අද වන විට මුළු මහත් සමාජ මාධ්‍ය ජාලයම ඇවිළී ගොස් ඇත්තේ ‘කළු කෝට් – කාකි සූට් හබයෙන්’ය. ගල්කිස්ස අධිකරණ භූමියේ රාජකාරියේ නියුතු සිටි පොලිස් කොස්තාපල් වරයෙකු හා ඒ අධිකරණයේම නීතිමය කටයුත්තකට ගිය නීතිඥයෙකු අතර රථ ගාල් ප්‍රශ්නයක් මත ඇතිවූ බහින්බස් වීමක් මීට මුල්වී ඇත. එහි දී පොලිස් කොස්තාපල් වරයා නීතිඥයාට පහර දුන් බවක් නීතිඥ පාර්ශ්වයෙන් කියවෙයි. නමුත් තමන් එසේ පහර දීමක් නොකළ බව පොලිස් කොස්තාපල් වරයා පවසයි. ඒ ආරවුල අධිකරණය දක්වා ගොස් රාජකාරියේ සිටි කොස්තාපල් වරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත වී ඇප ලබා සිටියි. එම සිද්ධියට අදාල නීතිඥයාගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා මේ වන විට සමාජ මාධ්‍ය දං ගෙඩිය ඉදිරියේ ය. අධිකරණ ක්‍රියාවලියේ දී මේ දෙපාර්ශ්වයම අධිකරණයට අත්‍යවශ්‍ය කණ්ඩායම් වන බැවින් මේ දෙපාර්ශ්වය අතර දිග්ගැස්සුණු නඩුවක් බවට මෙය පත් නොවී දෙපාර්ශ්වයම එකිනෙකාට කණගාටුව පළකර මෙය විසඳා ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
එසේ වුවද මේ සිද්ධියත් සමඟ කියැවෙන පණිවුඩ රැසක් පවතින බවත් ඒවා නිසි ලෙස තේරුම් ගෙන පිළියම් යෙදීම අනාගතයේ මෙබඳු සිද්ධීන් ඇතිවීම වැළැක්වීමට හේතු කර ගත හැකි බවත් අප අමතක කළ යුතු නැත.
මේ සිද්ධිය සිදුවන්නේ අධිකරණ භූමියේ වාහනයක් ගාල් කර තැබීම පිළිබඳව ය. අතීතයේ නම් ගාල් කර තැබුවේ ගවයින්ව ය. මුලින්ම බර අදින ප්‍රවාහන මාධ්‍ය වුණේ තවලම් ය. තවලම් සඳහා මෙරට යොදා ගත්තේ ගවයින් ය. එදා තවලම් ගවයින් විවේක ගැන්වූ ස්ථානය ‘ගාල’ නම් විය. පසුව ගවයින් යෙදූ කරත්ත නතර කර තැබූ ස්ථානය ‘කරත්ත ගාල’ විය. ඒ ඌරුවට යමින් කරත්තවලට පසුව හඳුන්වා දුන් රථවාහන නතර කළ ස්ථානයත් ‘ගාල’ නමින්ම ව්‍යවහාර වුණා විය යුතු ය. එසේ නැතිව රථවාහන පදවන ඇතැම් අය ගවයින් මෙන් ඒ කාර්යය කරන නිසා ඒ වාහන නවත්වන ස්ථාන ගාල් ලෙස හැඳින්වෙන බව නොසිතිය යුතු ය.
මේ සිද්ධිය සිදුවන්නේ අධිකරණ භූමියේ වාහනයක් ගාල් කර තැබීම පිළිබඳව ය. අතීතයේ නම් ගාල් කර තැබුවේ ගවයින්ව ය. මුලින්ම බර අදින ප්‍රවාහන මාධ්‍ය වුණේ තවලම් ය. තවලම් සඳහා මෙරට යොදා ගත්තේ ගවයින් ය. එදා තවලම් ගවයින් විවේක ගැන්වූ ස්ථානය ‘ගාල’ නම් විය. පසුව ගවයින් යෙදූ කරත්ත නතර කර තැබූ ස්ථානය ‘කරත්ත ගාල’ විය. ඒ ඌරුවට යමින් කරත්තවලට පසුව හඳුන්වා දුන් රථවාහන නතර කළ ස්ථානයත් ‘ගාල’ නමින්ම ව්‍යවහාර වුණා විය යුතු ය. එසේ නැතිව රථවාහන පදවන ඇතැම් අය ගවයින් මෙන් ඒ කාර්යය කරන නිසා ඒ වාහන නවත්වන ස්ථාන ගාල් ලෙස හැඳින්වෙන බව නොසිතිය යුතු ය. කෙසේ වුවද අධිකරණයක පමණක් නොව බොහෝ රජයේ කාර්යාලවල රාජකාරි කරන අයටවත් රථවාහන ආරක්ෂිතව නතර කර තැබීමට ප්‍රමාණවත් ඉඩකඩ නැති බව නම් සැබෑ ය. එය මට සිදුවූ සත්‍ය අත්දැකීමකින් ද මනාව තහවුරු විය.
මෑතදී අධිකරණයකින් ලද කැඳවීමක් මත සාක්ෂියක් ලබාදීම සඳහා මම මගේ පෞද්ගලික වාහනයෙන් ඒ අධිකරණයට ගියෙමි. අධිකරණ භූමියට ඇතුළු වන තැන ගේට්ටුවේ පොලිස් නිලධාරීහු සිටියහ. ඔවුන් පැවසුවේ අධිකරණ භූමිය තුළට රථවාහන ඇතුළු කිරීමට ඉඩ දිය නොහැකි බව ය. මම රියදුරු මහතාට වාහනය කොහේ හෝ නතර කරගෙන සිටින ලෙස පවසා ගේට්ටුවෙන් මදක් එහා මාර්ගය අයිනේ බැස මහා මාර්ගයේදීම කබාය ඇඳගෙන ටයි පටියත් බැඳගෙන ගේට්ටුව අබියසට ගියෙමි. පොලිස් නිලධාරියා මගෙන් ඇසුවේ ‘ලෝයර් කෙනෙක්ද?’ කියාය. මම “නැතැ”යි කීමි. ‘ඩොක්ටර් කෙනෙක්ද?’ ඊළඟ ප්රශ්නය විය. මම ඊට ද “නැතැ’යි කීමි. එසේ නම් උසාවිය ඇතුළට ජංගම දුරකථනය ගෙන යාමට අවසර දිය නොහැකියැයි පැවසිණි. මා ප්‍රතිපත්තියක් ලෙස මගේ තනතුර හෝ හිටපු තනතුර ඔය වගේ තැන්වල ප්‍රකාශ කරන්නේ නැත. ඒ වෙන දෙයකට නොවේ. ” මහත්මයා; නීතිය කාටත් එකයි” කියා පොලිස් නිලධාරියෙක් කිව්වොත් දෙන්න උත්තරයක් නැතිව සවුත්තු වී කරබාගෙන ඉන්න වෙන නිසා ය. ” “රාළහාමි, මට දැන් මේ ෆෝන් එක තියලා යන්න තැනක් නෑ. මම මේ විශ්‍රාම ගිය රජයේ සේවකයෙක්, මේ ෆෝන් එක මෙතන තියා ගන්න පුළුවන්ද? මම ආපහු යනකොට ගන්නම්” කියා ඉල්ලීම් කළ විට පොලිස් මුරපොල තුල කුඩා රාක්කයක් පෙන්වා එම ස්ථානයේ තබා යන ලෙස පවසා ඔහු මගේ ගැටලුව නිරාකරණය කර දුන්නේ ය. එදා සිට මම ඒ අධිකරණයට යන විට මගේ වාහනය ඊට ඈතින් ඇති පොදු රථ ගාලක තබා මගේ ජංගම දුරකථනය ද රථයේම තබා ගොස් අධිකරණයට පිවිසෙමි. දැනට හත් වරක් ගොස් ඇතත් තවම මගේ සාක්ෂිය ගෙන අවසන් කර නැත. මෙතැනදී මට පෙනී ගිය දෙය නම් අධිකරණයේ සහයට සාක්ෂියට කැඳවන සාමාන්‍ය මිනිසාට සිය වාහනය, යතුරු පැදිය හෝ ත්‍රිරෝද රථය අධිකරණ භූමියට ඇතුළු කිරීමටවත් නොහැකි බව ය.
