උඩුගම්පොළ රජතුමා ගේ මඟුල් කඩුව සඟවා ගත් ‘ඩිංගිරි කඩුව’

විවිධ යුගවල අප රට පාලනය කළ රජ දරුවන් විසින් පරිහරණය කළ බව පැවසෙන රාජකීය අසිපත් හෙවත් මඟුල් කඩු තවමත් විවිධ ස්ථානවල නිදන් වස්තූන් වශයෙන් හෝ ඇති බවට මුල් බැසගත් විශ්වාස අප ජන සමාජය තුළ තිබේ. මීට වසර නවයකට ඉහත; එනම් 2012 වසරේ මාර්තු 16 දින රාත්‍රියේ කොළඹ ජාතික කෞතුකාගාරයට රහසින් කඩා වැදුණු පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් එහි කෞතුක වස්තූන් අතරේ වූ පැරණි අසිපත් අටක් සහ තවත් කෞතුක භාණ්ඩ කිහිපයක් පැහැර ගෙන යාමත් සමඟ ඉහත සඳහන් ජන විශ්වාසය වඩාත් තීව්‍ර ලෙසින් ජන ගත විය.

ඊට හේතුව එම අසිපත් අතරේ සිංහලයේ අන්තිම රජු වශයෙන් සැලකෙන මහනුවර රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පරිහරණය කළ රාජකීය අසිපත හෙවත් මඟුල් කඩුව ද වූ බව මාධ්‍ය මඟින් අනාවරණය වීම ය.

එම කඩුව රන් ආලේපිත වූවක් සේ ඇතැමුන් හඳුන්වා තිබූ අතර තවත් සමහරකු කියා සිටියේ එය මුළුමනින්ම රනින් නිම කළ අසිපතක් හෙවත් කඩුවක් බව ය.

පැරණි රජ දරුවන් ගේ මඟුල් කඩු පිළිබඳ මෙලෙස තීව්‍ර වූ පොදු ජන අවධානයත් සමඟ එතෙක් සමාජයේ සැඟව තිබූ කෝට්ටේ රාජධානි සමයේ උඩුගම්පොළ රජ කළ සකල කලා වල්ලභ රජුගේ මඟුල් කඩුව වැටුණු දියවර පිළිබඳව එතෙක් යට ගොස් තිබූ ජනප්‍රවාදය ද යළි ශීඝ්‍රයෙන් ඉස්මතු විය.

එපමණක් නොව එම ස්ථානය පිළිබඳ හෝඩුවාවන් මුල් කොට පිටස්තර ප්‍රදේශ වලින් පැමිණ ඒ කෙරෙහි විපරම් කරන්නවුන් පිළිබඳව ද ප්‍රදේශවාසීන්ට තොරතුරු ලැබිණ. ඒ අනුව ඔව්හු ඉකුත් කාලයේ ඒ සම්බන්ධ විශේෂ විපරමකින් පසුවූහ.

ගණේමුල්ල නගරයේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් පිහිටි තිබ්බටුගොඩ ගම්මානය කෙළවරේ රමණීය වෙල් යායක් පිහිටා තිබේ. ජාඇල ලෙසින් මීගමු කලපුවට ගලා බසින ඌරුවල් ඔය වක්‍ර ස්වරූපයකින් ගමන් ගැනීම නිසා හාත්පස සරුසාර කුඹුරුයායන් දැකිය හැකි එම ප්‍රදේශය කෝට්ටේ යුගයේ සකල කලා වල්ලභ රජුගේ අවධානයට යොමු වූ ශ්‍රී ලංකාවේ මුල්ම සම්බා වී වගාව කළ කුඹුරු යාය බවත් එවක එය සම්බා කෙත නමින් හැඳින්වුණු බවත් කියනු ලැබේ. මෙම සම්බා කෙත වර්තමාන ගණේමුල්ල, හොරගොල්ල තෙක්ම පැතිර තිබූ අතර එම ගම්මානයෙන් කොටසක් අදත් සම්බාගම යන අරුතෙන් හම්බාගම ලෙස හැඳින්වෙයි.

සකල කලා වල්ලභ රජතුමා ගේ රාජකීය අසිපත සැඟවුණු ස්ථානය හෙවත් ඩිංගිරි කඩුව නම් දියවර පිහිටා ඇත්තේ තිබ්බටුගොඩ සහ ඊට යාබද කොටගෙදර යන ගම්මානවලට මැදි වූ ඌරුවල් ඔයට නොදුරින් ගලන අත්තනගලු ඔයේ ශාඛාවක ය. අදත් එම ස්ථානය ඩිංගිරි කඩුව නමින් හැඳින්වීමට හේතුව සම්බන්ධ පුරාවෘත්ත දෙකක් තිබේ.

