරයා සහ,අදාල දිසාපතිවරුන් නොමැතිව සාකච්ඡා කර මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට ද නොහැක.මෙම රැස්වීම සඳහා හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුර, අම්පාර, නුවරඑළිය, වවුනියාව ඇතුළු සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගොවි සංවිධාන නියෝජිතයින් එක් ව සිටි අතර මෙය කෘෂිකර්මය හා සම්බන්ධ රැස්වීමක් වුවද කෘෂිකර්ම අමාත්‍යවරයා නොමැතිව මෙම රැස්වීම පැවැත්වීමෙන් ඵලක් නොවන බවත් ඉන් සිදුවනුයේ තම මඟ වියදම් පවා අපතේ යාමක් බවත් ගොවි සංවිධාන නියෝජිතවරුන් විසින් මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.ඉන් අනතුරුව ඔහු විසින් දඩිබිඩි ගා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුරකථනයෙන් මෙම සාකච්ඡාව හා සම්බන්ධ කිරීමට පියවර ගන්නා ලදී.නමුදු කෘෂිකර්ම අමාත්‍ය වරයාගේ සහභාගීත්වයෙන් තොරව මෙම රැස්වීම පැවැත්වීම වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ සැලසුම් විරහිත බව කදිමට පෙන්නුම් කරන්නක් බව ගොවි සංවිධාන නියෝජිතයන් ගේ මතය විය. ඒ අතර පැමිණ සිටි ඇතැම් රාජ්‍ය නිලධාරීන් සාකච්ඡාව සිදුවෙමින් තිබෙන අවස්ථාවේ පවා ඊට කන් නොදී තම ජංගම දුරකතන ඔස්සේ මුහුණ පොතේ සැරිසරමින් “වෙනත් ලෝක වල” ජීවත් වූ බව ද ඊට එක් වූ ගොවි නියෝජිත කීහ.ඒ එම නිලධාරීන් ගතින් මිස සිතින් ඊට එක් නොවූ බව තහවුරු කරමිනි. පසුගිය යල කන්නය අවසානයේ දිවයිනට බලපෑ එල්නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ හටගත් වියළි කාලගුණය හේතුවෙන් රටේ ගොවි ජනතාව මුහුණ දුන් දුෂ්කර අත්දැකීම් පිළිබඳව හා ගොවි, නිලධාරී ක්‍රියාකාරකම් හි පැවති අඩුපාඩු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ මුත් එය හුදෙක් පශ්චාත් මරණ පරීක්ෂණයකට එහා ගිය තත්වයක් නොවිණි. 2023/24 මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ජලය නිකුත් කිරීම හා නිකුත් කිරීම් අවසන් කරනු ලබන දින වකවානු මුල් කොට නියමිත දිනයන්හි දී මූලික බිම් සැකසීම් ආරම්භ කර අස්වනු නෙළීම් දක්වා වූ සියලු කටයුතු අවසන් කර, විධිමත් පරිදි ජලය කළමනාකරණය කර ගැනීමට මේ වන විට ගොවි නායකයන්ගේ එකඟතාවය හිමි වී ඇත.නමුත් ඒ සඳහා විධිමත් නියාමනයක් ලැබී තිබේද? යන්න සැක සහිත ය.
මේ අතර එළැඹෙන මාස කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් මස 15 දිනට හෝ ඊට ආසන්න දිනයක් තුළ සියලුම ප්‍රදේශවල ආරම්භ කිරීම සඳහා ගොවීන් උනන්දු කළ යුතු යැයි කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල සියලුම අංශ ද පසුගිය දා තීරණය කොට තිබිණ.ඒ මෙවර මහ කන්නයේ වගා කටයුතු සැළසුම් කිරීම පිළිබඳව සියලු අංශවල සහභාගිත්වයෙන් හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ දී පැවැති සාකච්ඡාවක දීය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාලගුණ, මහවැලි, වාරිමාර්ග, ඇතුළු අංශ ගණනාවක් මෙන්ම විශ්ව විද්‍යාල මහාචාර්යවරු, පළාත් කෘෂිකර්ම අධ්යක්ෂවරු හා ගොවි නියෝජිතයින් ද සහභාගී වී තිබේ. ඉකුත් යල කන්නයේ දී මුහුණ දීමට සිදුවූ වියළි කාලගුණික තත්වය නිසා වී හා අනෙකුත් බෝග ගණනාවක හානිය ජාතික ආහාර බෝග නිෂ්පාදනයට බලපෑම් පිළිබඳ පූර්ව දැනුවත් වීමක් ගොවි ජනතාව තුළ නොවීය. එමෙන්ම මෙවැනි නියඟයකට මුහුණ දීමට සිදුවන තරමට එල් නිනෝ බලපෑම එල්ල විය හැකි බවට කිසිදු අංශයකින් ගොවි ජනතාව දැනුවත් කර නැත. ගොවි ජනතාවට එම පණිවුඩය නොයාමේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බාර ගත යුතුය.
එහෙත් එය කෘෂිකර්මයට අදාල කර ගත යුතු අන්දම ගොවීන්ට කියා දිය යුත්තේ වාරි සහ කෘෂි බලධාරීන් විසිනි. එවන් පසුබිමක් යටතේ මෙවර මාස් කන්නයේ ජාතික ජල කලමණාකරණ වැඩ සටහන පිළිබඳව කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍යංශ පොදු එකඟතාවයක නොමැති වීම බරපතල ගැටළුවකි.එකම නගුලට බැඳි අම්බරුවන් දෙදෙනා එකම ගමනක නොගොස් දෙපැත්තට අදින තාක් කල් හීය හා ගත නොහැකි බව ගොවීහු දනිති.එමෙන්ම ඉදිරි දේශගුණික තත්වයන් හමුවේ නිවැරදි ජල කලමණාකරණ යාන්ත්‍රණයක් නොමැති වීමේ අවසන් ප්‍රතිඵලය වනුයේ ඉදිරි මහ කන්නයේ ද ගොවිතැනට ජලය ඉල්ලා හඬා වැටෙන්නට ගොවීන්ට සිදුවීම මත අන් කිසිවක් නොවේ. රේණුකා දමයන්ති