එළඹෙන උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් සඳහන් කළේ මේ සඳහා අමතර පොලිස් නිලධාරීන් රාශියක්ද රාජකාරි සඳහා යොදවන බවයි.
ඒ අනුව ඉදිරි උත්සව සමයේදී ආගමික ස්ථාන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය කටයුතු කරන බවත් මේ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන් ද යෙදවීමට පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කරයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සම්බන්ධ කර ගන්නා බවත් ඒ අනුව උත්සව සමය ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි.