එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා


ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය.
සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා පුද පිළිවෙත් කරන ස්ථානයකි. මෙම ස්ථාන සාමාන්‍යයෙන් ගම්බාර දෙවියන් වැනි ග්‍රාම දේවතාවන් ඇදහීම සඳහා යොදා ගන්නා අතර, බොහෝ විට නිත්‍ය දේවාලවල මෙන් වාර්ෂික මංගල්‍ය නොමැති කුඩා පූජනීය ස්ථාන වේ. නමුත් කිරි ඉතිරවීම වැනි ගම් මට්ටමේ යාතු කර්ම මේවායේ සිදු කෙරේ.

මල් යහන අද්දර ශාන්ති කර්මයක්

වත්මන් අනුරාධපුර දිස්ත්‍රික්කය හා සම්බන්ධ නුවර කලාවිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය හා සම්බන්ධ හත්කෝරලය වැනි ප්‍රදේශවල මෙවැනි සංහිඳ බොහොමයක් අයියනායක දෙවියන් උදෙසා කැප වූ බවට සලකනු ලැබේ. විමලරත්න කුමාරගම කිවිඳාණන් ගේ සුප්‍රකට “අයියනායක” නම් පද්‍ය රචනය ඒ සඳහා වන කදිම නිදසුනකි.
ඒ හැරුණු කොට මිනිසුන් හට තමන් කැමති තැනකට දේවාකර්ෂණය ලබා ගැනීමට හෝ දෙවියන් වැඩම කර ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා තනා ගත යුතු ස්ථාන තුනක් පිළිබඳ ජන සම්මතයක් තිබේ. එනම් මල් පැළ, පහන් පැළ හා මල් යහන හෙවත් මල් අස්න ය. මෙය හුදෙක් ආධ්‍යාත්මික සේම, ගායනය, වාදනය, රංගනය සේම චිත්‍ර හා කැටයම් කලාවන් හි තිඹිරි ගෙයක් ද වේ.

වත්මන් අනුරාධපුර දිස්ත්‍රික්කය හා සම්බන්ධ නුවර කලාවිය සහ කුරුණෑගල දිස්ත්‍රික්කය හා සම්බන්ධ හත්කෝරලය වැනි ප්‍රදේශවල මෙවැනි සංහිඳ බොහොමයක් අයියනායක දෙවියන් උදෙසා කැප වූ බවට සලකනු ලැබේ. විමලරත්න කුමාරගම කිවිඳාණන් ගේ සුප්‍රකට “අයියනායක” නම් පද්‍ය රචනය ඒ සඳහා වන කදිම නිදසුනකි.
ඒ හැරුණු කොට මිනිසුන් හට තමන් කැමති තැනකට දේවාකර්ෂණය ලබා ගැනීමට හෝ දෙවියන් වැඩම කර ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා තනා ගත යුතු ස්ථාන තුනක් පිළිබඳ ජන සම්මතයක් තිබේ. එනම් මල් පැළ, පහන් පැළ හා මල් යහන හෙවත් මල් අස්න ය. මෙය හුදෙක් ආධ්‍යාත්මික සේම, ගායනය, වාදනය, රංගනය සේම චිත්‍ර හා කැටයම් කලාවන් හි තිඹිරි ගෙයක් ද වේ.

මල් පැළ

අපගේ ගැමි සමාජයේ එදිනෙදා කටයුතුවල දී සිදුකෙරෙන සමාරම්භක ආධ්‍යාත්මික කටයුත්තක් සේ සලකා, තම ගෘහස්ථ පරිසරයන් හි පවා ගොක් කොළවලින් සැදුම් ලත් මල් පැළක් සෑදීම අතිශය සුලබව සිදුවන්නකි. භූමිය හා සම්බන්ධ කටයුතු සේම සිංහල අලුත් අවුරුද්ද වැනි චාරිත්‍රානුකූල උත්සව ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුන් කිහිපයකි. නමුත් මෙබඳු මල් පැළ ඉදිරියේ දේව කන්නලව්, යාදිනි ආදිය නොපැවසෙන අතර, ඉෂ්ට දේවානුස්මරණය පමණක් සිදු කොට දේවාකර්ෂණය අයැද සිටීම එහි දී බොහෝ විට සිදුවෙයි. ඒ අනුව එය ගෘහමය චාරිත්‍රයක් ලෙස සැලකීමේ ද දොසක් නැත. නමුදු දිවා කාලයන්හිදී දෙවියන් පිදීම පිණිස යොදා ගන්නා මල් පැළට මල් වර්ග පහක්, පහන්, කපුරු, සුවඳ දුම් සේම ඇතැම් විටෙක අවස්ථානෝචිතව කිරි බතක් එක් කිරීම පිළිගත් සම්ප්‍රදායකි.

නමුත් රාත්‍රී කාලයන් හි ඉදිකෙරෙන පහන් පැළ, සූනියම්, ගම්බාර ආදී දෙවිවරුන් මිහිපිට සැරිසරන යාමයන් හි තැනෙන නිසා ඒ කෙරෙහි මල් පැළට වඩා වැඩි දේවාකර්ෂණයක් හිමි වන බව පොදු පිළිගැනීම ය. එමෙන්ම, ඉහත සඳහන් කළ ඇතැම් සංහිඳ ඉදිරියේ පැරණි චාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුව සන්ධ්‍යා සහ රාත්‍රී යාමයන් හි ඊට අධිගෘහිත දෙවියන් උදෙසා නිතිපතා පහන් තැබීම කළ හොත් නියත වශයෙන්ම එම දෙවියන් ගේ ආකර්ෂණය සේම ආරූඪය ද ලබා ගත හැකි බවට ජන විශ්වාසයක් තිබේ.

පහන් පැළක්

ත්‍රිකුණාමල-මඩකලපුව දුම්රිය මාර්ගයේ කෝන්වැව සහ මොරගොල්ලාගම දුම්රිය ස්ථාන අතර පිහිටි රණමුක්ගම දුම්රිය පළ අද්දර රත්න කම්බිලි දෙවියන් අධිගෘහිත බෝධි වෘක්ෂයක් ඇති බවත්, ඒ අවට ප්‍රදේශවල දේවාරූඪ හෙවත් දේව වරම් ගැනීමට කැමති එම ප්‍රදේශවල විසූ අතීත ගැමියන් දිනපතා දින හතක්, විසි එකක් හෝ හතළිස් නවයක් රාත්‍රියේ පෙරයම් කාලයේ දී එහි ගොස් නියමිත පරිදි චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු එම පුද්ගලයාට කඩවර දේව යාදිනි කන්නලව් ආදිය ස්වයංසිද්ධ ලෙස මනැසේ ස්ථාපිත වී පසුව එම රත්න කම්බිලි දේවාරූඪය ඉබේටම ලබා ගත් බවත් මීට විසි වසරකට පමණ පෙර මට ද අසන්නට ලැබිණ. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඇහැටුවැව, දිවුල්ගනේ පාරම්පරික ගැමියකු වූ එච්. එම්. ගුණතිලක මහතා සිය ළමා වියේදී අසා දැන තිබූ ජනශ්‍රැතියක් ඇසුරිනි. ඒ අනුව ඉන් හටගත් උනන්දුව මුල් කොට මා ද එම බෝධි වෘක්ෂය පිහිටි ප්‍රදේශයේ සංචාරය කළ අතර, ඊට ගැමි ජනතාව විසින් අනේක විධ පුද පූජා ඉටු කළ අයුරක් නිරීක්ෂණය කළ හැකි විය. එහෙත්, ගුණතිලක මහතා අසා තිබූ ජනශ්‍රැතිය පරිදි මෑත භාගයේ එලෙස රත්නකම්බිලි දේවාරූඪයක් ලබා ගත් අයකු පිළිබඳ තොරතුරක් ගොනු කර ගැනීමට මම අසමත් වීමි. එහෙත් එම ප්‍රදේශයට අධිගෘහිත කඩවර, කම්බිලි යන යක්ෂ සම්භවයේ දෙවිවරුන් ගේ අනසක හා බලය එම ප්‍රදේශ පුරා පැතිර පවතින බව එක හෙළා පිළිගත් එම ප්‍රදේශවල පාරම්පරික ගැමියන් තුළ ඉංග්‍රීසි ජාතිකයන් තමන් ගෙන් කැප අවසර නොගෙන තම අඩවිය මැදින් ත්‍රිකුණාමල-මඩකලපුව දුම්රිය මාර්ගය තනා ඇති බැවින් එම දෙවිවරුන් එම මාර්ගයේ දුම්රිය අනතුරු බහුල කොට ඇති බවට ජන විශ්වාසයක් ද විය. එමෙන්ම ජෝන් ස්ටීල් විසින් ලියන ලද “Jungle tide” (1930) නම් කෘතියේ ද අප රටේ කැලෑබද ප්‍රදේශවල සිදුවන දුම්රිය අනතුරු යකුන් විසින් සිදු කරන බව විශ්වාස කළ අපේ රටේ සමහරුන් රාත්‍රී කාලවල දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට යාමට මැලි වූ බවක් දක්වා ඇත්තේ ඉහත ජන විශ්වාසය මත පදනම් ව විය හැක. ඒ කෙසේ හෝ ගුණතිලක මහතා සඳහන් කළ යාදිනි, කෝල්මුර කවි ඉබේ මනැසේ ආරෝපණය වීම අතිමානසිකතාව (Hypermnesia) නම් මානසික සංසිද්ධිය මත පදනම් වන බව මගේ වැටහීම ය.

පහන් පැල

තමන් හට පිහිටාරක්ෂාවක් ලබා ගත හැකි බවට විශ්වාසයක් පවතින දෙවි කෙනකු උදෙසා නිවස ඉදිරියේ පහන් පැළක් තනා දිනපතා හෝ බදාදා සහ සෙනසුරාදා යන දිනවල සන්ධ්‍යා භාගයේ පහනක් දැල්වීමේ සම්ප්‍රදායක් දේශීය ගැමි සංස්කෘතිය තුළ දක්නා ලැබේ. මෙය බොහෝ විට සූනියම් ගම්බාර දෙවියන් උදෙසා ඉටු කරන පුද පිළිවෙතක් බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන විමසුම්වල දී පෙනී යයි. අප රටේ බොහෝ ගම්මානවල වැසියන් සේම ඔවුන්ගේ නිවාස, දේපල, හරකා බාන ආදියට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ගම්බාර දෙවියෝ දීපව්‍යාප්තව ප්‍රසිද්ධියක් ලබති. නමුදු ඔහු ගේ නමට ඈදී ඇති සූනියම් යන්න පිළිබඳ ජන මනැසේ ප්‍රශ්නයක් පවතින බව ද පෙනේ. ඊට හේතුව අප සමාජයේ පවතින කෘෂ්ණාභිචාරයක් (Black magic ) වන සූනියම් (Witchcraft ) යන්න දෙවි කෙනකුට ඔබින්නක් නොවීම ය. නමුදු එම සූනියම් නාමය විස්තර කෙරෙන ආකාරයක් පිළිබඳ සියනෑ කෝරලයේ පැරණි දේව කන්නලව්වක සඳහන් වේ. “සව් ගම් නියම් ගම් වලට නිති පිහිටාරක්ෂාව ලබා දීම උදෙසා නිරන්තරයෙන් කැප වන ඔබ වහන්සේ ශුද්ධ සූනිගම් හෙවත් ශුද්ධ සූනියම් යන නාමයෙන් හුදී ජනයාගේ ගෞරවාදරයට පත් වන බව සත්‍යවාදී නම් සැබෑ වී නම්” යනුවෙන් එහි පැවසෙන අන්දමට සූනියම් දෙවියන් සූනියම් කරන්නකු නොවන බව පැහැදිලි ය. නමුත් අප රටේ ඇතැම් ප්‍රදේශවල වෙනයම් ප්‍රාදේශීය දෙවිවරුන් ගේ බලය තීව්‍ර වන අවස්ථාවල ඊට සාපේක්‍ෂව මෙම සූනියම් ගම්බාර දේව ඇදහීමේ යම් පසුබෑමක් දක්නට ලැබේ.