ඉන් පළමු පුරාවෘත්තයේ සඳහන් අන්දමට එම සම්බා කෙත නම් කුඹුරු යායේ සශ්‍රීකත්වය බැලීම පිණිස අත්තනගලු ඔය දිගේ පාරුවකින් පැමිණි රජතුමා තම මඟුල් කඩුව පාරුවේ තබා එය බලා ගන්නා ලෙස එහි සිටි ඇමතිවරයකුට පවසා ඒ ආසන්නයේ පිහිටි අස්වැද්දුම නම් කුඹුරු යායට පිවිස තිබේ. ඒ අවසරයෙන් පාරුවේ සිටි රජතුමාගේ ඩිංගිරි නම් පුත් කුමරුවකු එම මඟුල් කඩුව ගෙන ක්‍රීඩා කිරීමට සැරසෙන විට එහි බර නිසා එය කුමරුගේ අතින් ගිලිහී දියට වැටී ඇත.

ඉන් අතිශය බියට පත් ඇමතියා එම මඟුල් කඩුව ගැනීම පිණිස ඒ මොහොතේම දියට පැන ඇති මුත් මඟුල් කඩුව සොයා ගත නොහැකිව ඔහු එම ස්ථානයේම දියේ ගිලී මිය ගොස් තිබේ. පසුව අස්වැද්දුම නම් කුඹුරු යායේ සශ්‍රීකත්වය පරීක්ෂා කළ රජතුමා නැවත එම ස්ථානයට පැමිණෙන විටත් එම ඇමතියා මෙලොව හැර ගොසිනි.

පසුව එලෙස දියට වැටුණු තම මඟුල් කඩුව සෙවීම පිණිස රජතුමා දක්ෂ කිමිදුම් කරුවන් යොදවන ලද මුත් ඔවුන් කිසිවකුටත් එම දියඹ පත්ලේ ඇති කඩුව සොයා ගෙන ඒමට හැකිවී නැත. ඒ ඔවුන් සියළු දෙනා ද එම දියවරෙහි ගිලී මිය ගිය බැවිනි. ඒ අනුව රජතුමාගේ කඩුව ගැනීමේ අභිලාෂයෙන් දිය යට කිමිදෙමින් සිටිය දී දියේ ගිලී මියගිය ඇමතියා බහිරවයකු වී එදා මෙදා තුර සකල කලා වල්ලභ රජු ගේ මඟුල් කඩුව සුරකින බවට ප්‍රවාදයක් අදටත් එම ප්‍රදේශයේ පැතිර තිබේ.

එම වෘත්තාන්තය පිළිබඳ දෙවන ප්‍රවාදයට අනුව ඩිංගිරි යනු එම ඇමතියා ගේ නම මිස පුත් කුමරුවකු ගේ නම නොවේ. පාරුව මත වූ රජතුමාගේ මඟුල් කඩුව වතුරට වැටී ඇත්තේ එම ඇමතියාගේ අතපසු වීමකින් මිස රජ තුමා ගේ පුත් කුමරුවකු ගේ ක්‍රියාවක් නිසා ද නොවේ. මෙම වෘත්තාන්තයේ සත්‍යාසත්‍යතාව නිශ්චය කරගැනීමට මේ වන විට නොහැකි වී ඇති මුත් එම ඩිංගිරි කඩුව නම් ස්ථානයට සමීපතම කුඹුරු කොටස අදටත් කෘෂිකාර්මික ලේඛනවල පවා සඳහන් වනුයේ ‘අස්වැද්දුම’ යන නමින් මය.

ඒ කෙසේ හෝ එම වෙල් යාය අන්තයේ ඇති ඩිංගිරි කඩුව නම් වන ස්ථානය බහිරවයා අරක් ගත් තැනක්ය යන ජන විශ්වාසය මත ඉන්පසු කිසිවකුත් දිය නෑම ආදී කටයුතු සඳහා වත් එම දියවරට බැසීමෙන් වැලකී සිටි බව කියනු ලැබේ. එනිසාම එදා මෙදා තුර එම ඩිංගිරි කඩුව ආශ්‍රිතව සැලකිය යුතු මිනිස් ජීවිත ගණනක් දියට බිලි වී නැත. ඒ ප්‍රදේශයේ ගැමියන් එම ඩිංගිරි කඩුව පිටස්තරයන් ගෙන් රැක ගන්නා ලද්දේ ද එනිසාම ය.

