උණ වැළදුණු ළමුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

උණ රෝගය වැළඳී ඇති ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මව්පියන් පියවර ගතයුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටී.දරුවාට නිසි ප්‍රතිකාර ලබා දීමට ඇති අවස්ථාව අහිමිකරමින්, ඔවුන්ගේ ජීවිත අනවශ්‍ය ලෙස අවධානමට ලක් නොකරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මව්පියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු රෝගය වැළඳුන ළමුන් 50දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බවයි.ඉන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර, මෙම තත්ත්වය මීට වඩා වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාවය පිළිබඳ ගැටලු මතුවිය හැකි බව ඔහු සඳහන් කරයි.

එබැවින් තම දරුවන්ට උණ රෝගය පවතින්නේ නම් ප්‍රමාද නොවී ළඟම ඇති රජයේ රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මව්පියන්ට දැනුම් දීමක් කර තිබේ.එමෙන්ම නිවෙස්වල රැඳී සිටිමින් අත්බෙහෙත් කිරීම නිසා දරුවාට ප්‍රතිකාර කිරීමට ඇති කාලය අහිමිව යන අතර ස්වයං ප්‍රතිකාරවලින් වැළකී නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටී.

කාලීන පුවත්