මල් යහන

ඉහත සඳහන් පරිදි මල් පැළට හා පහන් පැළට වඩා බලවත් මල් යහන වෙත දෙවිවරුන් වැඩම කර ගැනීම පිණිස කන්නලව්, යාදිනි, මල් යහන් කවි, කෝල්මුර ආදිය ද අවශ්‍ය බවට ජන විශ්වාසයක් පවතී. ඒ අනුව එබඳු කටයුතු සඳහා ඒ උදෙසා කැප වූ පිරිස්වල සහභාගීත්වය ලබා ගැනීම අනිවාර්ය වශයෙන් සිදු විය යුත්තක් බව ගැමියෝ අදහති. ‘කපු’ යන්න ද ‘කැප වූ’ යන වදනින් බිඳී පැමිණි එකක් සේ සලකනු ලැබේ. ජන සම්මතය අනුව කපු කම පාරම්පරික උරුමයකි. ඊට හේතුව එය සාම්ප්‍රදායික දැනුම මත පදනම් වන වෘත්තියක් බැවිනි. ඉහත සඳහන් මල් පැළ හැරුණු කොට පහන් පැළ සහ මල් යහන් හමුවේ සිදුකෙරෙන දේව කන්නලව් හැරුණු කොට යාදිනි සහ මල් යහන් කවි, කෝල්මුර ආදිය හුදෙක් ජන ගායනා ගණයට අයත් වේ. එනිසා ගුප්ත විශ්වාසමය පදනම පසෙකට දැමුව ද මේවා නියත ලෙසම අපගේ ජන සංස්කෘතික ලක්ෂණ ලෙස භාර ගැනීමට සිදු වන බව ජන කලාවන් කෙරෙහි උනන්දු වන්නවුන් තරයේම සිහි තබා ගත යුතු ය.

අප රටේ ජන කලා සම්බන්ධයෙන් මල් යහන මුල් කොට ගැයෙන මල් යහන් කවි සහ කෝල්මුර යනු ජන කලා අංගයක් ලෙස වඩාත් පරිණත බවක් පළ කරනු පෙනෙයි. සාමාන්‍යයෙන් මල් යහන සැකසීමේදී පවා පිළිපැදිය යුතු වත් පිළිවෙත් සහ අනුගමනය කළ යුතු ප්‍රමිතීන් රැසක් තිබේ. ඒ සම්බන්ධ සාම්ප්‍රදායික විස්තර අනුව එය හුදු ගෘහ මූලිකයකු හට කළ නොහැක්කක් බව ද පැහැදිලි වේ.

“දිගිනුත් සත් රියනයි මැන ගන්නේ,
පුළුලින් දෙරියන් හමාර ගන්නේ,
උසිනුත් දෙරියන් හමාර ගන්නේ,
මෙලෙස දෙවිඳුට යහන සදන්නේ”

යනුවෙන් මල් යහනක දිග පළල පවා පැරණි අත්පිටපත්වල සඳහන් ව තිබේ.

එමෙන්ම මෙම මල් යහන ශාන්ති කර්මයක ප්‍රධාන රඟමඬල හෙවත් යාග මණ්ඩපය තුළ ප්‍රමුඛ ස්ථානයක එනම් පූජා භාණ්ඩ තබන තොරණට හෝ අයිලයට ආසන්නව ශාන්ති කර්මය සිදු කරන කපු මහතාට හෝ යකැදුරාට පහසුවෙන් පූජා විධි සිදු කළ හැකි වන පරිදි සකස් කළ යුතු බව ද ශාස්ත්‍රීය නියමයකි. එමෙන්ම දෙවොල් මඩු, කංකාරිය, යක් තොවිල් ආදී වශයෙන් වන ශාන්ති කර්මයේ ස්වභාවය සහ උඩරට, පහතරට, සබරගමු යන ප්‍රාදේශීය සම්ප්‍රදාය අනුව මෙම මල් යහන යම් යම් වෙනස්කම් සහිත විය හැක. තොරණ යනු රංග භූමියේ හෙවත් මඩුවේ එක් පසෙකින් පිහිටුවනු ලබන, එම ශාන්ති කර්මය සඳහා ආරාධනා කරන ලද දෙවියන්ගේ හෝ යක්ෂයාගේ වාසස්ථානය හෝ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය විදහාපාන දොරටුව ලෙස සැලකිය හැකිය.
මල් යහන් කවි සහ කෝල්මුර එකිනෙකට සමාන ගායන සම්ප්‍රදායන් වුව ද, මේවා සම්පූර්ණයෙන්ම එකක්ම නොවේ.

අලංකාරවත් ලෙස සැකසූ මල් යහනක්

උඩරට, පහතරට, සබරගමු යන ශාන්ති කර්ම සම්ප්‍රදායන් තුනෙහිම මෙම මල් යහන් කවි සහ කෝල්මුර දක්නට ලැබෙන අතර, ඒවා බෙර වාදන සහිතව ඒ සම්බන්ධ විශේෂ පුහුණුවක් ලත් පිරිස් විසින් ගයනු ලැබීම ද විශේෂත්වයකි. එහි දී ප්‍රධාන වශයෙන් උඩරට ගැටබෙරය හෝ තම්මැට්ටම යොදා ගැනෙන අතර, පහත රට දී ඒ සඳහා දෙවොල් බෙරය හෙවත් යක් බෙරයත්, සබරගමු සම්ප්‍රදායේ දී දවුලත් යොදා ගනු ලැබේ. මෙහි දී මල් යහන් කවිවලින් දෙවිවරුන් හා ඔවුන්ගේ තෙද බල පිළිබඳ වර්ණනා කෙරෙන අතර, කෝල්මුර යනු එම මල් යහනට වඩින ලෙස යම් දෙවි කෙනකුට ඍජුවම ආරාධනා කිරීමකි. මෙහි දී ඇතැම් කෝල්මුර කවිවල කිසියම් අණ කිරීම් ස්වභාවයක් ද දක්නට ලැබේ.මේ දෙකම පැහැදිලි නාද රටා අනුව ඉදිරිපත් කෙරෙන ගායනයන් සේම නර්තනයන් වන අතර, එම ගැයුම් අතරේ ඊට අදාළ දෙවියන් එම මල් යහන වෙත වැඩමවීම ඒ අතරේ කපුවා හෝ ඇදුරා ආවේශ සහ ආරූඪ වීම මඟින් සනාථ කෙරේ. ඉන් පසුව එම දෙවියා ආරූඪ වූ කපුවා හෝ ඇදුරා මාර්ගයෙන් රැස්ව සිටින්නවුන් අමතන අතර, කපුවා ගේ හෝ ඇදුරාගේ ආරූඪය මඟින් කිසියම් සුවිශේෂ රංගන විලාසයක් දැක්වීම ද එම ශාන්ති කර්මය හා සම්බන්ධ සෞන්දර්යාත්මක ප්‍රවේශයකි. ඒ අනුව මෙම යාතු කර්මවල ඇති ගුප්ත විශ්වාස පක්ෂය පසෙක තැබුව ද, මේවායේ ගායනය, වාදනය හා රංගනය හා සම්බන්ධ ජන කලා හා සබැඳි සෞන්දර්යාත්මක පක්ෂය නූතන විද්වතුන් ගේ අවධානයට යොමු විය යුතු බව අප ගේ වැටහීම ය.

නමුත් ඒවා බොහෝ විට එකට භාවිත වන සහ සමීපව සම්බන්ධ වූ ශාන්ති කර්ම කොටස් දෙකකි. යහන් කවි/මල් අස්නේ කවි ශාන්ති කර්ම සඳහා සකස් කරන ලද දෙවියන් වෙනුවෙන් තනන ලද අසුනට/මල් යහනට දෙවිවරුන් වඩම්මවා ගැනීමට කරන ආරාධනා අඩංගු කවි වන අතර, මෙම කවි මගින් එක් එක් දෙවිවරුන්ගේ ශ්‍රේෂ්ඨත්වය, බල පරාක්‍රමය සහ ගුණ මහිමය ප්‍රශස්ති ස්වරූපයෙන් වර්ණනා කරනු ලැබේ. මේවා සියලුම ප්‍රධාන දෙවිවරුන් වෙනුවෙන් මෙන්ම වෙනත් ප්‍රාදේශීය දෙවිවරුන් වෙනුවෙන්ද ගයනු ලැබේ. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී මල් යහන් කවි යනු පුළුල් අර්ථයෙන් දෙවිවරුන්ට ආරාධනා කරන සහ ගුණ වර්ණනා කරන කවි වන අතර, කෝල්මුර යනු ඒ දෙවිවරුන් යහනට වඩින ලෙස කරන කෙළින්ම කැඳවීම පිණිස කරනු ලබන ගායනා විශේෂයකි. “කෝල්” යනු කැඳවීම හෝ ආරාධනාව යන අරුත දෙන අතර “මුර” යනු වර හෝ වතාව යන අරුත දිය හැකිය. මෙය දෙමළ බසින් “කාවල්” හෙවත් ආරක්ෂාව යන වදන හෝ දේව මන්දිරය යන අදහස දෙන “කෝයිල් හෙවත් කෝවිල්” යන දෙමළ වදන් හා සම්බන්ධ වන බවට අනුමාන කළ හැක. ඇතැමෙක් පවසන අන්දමට මෙම කෝල්මුර පත්තිනි දෙවඟන කේන්ද්‍ර ගතව බිහි වූවකි. උඩරට නර්තන සම්ප්‍රදායේ වෙස් බැඳීම නම් වන සුවිශේෂ සංසිද්ධිය හා මෙම කෝල්මුර අතර පවතින සබැඳියාව ද ඉමහත් ය.

ශාන්ති කර්මයක යාග මණ්ඩපය

උඩරට, පහතරට, සබරගමු යන ශාන්ති කර්ම සම්ප්‍රදායන් තුනෙහිම මෙම මල් යහන් කවි සහ කෝල්මුර දක්නට ලැබෙන අතර, ඒවා බෙර වාදන සහිතව ඒ සම්බන්ධ විශේෂ පුහුණුවක් ලත් පිරිස් විසින් ගයනු ලැබීම ද විශේෂත්වයකි. එහි දී ප්‍රධාන වශයෙන් උඩරට ගැටබෙරය හෝ තම්මැට්ටම යොදා ගැනෙන අතර, පහත රට දී ඒ සඳහා දෙවොල් බෙරය හෙවත් යක් බෙරයත්, සබරගමු සම්ප්‍රදායේ දී දවුලත් යොදා ගනු ලැබේ. මෙහි දී මල් යහන් කවිවලින් දෙවිවරුන් හා ඔවුන්ගේ තෙද බල පිළිබඳ වර්ණනා කෙරෙන අතර, කෝල්මුර යනු එම මල් යහනට වඩින ලෙස යම් දෙවි කෙනකුට ඍජුවම ආරාධනා කිරීමකි. මෙහි දී ඇතැම් කෝල්මුර කවිවල කිසියම් අණ කිරීම් ස්වභාවයක් ද දක්නට ලැබේ.

මේ දෙකම පැහැදිලි නාද රටා අනුව ඉදිරිපත් කෙරෙන ගායනයන් සේම නර්තනයන් වන අතර, එම ගැයුම් අතරේ ඊට අදාළ දෙවියන් එම මල් යහන වෙත වැඩමවීම ඒ අතරේ කපුවා හෝ ඇදුරා ආවේශ සහ ආරූඪ වීම මඟින් සනාථ කෙරේ. ඉන් පසුව එම දෙවියා ආරූඪ වූ කපුවා හෝ ඇදුරා මාර්ගයෙන් රැස්ව සිටින්නවුන් අමතන අතර, කපුවා ගේ හෝ ඇදුරාගේ ආරූඪය මඟින් කිසියම් සුවිශේෂ රංගන විලාසයක් දැක්වීම ද එම ශාන්ති කර්මය හා සම්බන්ධ සෞන්දර්යාත්මක ප්‍රවේශයකි. ඒ අනුව මෙම යාතු කර්මවල ඇති ගුප්ත විශ්වාස පක්ෂය පසෙක තැබුව ද, මේවායේ ගායනය, වාදනය හා රංගනය හා සම්බන්ධ ජන කලා හා සබැඳි සෞන්දර්යාත්මක පක්ෂය නූතන විද්වතුන් ගේ අවධානයට යොමු විය යුතු බව අප ගේ වැටහීම ය.

සේයා රූ:අන්තර් ජාලය

තිලක් සේනාසිංහ(සිළුමිණ පුවත් පත)

උරුමයක අසිරිය