නමුදු හාත්පස පරිසරයේ පවත්නා සොබා සෞන්දර්යය මුල් කොට දිනපතා සවස් කාලයන් හි සහ සති අන්ත දිනවල දිවා සහ රාත්‍රී කාලවල එම ස්ථානයට මඳක් නොදුරින් ගලන ඌරුවල් ඔය ආශ්‍රිත තුරුගොමු අද්දර මත්පැන් පානය කිරීම පිණිස බාහිර ප්‍රදේශවලින් නොයෙකුත් පිරිස් පැමිණෙන බවත් ඔවුන් නිසා ඇති වන පාරිසරික සහ සදාචාරාත්මක හානිය මැඩලීම දැන් ටික කලක සිට අවට ගම්වැසියන් හමුවේ පැන නැගී ඇති එක්තරා අභියෝගයක් බවත් ගණේමුල්ල, තිබ්බටුගොඩ වියපත් ගැමියකු වන සුනිල් ධර්මසිරි මහතා අප හා කීය.

එමෙන්ම එම ගම් සීමාවෙන් ගලා බසින ඌරුවල් ඔයට විවිධ රසායනික ද්‍රව්‍ය, සත්ව අපද්‍රව්‍ය ආදිය මුසුවීම නිසා මේ වන විට එහි බරපතල ජල දූෂණයක් සිදුව ඇති අතර අතීතයේ ගැමියන් හට දිය නෑමට සේම කුඹුරු වැඩවල දී පිපාසය සංසිදුවා ගැනීමට පවා උදව් වූ එම ජල මාර්ග අද වන විට දෙපා සේදීමට වත් නුසුදුසු තත්වයකට පත් වෙමින් පවතින බව ද හෙතෙම කීය.

“ඔය කියන රජ්ජුරුවන් ගේ කඩුව රත්තරන් ද? ඒ රත්තරන් කඩුව මේ වතුර යට තියනවද? කියන්න අපි දන්නෙත් නැහැ. අනික අපිට ඒවා වැඩකුත් නෑ; ඒත් අපි කියන්නේ මේ පැත්තේ තියන ඇල දොළ ගහ කොළ කෙත්වතු තමයි අපිට රත්තරන්.

ඒ හින්දා මේවාට හානි නොකර මේවා අපේ ඉදිරි පරම්පරාවටත් රැකලා දෙන්න උදව් වෙන්න කියලයි අපි කියන්නේ”. ඒ සම්බන්ධයෙන් අප හා එසේ අදහස් පළ කරන ලද්දේ මීට වසර කිහිපයකට ඉහත එම ඌරුවල් ඔය අයිනේ මේ වන විට ශීඝ්‍රයෙන් ජන අවධානයට ලක්වන බෝධියක් රෝපණය කළ ගණේමුල්ලේ, තිබ්බටුගොඩ එස්. ජයරත්න සිල්වා මහතා ය.

ඔහු සම්බන්ධව පවත්නා තවත් විශේෂත්වයක් වනුයේ තමන්ගේ නම ලිවීමට, තබා කියවීමට තරම් වත් සාක්ෂරතාවක් නොමැති පනස් විය ඉක්ම වූ තනිකඩ දිවියක් ගත කරන ඔහු සතා සීපාවා තුරු ලතා ඇතුළු සොබා දහම කෙරෙහි අසීමාන්තික ලොල් බවක් පළ කරන මහා ‘ප්‍රඥාවන්තයකු’ බව නොයෙක් වර ගැමියන් හමුවේ තහවුරු වී තිබීම ය.

මෙම ‘ඩිංගිරි කඩුව’ට නිතර යමින් එමින් තතු විමසා බලන්නවුන් අතලොස්ස අතරින් ජයරත්න මහතා ද ප්‍රමුඛතමයෙකි.

විශ්‍රාමික ග්‍රාම නිළධාරී ඒ සෝමදාස (බන්දුල) සිල්වා මහතාට අපගේ ස්තූතිය.

තිලක් සේනාසිංහ

ඡායාරූප : සහන් සංකල්ප සිල්වා

අරුමැසි පුවත්