නීතිඥයන් සඳහා බොහෝ අධිකරණ භූමිවල රථවාහන ගාල් කිරීමේ ඉඩකඩ ඇත්තේ නිත්‍ය වශයෙන් ඒ අධිකරණයේ සේවා සපයන අය සඳහා පමණි. බැහැරින් හදිසි නඩුවකට නීතිඥයෙකු අධිකරණයට ආවොත් ඔහු සිය වාහනය බැහැර ස්ථානයක ගාල් කර පැමිණිය යුතු ය. අධිකරණය තුළ හෝ පිටත රිය ගාලක රිය ගාල් කළ ද වාහනයට යම් හානියක් වුණොත් එහි වගකීම රිය ගාල හිමි ආයතනය හෝ එහි සේවය කරන්නන් නොගන්නා බව ලොකු අකුරින් ප්‍රදර්ශනය කර ඇත. ඒ නිසා නීතිඥයන්ට වුවත් සිය රථය ගාල් කර අධිකරණයේ සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ තම රථයේ ආරක්ෂාව පිළිබඳව ද අවදානමක් සිතේ දරාගෙන ය. අනික් අතට අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව භාරව සිටින පොලිස් නිලධාරීන් සේවය කරමින් සිටින්නේ ද දැඩි පීඩනයන් මධ්‍යයේ ය. අධිකරණ භූමියේ රථවාහන අවහිරයක් වුණොත් ඊට වග කිව යුතු වන්නේ රාජකාරියේ සිටින පොලිස් නිලධාරීන් ය. දැන් දැන් තියෙන අත්දැකීම් අනුව අධිකරණය ඇතුළේදීත් මිනී මරා පැන යන පාතාල අපරාධකරුවෝ සිටිති. එබඳු සිද්ධියක් වුණොත් මුලින්ම වැඩ තහනම් වෙන්නේ ආරක්ෂාව භාර පොලිස් නිලධාරීන්ගේ ය. රථවාහන අවහිරයක් වී විනිසුරුවරයෙකුට ප්‍රමාදයක් වීම, නීතිඥයෙකුට ප්‍රමාදයක් වීම, බන්ධනාගාර වාහන අවහිර වී කිසියම් ප්‍රහාරයක් ඊට එල්ල වීමේ අවදානම ඇතිවීම, සිරකරුවන් පැන යාම ආදී සිදුවිය හැකි ඕනෑම දෙයක වගකීමට අදාල මුල්ම ගොදුර වන්නේ පොලිස් නිලධාරීන් ය. ඒ අනුව පොලිස් නිලධාරීන්ට ඇති පීඩනය අසීමිත ය.
අධිකරණ වල නඩු කටයුතු සඳහා සහාය වන නීතිඥයින්ට අවශ්‍ය පහසුකම් අධිකරණ වල පවතිනවාද යන්න සැක සහිත ය. උදාහරණ ලෙස 1989 වර්ෂයේ විවෘත කළ අම්පාර මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ලේ මේ වන විට දිසා අධිකරණය ද, මහාධිකරණය ද, කම්කරු විනිශ්චය සභාව ද ඇතුළු අධිකරණ ගණනාවක් ස්ථාපිතව පවතී. එදා මහේස්ත්‍රාත් උසාවියේ නිත්‍ය වශයෙන් රාජකාරි කළේ නීතිඥයින් පස් දෙනෙකි. අද වන විට එය හය ගුණයකින් වත් වැඩි වී ඇතුවාට සැක නැත. ඒ අනුව අධිකරණ වැඩිවීම මෙන්ම නීතිඥ සංඛ්‍යාව වැඩිවීමට සාපේක්ෂව ප්‍රමාණාත්මකව ඉඩකඩ වැඩිවී නැත. මේ තත්වය අඩු වැඩි වශයෙන් ලංකාවේ සැම දිස්ත්‍රික්කයකටම එකසේ බලපා ඇත. ඒ නිසාම සේවාදායකයින් හා සාකච්ඡා කිරීම, රථවාහන ගාල් කිරීම, ආපනශාලා පහසුකම්, වැසිකිළි පහසුකම් ආදී සියලු පහසුකම්වල ඌනතාවයන් පවතී. අනික් අතට පොලිස් ස්ථාන වල තත්වය මීටත් වඩා ඛේදජනක ය.
දැනට දින දහයකට පමණ ඉහතදී කොළඹ ප්‍රධාන නගරයේ පොලිස් ස්ථානයකට යාමට මට සිදුවිය. එම පොලිස් ස්ථානයේ මුළු රථවාහන අංශයම පිහිටා ඇත්තේ වර්ග අඩි සියයටත් අඩු කුඩා කාමරයක ය. රථවාහන අංශයේ නිලධාරීන් සියල්ලම එකවර පොලිස් ස්ථානයට පැමිණියොත් කොටසකට ඉන්නට වෙන්නේ මහපාරේ ය. නිලධාරීන් ද මහජනයා ද සියල්ලෝම ඒ කුඩා ඉඩ කඩේ කටයුතු කරති. ඒ පොලිස් ස්ථානයට පැමිණෙන අයගේ රථවාහන නතර කරන්නට ස්ථානයක් නැත. අදාල කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි මහතා මගේ වාහනය අසල තිබූ රජයේ කාර්යාල භූමියකට ඇතුළු කිරීමට ඉඩ හදා දුන් නිසා මට අවුලක් වුණේ නැත. අර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති මහතා උදේ පාන්දර සේවයට පැමිණ උදේ කෑම කන්න නැගිට්ටේ 11.20ට පමණ ය. රථවාහන අංශයේ ස්ථානාධිපති තුමාත් එකොළහට පමණ සිය මේසය මත තබාගෙනම අසීරුවෙන් උදේ ආහාරය ගන්නවා දුටිමි. ඒ අතරත් ඔහු සිය කාර්ය මණ්ඩලයට විවිධ උපදෙස් නිකුත් කරමින් දුරකථනයටත් පිළිතුරු දෙමින් ආහාර ගත්තේ ය. උදේ සේවයට වාර්තා කළ පසු අඩු තරමේ දහය හමාර වනතුරු නම් කිසිවෙකුටත් තේ එකක්වත් බොන්න නොලැබෙන බව පොලිස් රාළහාමි කෙනෙක් මා සමඟ කීවේය. මෙසේ ඉමහත් අසීරුවෙන් රාජකාරි කරන පොලිස් නිලධාරීන් පොඩ්ඩක් වැරදුණොත් ස්ථාන මාරු, වැඩ තහනම් හෝ රිමාන්ඩ් ය. ඒ නිසා ඔවුන් ගේ මහජන සම්බන්ධතාවය මේ මට්ටමින් තබාගෙන සිටීම ගැන අප ඔවුන්ට ස්තූතිවන්ත විය යුතු ය. ඒ අනුව බැලීමේදී ගල්කිස්ස උසාවියේදී පුපුරා ගිය ‘කළු කෝට් – කාකි සූට්’ අතර පීඩනය ඒ දෙපාර්ශ්වය වෙත රජය විසින් නිසි පහසුකම් නොසැපයීම මත ඇතිවූ පීඩනයක් යැයි සිතීම සාධාරණ ය.
මෙවන් ගැටුම්කාරී අවස්ථාවක නොකළ යුතුම කාර්යය මේ සිද්ධියේ දී සිදුව ඇත. ඒ මේ ගැටුම කොටසක් වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හැරීමයි. මේ ගැටුම වීඩියෝ ගත කළ අයගේ චේතනාව වී ඇත්තේ නීති කටයුත්තක සාක්ෂියක් ලෙස මේ වීඩියෝව යොදා ගැනීමට නම් මේ සිද්ධිය වීඩියෝ ගත කිරීම වරදක් නොවේ. එහෙත්, ගැටුමට සම්බන්ධ එක් පාර්ශ්වයක් මහජනතාවගේ අප්‍රසාදයට පත්කිරීම සඳහා මෙය වීඩියෝ ගත කළ බව මෙය සමාජ මාධ්‍යයට මුදා හැරීම නිසා පැහැදිලි වෙයි. ඒ අරමුණ ඉටුකර ගැනීම තුළ පොලිස් කොස්තාපල් වරයාගේ පාර්ශ්වයට වාසියක් අත්කර දීමත් වක්‍ර අරමුණක් වන්නට ඇත. කිසියම් පුද්ගලයෙකුගේ චර්යාවක් ඔහුට හොරා වීඩියෝ ගත කර ඔහුව අප්‍රසාදයට පත්කිරීම සඳහා ප්‍රසිද්ධ කිරීම කොතරම් දුරකට නීතියට එකඟද යන්න නොදනිමි. නමුත් අවසරයක් හෝ එකඟතාවයක් නොමැතිව ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝ ගත කිරීම සදාචාරවත් ක්‍රියාවක් සේ නොසැලකේ. ඒ අනුව පොලිස් කොස්තාපල් වරයාට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම හා තර්ජනය කිරීම මෙන්ම එය හොරෙන් වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට මුදා හැරීම යන දෙකම එකසේ වැරදි ය.
කිසියම් පුද්ගලයෙකු නීති විරෝධී කාර්යයක් කරනු හොරෙන් වීඩියෝ ගත කළ හැක්කේ එය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට පමණක් බව මගේ වැටහීමයි. සමාජ මාධ්‍ය ඔස්සේ මෙබඳු වීඩියෝ ප්‍රචාරය වීමත් සමඟ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ක්‍රියාත්මක වී විමර්ශන ආරම්භ කිරීම කලක සිට සිදු කරනු දැක ඇති අතර පුද්ගලයන් දැන් සිදු කරන්නේ වරද වැළැක්වීමට උත්සාහ කිරීම නොව සිදු කරන්නට ඉඩ හැර එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හැරීමය. එසේම අසභ්‍ය වචනයෙන් පුද්ගලයින්ට හා යම් නිලතල දරන්නන්ට බැණ වදිමින් ඒවා වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයේ මුදා හැර තෘප්තිමත් වන මානසික රෝගීන් සේ සැලකිය හැකි පිරිස්ද සිටිති. එබඳු ඇතැම් අය ආගමික නායකයන් ලෙසද පෙනී සිටින්නන් ය. මෙහි ආරම්භය සිදුවුණේ දැනට වසර දොළහකට ඉහතදී භික්ෂූන් වහන්සේ නමක් දළදා මාලිගාව අසල මහ මළුවේදී පෙට්‍රල් ඇඟේ හලාගෙන ගිනි තබා ගැනීම වෙනත් අයෙකු විසින් වීඩියෝ කර ප්‍රසිද්ධ කිරීමෙනි. මෙබඳු සිද්ධි මත රජය කළ යුත්තේ මෙබඳු වැරදි සිදු කිරීම් වීඩියෝ ගත කිරීම් හෝ ඡායාරූප ගත කරන්නන්ට ඒවා නීතිය ක්‍රියාත්මක කරන බල අධිකාරීන්ට එවීම සඳහා අවශ්‍ය සන්නිවේදන සම්බන්ධතා මහජනතාවට ප්‍රසිද්ධ කර, ඒවා ගෙන්වා ගැනීම හා ඒ මත පදනම්ව විමර්ශන සිදුකර වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙලක් සැකසීමය. ඊට සමගාමීව පුද්ගල වැරදි හැසිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවීම අධෛර්යමත් කරන නීති සම්පාදනය ද කළ යුතුව ඇත.
ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය කළු කෝට් හයිය පෙන්වීමට හෝ කාකි සූට් හයිය පෙන්වීමට යොදා ගැනීමේ බාල උත්සාහයන් නවතා නීතිඥ සංගමයත් ශ්‍රී ලංකා පොලිසියත් දෙපාර්ශ්වය මැදිහත් ව සාකච්ඡා කර එය සමථයට පත් කර ගැනීමට වහා ක්‍රියා කළ යුතු ය. එමෙන්ම කවර අයෙකු වෙනුවෙන් හෝ අධිකරණයේ පෙනී නොසිටිමු යැයි සාමූහික තීරණ ගැනීම මඟින් වෘත්තීය ආචාර ධර්ම වලට පටහැනි ක්‍රියාවලින් වළකින ලෙසට සිය සාමාජිකත්වය දැනුවත් කිරීම නීතිඥ සංගමයේ කාර්යයකි.
ගල්කිස්ස අධිකරණ භූමියේ සිදුවූ මේ අවාසනාවන්ත සිද්ධිය කළු කෝට් හයිය පෙන්වීමට හෝ කාකි සූට් හයිය පෙන්වීමට යොදා ගැනීමේ බාල උත්සාහයන් නවතා නීතිඥ සංගමයත් ශ්‍රී ලංකා පොලිසියත් දෙපාර්ශ්වය මැදිහත් ව සාකච්ඡා කර එය සමථයට පත් කර ගැනීමට වහා ක්‍රියා කළ යුතු ය. එමෙන්ම කවර අයෙකු වෙනුවෙන් හෝ අධිකරණයේ පෙනී නොසිටිමු යැයි සාමූහික තීරණ ගැනීම මඟින් වෘත්තීය ආචාර ධර්ම වලට පටහැනි ක්‍රියාවලින් වළකින ලෙසට සිය සාමාජිකත්වය දැනුවත් කිරීම නීතිඥ සංගමයේ කාර්යයකි. කළු කෝට් පාර්ශ්වයත් කාකි සූට් පාර්ශ්වයත් යන දෙපාර්ශ්වයම අනික් පාර්ශ්වයට ගෞරවනීය පිළිගැනීමක් දීම මඟින් සමාජමය ලැව් ගිනි පැතිර යාම් බඳු මෙබඳු අවාසනාවන්ත සිද්ධීන් අනාගතයේදී සිදුවීම වළක්වා ගත හැකි බව තේරුම් ගැනීම මේ සිද්ධියෙන් අගනා පාඩමක් ඉගෙන ගත්තා වන්නේ ය.
සුනිල් කන්නංගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති