ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය උගුලේ වැටී ඉකිබිඳින අතරේ කතුන්ට සිනාවෙන්නත් පුළුවන් ද?

මනුෂ්‍යත්වය රජයන රාජ්‍යයක් තුළ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම රජයේ මූලික අභිප්‍රාය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 8 වන දා කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවති ජාතික ජන බලවේගයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අමතමින් කියා සිටියේ ය. “ගැහැනු අපි එක මිටට – ඇය නැගිටින විට නැගිටිනවා රට” යන තේමාවෙන් ජාතික ජන බලවේගයේ කාන්තා නියෝජිතවරියන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී රැස්ව සිටි කතුන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙතෙක් කල් හදවතේ බරක් සහ වේදනාවක් දරා සිටි මෙරට කාන්තා පරපුරට සිනාමුසු අනාගතයක් උදා කිරීමට අවශ්‍ය සැලසුම් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එමෙන්ම ආණ්ඩුවක සාර්ථකත්වය මැනිය හැක්කේ එම රටේ කාන්තාවන් තබන විශ්වාසය මත බව පැවසූ ජනාධිපතිවරයා, එදින රැස්ව සිටි දහස් සංඛ්‍යාත කාන්තාවන් ඔස්සේ වත්මන් පාලනය කෙරෙහි පවතින පොදුජන විශ්වාසය තහවුරු වන බව ද එහි දී කීය. එහෙත් එම ප්‍රකාශය කිසිදු යථාර්ථවාදී පදනමකින් තොර “තැනේ හැටියට ඇණේ ගැසීමකට” වැඩි යමක් වනුයේ කෙසේ දැයි අපි නොදනිමු.මෙම වසරේ ජාත්‍යන්තර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දී ඇති තේමාව වන්නේ “සියලු ම කාන්තාවන් සහ ගැහැනු ළමයින් සඳහා; අයිතිවාසිකම්, යුක්තිය, ක්‍රියාකාරිත්වය” යන්න යි.එහෙත් මේ වන විට ආණ්ඩු බලය පිහිටුවා ගෙන හිඳින ජාතික ජනබලවේගය මෙවර සිය කාන්තා දින සැමරුම සඳහා ඊට කෙසේවත් සම්බන්ධ නොමැති වෙනම තේමාවක් යොදා ගැනීමෙන් පෙන්නුම් කොට ඇත්තේ එය ගෝලීය සම්මතයෙන් බැහැර වූ “වෙනම එකක්” ලෙස ය. නමුත් මෙම වසරේ ජාත්‍යන්තර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම මෙලෙස විවිධ දේශපාලන පක්ෂ විසින් සිය අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් කිසිදු හඬක් නොනැඟීම ද විස්මයට කරුණකි.

මෙවන් උත්කර්ෂවත් සැමරුම් සහ උද්යෝගීමත් දේශපාලන ප්‍රකාශයන්ට එපිටින් පවතින යථාර්ථය තරමක් සංකීර්ණ සහ අභියෝගාත්මක සේම සමාජයේ බොහෝ කාන්තාවන්ට දරා ගැනීමට අසීරු බව පෙනෙන්නට තිබේ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම යනු ජාති, ආගම් හෝ පක්ෂ භේදයකින් තොරව පොදු අරමුණු වෙනුවෙන් කාන්තාවන් එක්විය යුතු දිනයකි. එහෙත් මෙරට දේශපාලන සංස්කෘතිය තුළ කාන්තා ප්‍රජාව තම තමන්ගේ දේශපාලන කඳවුරුවලට ගොනු කරගනිමින් පවත්වන මෙවැනි උත්සව සහ එහි දී දෙනු ලබන පොරොන්දු, ගැමි වහරට අනුව “සීනි සූකිරි බෙදීමක්” වැනි යමක් නොවේදැයි සමාජය තුළ ප්‍රශ්න මතුවෙමින් පවතී.

ඒ කෙසේ වෙතත්, මෙවන් උත්කර්ෂවත් සැමරුම් සහ උද්යෝගීමත් දේශපාලන ප්‍රකාශයන්ට එපිටින් පවතින යථාර්ථය තරමක් සංකීර්ණ සහ අභියෝගාත්මක සේම සමාජයේ බොහෝ කාන්තාවන්ට දරා ගැනීමට අසීරු බව පෙනෙන්නට තිබේ. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම යනු ජාති, ආගම් හෝ පක්ෂ භේදයකින් තොරව පොදු අරමුණු වෙනුවෙන් කාන්තාවන් එක්විය යුතු දිනයකි. එහෙත් මෙරට දේශපාලන සංස්කෘතිය තුළ කාන්තා ප්‍රජාව තම තමන්ගේ දේශපාලන කඳවුරුවලට ගොනු කරගනිමින් පවත්වන මෙවැනි උත්සව සහ එහි දී දෙනු ලබන පොරොන්දු, ගැමි වහරට අනුව “සීනි සූකිරි බෙදීමක්” වැනි යමක් නොවේදැයි සමාජය තුළ ප්‍රශ්න මතුවෙමින් පවතී.

මෙම සැකය මතු වීමට බලපාන ප්‍රධානතම සාධකයක් වන්නේ පසුගිය මාර්තු 4 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ “ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත” යි. මෙය අප සමාජයේ ග්‍රාමීය කාන්තා ජීවිතවලට ජනවහරට අනුව “කොඩිවිනයක්” බඳු තත්ත්වයක් මුල් කොට ගත් පනතකි. මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසන පරිදි, මෙම පනතේ අරමුණ වන්නේ මෙතෙක් නියාමනය නොවූ මූල්‍ය අංශය විධිමත් කිරීම සහ ණය ගැතියන් සූරාකෑමෙන් ආරක්ෂා කිරීමයි. එහෙත් යුක්ති සාමූහිකය වැනි සංවිධාන පෙන්වා දෙන්නේ මෙම නව නීති සම්පාදනය ජාතික ජන බලවේගය මැතිවරණ සමයේදී ලබා දුන් පොරොන්දුවලට හාත්පසින්ම පටහැනි බවයි. විශේෂයෙන්ම කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් කාන්තාවන් නිදහස් කරන බවට වූ පොරොන්දුව මෙහිදී උල්ලංඝනය වී ඇති බවට ඔවුහු චෝදනා කරති.

විවේචකයන් පෙන්වා දෙන්නේ මෙම පනත රනිල් වික්‍රමසිංහ රජය ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිවලම අඛණ්ඩ පැවැත්මක් මිස සැබෑ සහනයක් නොවන බවයි. ගෘහස්ථ ණය සහ ජාතික ණය අතර පවතින සබඳතාව හඳුනා ගැනීමට අපොහොසත් වී ඇති මෙම පනත හරහා ස්ථාපිත කරන අධිකාරියේ පවා කාන්තා නියෝජනය අනිවාර්ය කර නොමැති වීම බරපතල අඩුපාඩුවකි. මහා පරිමාණ මූල්‍ය සමාගම් නියාමනය කිරීමට ඇති නොහැකියාවත්, ඇතැම් නීති සම්පාදකයින්ගේ තැන්පතු පවා එවැනි සමාගම් සතු වීම නිසා ඇතිවන “පොලී ගැටුමත්” හේතුවෙන් ග්‍රාමීය කාන්තාව සූරාකෑමේ අවදානම තවදුරටත් ඉතිරිව පවතින බව විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. ඒ අනුව මෙය හිසරදයට කොට්ටය මාරු කිරීමකට වැඩි යමක් නොවන බව පෙනී යයි.

ජනාධිපතිවරයාගේ ඉහත සඳහන් චිත්තාකර්ෂණීය ප්‍රකාශ හමුවේ පවා උද්ගත වී ඇති වඩාත් භයානක තත්ත්වය වන්නේ නව නියාමනයන් හේතුවෙන් ග්‍රාමීය මට්ටමේ පවතින මරණාධාර සමිති සහ කාන්තා සාමූහික වැනි ස්වයං-නියාමන පද්ධතීන් අඩපණ වීමට ඇති ඉඩකඩයි. මේවා බොහෝ විට සාමාන්‍ය ජනතාව කොල්ලකාරී ණය උගුල්වලින් බේරීමට ඇති අවසාන රැකවරණයයි. නමුත් ඒ සඳහා ඇති මෙවන් සමාජමය රක්ෂාවරණයන් අහිමි වීම අසරණ කාන්තාවන් සමාජමය වශයෙන් කබලෙන් ලිපට ඇද දැමීමකි. මෙම සමස්ත ක්‍රියාවලිය පිටුපස ආසියානු සංවර්ධන බැංකුව (ADB) වැනි ජාත්‍යන්තර ආයතනවල කොන්දේසි පවතින බව පවසන යුක්ති සාමූහිකය, වත්මන් රජය ද තමන් කලින් විවේචනය කළ මාවතේම ගමන් කරන බවට අනතුරු අඟවා තිබේ.

ජනාධිපතිවරයා කාන්තාවන්ගේ කඳුළු පිසලන බවට පොරොන්දු දෙන අතරතුරම, ඔවුන්ව තවදුරටත් පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් අසරණ කරන සේම ඔවුන්ට දිවි එපා කරවන ණය උගුල්වල සිර කරන නීති සම්මත වන්නේ නම්, ජනාධිපතිවරයා පවසන සිනාමුසු අනාගතය හුදෙක් තවත් දේශපාලන මායාවක්, ඇස්බැන්දුමක් පමණක් වනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ ජනාධිපතිවරයා පවසන පරිදි මනුෂ්‍යත්වයේ සන්නාමය ලොවට ගෙන යා හැක්කේ වේදිකාවල කෙරෙන මෙවැනි නිසරු වාගාලාපවලින් නොවන බවයි. සැබෑ ප්‍රතිසංස්කරණයකදී රාජ්‍ය බැංකු හරහා සහනදායී ණය ක්‍රම හඳුන්වා දීමත්, ජීවන මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමත් අත්‍යවශ්‍ය වේ. ජනාධිපතිවරයා කාන්තාවන්ගේ කඳුළු පිසලන බවට පොරොන්දු දෙන අතරතුරම, ඔවුන්ව තවදුරටත් පුද්ගල, පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් අසරණ කරන සේම ඔවුන්ට දිවි එපා කරවන ණය උගුල්වල සිර කරන නීති සම්මත වන්නේ නම්, ජනාධිපතිවරයා පවසන සිනාමුසු අනාගතය හුදෙක් තවත් දේශපාලන මායාවක්, ඇස්බැන්දුමක් පමණක් වනු ඇත.

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර