ගුණ යහපත් ගරා යකා


ලිංගිකත්වය, විනෝදාශ්වාදය සේම කෑදර බව පුරුෂාර්ථ බවට පත් කර ගත් නව ලිබරල් ආර්ථිකය මත පදනම් වන අධිපරිභෝජනවාදයට වඩාත්ම ගැලපෙන යකා කවුරුන් දැයි කිසිවකුගේ වෙතින් විමසුමක් යොමු වුවහොත් මා ඊට දෙන නියත හා පැහැදිලි පිළිතුරක් තිබේ. එනම් ‘ගරා යකා’ යන්න ය.
අප ජන සමාජයේ අන් කිසිදු යකකු තුළ දක්නට නොමැති නූතනය හා ගැලපෙන සුවිශේෂතා බොහොමයක් ගරා යකු කෙරෙන් දැකිය හැකි බව ඔහු හා සම්බන්ධ යාතු කර්ම විශ්ලේෂණය කළ මට මනාව ඒත්තු ගොස් තිබේ.

කඳ සුරිඳුන් තමන් සෙල්ල කතරගම වෙසෙන වල්ලි නම් වැදි යුවතිය විවාහ කර ගන්නා බැවින් එම විවාහ මංගල්‍යයට අනිවාර්යෙන් සහභාගී වන ලෙස පත්තිනි දේවතාවියට ඇරැයුම් කරනුයේ ඇය තම තමන් හා සම මට්ටමේ පසුවන්නියක වූ බැවිනි. එහෙත්, එම මංගල්‍යයට එක් වීමට පෙර ඒ සඳහා ඇති යෝග්‍යතාව විමසා බලන පත්තිනි දේවියට එය මස් මාළු ආදි කිළි කුණුවලින් බහුල උත්සවයක් බව ඇගේ දිව්‍ය ඥානයට පෙනී යයි. එබැවින් ඒ වන විට තම අත වැසි තනතුරේ හිඳිනා ගරා යකු කැඳවන ඇය ඔහු ගෙන් ඉල්ලා සිටිනුයේ තමන් එම මංගල්‍යයට එක් වන මොහොතේ එහි ඇති සියළු කිළි කුණු ඉවත් කර දෙන ලෙසය.

බටහිර සංස්කෘතියට අනුව යක්ෂයා පරම අයහපත නියෝජනය කරයි.ඒ අතින් බලන විට අපේ පෙරදිග යක්කු ඊට වඩා දහස් වාරයක් හොඳ ය. බුදු සමයට අනුව වුව යක්ෂ යනු මනුෂ්‍ය නොවන අද්භූත ජීවීන් කොටසකි. ඔවුන් අතර හොඳ, නොහොඳ දෙකොටසම සිටිය හැක. ප්‍රාකෘත භාෂවේ මෙම යක්ෂ යන්න යජ්ජ යනුවෙන් ව්‍යවහාර වන අතර එහි අරුත වනුයේ යැදීමට සුදුසු යන්න ය. බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධාන තැනක් හිමි කර ගන්නා ධෘතරාෂ්ඨ, විරූඪක, විරූපාක්ෂ, වෛශ්‍රවණ හෙවත් කුවේර යන සතර වරම් දෙවි වරු බෞද්ධ සාහිත්‍යය තුළ වෙසෙසින් කැපී පෙනෙති. බුදු සමයට රැකවරණ සළසන බව පැවසෙන ඔවුන් ද යක්ෂ සම්භවයකින් යුතු බව ජන සම්මතයයි. ලංකාවේ ආදිවාසීන් ලෙස සලකනු ලබන පිරිස් ඓතිහාසිකව යක්ෂ සම්භවයකින් යුතු වන අතර එම යක්ෂ සම්භවය සමන් දෙවියන් හට ද ආරෝපණය කොට ඇත. ඒ අනුව අප ගේ ජන සංස්කෘතිය තුළ යක්ෂයන් දෙවි දේවතාවන් සමඟ පුළුල් අධ්‍යාත්මික ධූරාවලියකට ඇතුළත් කර තිබේ. ඒ බව සනාථ වනුයේ අප ජන විශ්වාසයනට අනුව බිහිසුණුම හා බලගතුම යක්ෂයා වන මහසෝනා ද යාතු කර්ම වල දී “මහසෝන් දේවතා” ලෙසින් හැඳින්වීම ය.අප ගරා යකා පිළිබඳ මාතෘකාවට පිවිසිය යුත්තේ එතැනිනි.

සියල්ලට පළමුව ඉහත සඳහන් යකාට හිමි ‘ගරා’ නාමය පිළිබඳ විමසුමක් කරන විට පෙනී යනුයේ ඔහුගේ මුල් නාමය ‘ඝරා’ විය හැකි බව ය. සංස්කෘත භාෂාවේ එන ‘ඝර’ යන වදනින් ගෘහය හෝ කුටිය යන අදහස ද්වනිත වේ.
ඒ අනුව පැවසෙනුයේ මෙම සෙසු යකුන් පසෙක සිටිය දී මෙම ගරා යකා යනු ගෘහ ජීවිතය හා සම්බන්ධ ලෞකික අපේක්ෂාවන් හා ඍජුවම සම්බන්ධතා පවත්වන යක්ෂයකු බව ය. ‘‘ගරා යකා මිනිස්සුන්ට බොහොම හිතවත් යකෙක්. පවුල් ජීවිතවලට යහපත උදා කරන්න වගේම දරුවන් නැති බවලතුන් ගැබ්බර කරන්නත් ගරා යකාට පුළුවන්’ යන්න අතීත සමාජයේ තිබූ පොදු ජන පිළිගැනීමකි. එමෙන්ම සෙසු සියලු යකුන්ට සාපේක්ෂව ඉතා සතුටින් වෙසෙන හා ඉක්මනින් සහ පහසුවෙන් ප්‍රමෝදයට පත් කළ හැකි ගරා යකු වෙතින් මිනිසුන්ට පුද්ගල, පවුල්, ප‍්‍රජා සහ සමාජයීය වශයෙන් එල්ල වන සියලූ දොස් සමනය කරවාගෙන මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයේ සිට සමාජගත ජීවිතය දක්වා සතුට, සොම්නස, සෞභාග්‍යය උදාකර ගත හැකි බව ද ජන සම්මතයේ තිබේ. විශේෂයෙන් ගෘහ ජීවිතයට බලපාන ඇස් වහ කට වහ ඇතුළු වස් දොස් සේම කිලි කුණු ද ගරා යකු විසින් කා දමන බවට විශ්වාසයක් ද අප සමාජයේ ඇත. කතරගම සුරිඳුන් වල්ලි නම් වැදි තරුණිය විවාහ කරගැනීමට පෙර ‘‘ගමනා’’ ලෙසින් වැදි මඟුල් මඩුවට පිවිසි ගරා යකු එහි තිබූ කිළි වශයෙන් ගත හැකි සියලූ සත්ව කොටස් කා දමා එම විවාහයට පාරිශුද්ධත්වය උදාකර දුන් බවට ජනශ‍්‍රැතියක් තිබේ.

ඩේවිඩ් ජයවර්ධන

පත්තිනි දෙවඟන හා සම්බන්ධ දේශීය ජන ශ්‍රැතියක් වන එය අදටත් දකුණු පළාතේ යකැදුරන් අතර ප්‍රචලිත ය. බෙලිඅත්ත කුඩාහීල්ලේ විසූ ඩේවිඩ් ජයවර්ධන (සේරුගහහේනේ ලොකු මහත්තයා) ගෙන් මා අසා දැන ගත් එම පුරාවෘත්තය සැකෙවින් මෙසේ ය.
කඳ සුරිඳුන් තමන් සෙල්ල කතරගම වෙසෙන වල්ලි නම් වැදි යුවතිය විවාහ කර ගන්නා බැවින් එම විවාහ මංගල්‍යයට අනිවාර්යෙන් සහභාගී වන ලෙස පත්තිනි දේවතාවියට ඇරැයුම් කරනුයේ ඇය තම තමන් හා සම මට්ටමේ පසුවන්නියක වූ බැවිනි. එහෙත්, එම මංගල්‍යයට එක් වීමට පෙර ඒ සඳහා ඇති යෝග්‍යතාව විමසා බලන පත්තිනි දේවියට එය මස් මාළු ආදි කිළි කුණුවලින් බහුල උත්සවයක් බව ඇගේ දිව්‍ය ඥානයට පෙනී යයි. එබැවින් ඒ වන විට තම අත වැසි තනතුරේ හිඳිනා ගරා යකු කැඳවන ඇය ඔහු ගෙන් ඉල්ලා සිටිනුයේ තමන් එම මංගල්‍යයට එක් වන මොහොතේ එහි ඇති සියළු කිළි කුණු ඉවත් කර දෙන ලෙසය. ඒ අනුව පත්තිනි දෙවඟන පෙර එහි පිවිසීමට පෙර ගරා යකු එහි ඇති මස්, මාළු සහිත සියළු මසවුළු කා දමා ඒ අද්දර මහ මුහුදේ ගව් හතක ජලය එහි සිටි මසුන් ද සමඟ බීව් බවත් ඉන් කුස තුළ ඇති වූ දැවුම් ස්වභාවය දුරු කර ගැනීම පිණිස හාත් පස වූ හත් ගව්වක පොල් ගස් හත් දහසකින් වෑවර හෙවත් කුරුම්බා ගෙඩි හත් දහසක ජලය බිව් බවත් ගරා යක් යාතු කර්ම සම්බන්ධ ජන ප්‍රවාදයේ සඳහන් ය. ඒ කෙසේ කඳ සුරිඳුන් ගේ සහ වල්ලි මාතාවගේ විවාහය තමන්ට අවැසි ස්ථානීය පාරිශුද්ධිය ගරා යකු විසින් සපයා තිබූ බැවින් සතුටින් ඊට එක් වූ පත්තිනි දේවිය ගරා යකා ගෙන් ‘මල්ලියේ’ උඹට මේ මඟුල් ගෙදරින් යමක් කන්නට ලැබුණා දැ”යි ඇසූ බවත් එවිට ගරා යකා ‘අනේ අක්කේ; මට කන්න තියා බොන්න වතුර පොදක්වත් ලැබුණේ නැහැ’යි පවසමින් හඬ නඟා වැළපුණු බවත් පැවසෙයි. එවිට ඉන් මහත් කම්පාවට පත් පත්තිනි දෙවඟන තම මහානුභාව සම්පන්න සළුවෙන් තීරුවක් ඉරා ‘ඉඳා මල්ලියේ මේකෙන් ඔය කඳුළු පිහදා ගනින් කියා’ ගරා යකා අතට දී ඒ සමඟම ඔහුට විශේෂ පත්තිනි වරමක් දුන් බව ද ජන ප්‍රවාදයේ එයි. එනම් පත්තිනි දෙවඟන උදෙසා පවත්වන මඩු ශාන්ති කර්ම අවසානයේ ජනතාවගෙන් දොළ පිදේනි ගෙන ඔවුනට රැකවරණ සැලසීමේ අවස්ථාව ගරා යකු හට උදා කර දීම ය. මේ වන විටත් ගරා යකු අප සමාජය තුළ මෙතරම් ජනප්‍රිය ව ඇත්තේ එනිසා බවට ජන විශ්වාසයක් තිබේ.

දළ කුමාර නමින් දේවත්වයක් ද හිමි ගරායකුගේ උප්පත්ති කතාවට භාරතීය සම්භවයක් ආරෝපණය කොට තිබේ. ඊට සමාජය විසින් දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින ම්ලේච්ඡ දූෂණ ක්‍රියාවක් සම්බන්ධ ය. එම කතා ප්‍රවෘත්තිය සැකෙවින් මෙසේ ය.
දඹදිව දන්තපුරයේ රජකම් කළ රජුගේ පුත් සිංහ කුමාර රජුට සහ හංසවතී දේවියට ‘දළ’ නම් පුත් කුමරකු සහ දූ කුමරියක සිටියහ. නමුත් කෙදිනක හෝ මෙම දළ කුමරා තම එකම සොයුරිය, සංවාසයට පොළඹවා ගන්නා බව රාජකීය නිමිති බලන්නවුන් කී බැවින් එම මාපියෝ කුඩා කාලයේදීම එම කුමරිය මහ වනයේ ගල් ගුහාවක සිරකොට තැබූහ. එහෙත්, කෙමෙන් වයසින් වැඩෙන දළ කුමරුන්හට තම එකම සොයුරිය ගැන දැන ගන්නට ලැබී ඇය දැක ගැනීමට තමන් තුළ පවතින දැඩි ආශාව දෙමාපියන් හමුවේ කියා සිටියේය. නමුත් ඔවුන්ගෙන් ඒ සඳහා කිසිදු අවසරයක් හිමි නොවිණ. පසුව උපායශීලී ලෙසින් බොරු ලෙඩක් මවා පෑ දළ කුමරු තම දෙමාපියන් රවටා සිය නැගණිය හමුවූ අතර අතර නිමිති බලන්නවුන් පළ කළ අනාවැකිය ලෙසින්ම එම කුමරිය එවර දළ කුමරුන් වෙතින් දූෂණයට ලක් වූවා ය.

ඉන් මහත් චිත්ත පීඩාවට පත් කුමරිය ඇසල ගසක ගෙල වැළලා මිය ගිය මුත් එම ඛේදවාචකය දුටු සක් දෙවිඳුන් ඇගේ මළකඳ ශක්‍ර භවනයට ගෙන ගියේය. ඒ ඇය තම බඹසර වෙනුවෙන් කළ ජීවිත පූජාවට දක්වන උපහාරයක් ලෙසිනි. පසුව තම සොයුරියට කුමක් වූයේද යන්න නොදත් දළ කුමරුන් මුළු සක්වළ පීරමින් ඇය සොයන්නට විය. අවසානයේ ශක්‍ර දේවේන්ද්‍රයා විසින් කුමරියගේ මළ සිරුර දළ කුමරුන්ට පෙනෙන්නට සැලැස්වීය. ඉන්පසු ඉන් හටගත් චිත්ත පීඩාවෙන් ළය පැළී මියගිය දළ කුමරුන් දේවත්වයට පත් විය. එමෙන්ම එදා මෙදා තුර ඔහු ‘ගරා’ යන නමින් මිනිසුන්හට මුහුණ පෑමට සිදුවන ගෘහාශ්‍රිත ගැටලු, අර්බුද සමනය කරන්නට වූ බව ද පැවසෙයි. ගරායකු පෙර මෙන් කාමාතුරයකු නොවී කාමුකත්ව ලෝලී යකකු වීමට හේතුව හේතුව ඔහු තුළ වූ එම කාමුකත්වය මරණයත් සමඟ පහව ගිය නිසා බව ද සඳහන් ය.
අප ජන සමාජයේ ප්‍රචලිත වෙනයම් යාතු කර්මවලට සාපේක්‍ෂව ගරා යක් යාතු කර්මය මුළුමනින්ම පාහේ ලිංගිකත්වය හා හාස්‍යය පදනම් වූවකි. ඊට ආධ්‍යාත්මික අරුතක් එක්වනුයේ එහි අවසාන භාගයේ පමණි. එමෙන්ම ඒ සඳහා ශුද්ධ ස්ථානයක් අවශ්‍ය නොවන අතර රදා තොටේ දී හෝ පිළී තොටේ දී පුද පඬුරු බාර ගැනීමට වුව ඔහු සූදානම් බව ද පැවසෙයි. එමෙන්ම අප රටේ දකුණු පළාතේ මුහුදු කරයේ මත්ස්‍ය සම්පත හීන වූවිට “ගරා යකා මූද කාලා”යනුවෙන් පවසන එහි පාරම්පරික ධීවරයන් තොටුපළක ගරා යකුම පවත්වා තිබේ.

“ගරා යකා කුණුහරුප දෙපැත්ත කැපෙන වචන කියන එක වළක්වන්න මෙලෝ ජගතකුට බැහැ. නමුත් ගරායකා කියන්නේ වල් යකෙක් නම් නෙවෙයි. ඒකාගේ වල්කම් තියෙන්නේ වචනවල විතරයි” ගරා යකුගේ නිර්දෝෂීත්වය පළ කිරීම පිණිස කැපවී සිටින ඇදුරන් එලෙස පවසනුයේ අසත්‍යයක් නොවේ. එහෙත් තටුවේ ඇති කැවුමක් සහ කෙසෙල් ගෙඩියක් අතින් ගෙන අයිලයට නගින ගරා යකා පුරුෂ හා ස්ත්‍රී ප්‍රජජනේන්ද්‍රියන් බව අඟවමින් ඒවා එකි`නෙක ගටමින් පවසන ස්ත්‍රී පුරුෂ කාම සම්භෝගය සම්බන්ධ කතා ප්‍රසිද්ධියේ අසා සිටීමේ අසීරුවක් පවතී. නමුත් ඒවා දැක බලාගනිමින් අසා ගන්නා ස්ත්‍රී පුරුෂ සැමගේ සියොළඟ කිති කැවීම මත ඔවුන් තුළ පවත්නා මොළයේ ජෛව රසායනික විෂමතා පහවී එමඟින් එතෙක් පැවති මානසික අර්බුද දුරු වීමේ පහසු අවකාශයක් තිබේ. ඒ කෙසේ හෝ ගරා යනු හුදු අහිංසකයකු මිස වල් යකකු නොවන බවත්, මෙරට ජනතාව තුළ ගරා සම්බන්ධයෙන් යම් ආදරයක්, අනුකම්පාවක් ඇති බවත්, වර්තමාන මධ්‍යම පාන්තික නිවාස ඉදිරියේ පවා එල්ලා ඇති ගරායක් මුහුණුවලින් මනාව සනාථ වෙයි. මෙය ගෘහ සැරසිල්ලක් සේම ඇස් වහ කටවහ නිවාරකයක් ද වෙයි.
වර්තමාන සමාජයීය කෝණයක සිට බලන විට මෙම ගරා යක් ශාන්ති කර්මය අසභ්‍ය ස්වරූපයක් ගන්නා බව නිසැක ය. එහෙත් මා විශ්වාස කරනුයේ එහි ඉතා ප්‍රබල නොවිධිමත් මනෝ චිකිත්සක අගයක් පවතින බව ය.

මෙරට ශාන්ති කර්ම අතුරින් ලිංගිකත්වය සහ ශෘංගාරය මුසුවූ මෙම ගරා යකුම ශාන්ති කර්මය කාන්තාවන්ගේ වඳ දෝෂ පවා දුරලීමට සමත් වන බවට ජන විශ්වාසයක් තිබේ. කාන්තාවන් තුළ කාමරාගය හෙවත් ලූබ්ධතාව (Libido) ප‍්‍රවර්ධනය වීම ශරීරයේ හෝමෝන ක්‍රියාවලිය හා ඍජුවම සම්බන්ධ වෙයි.යක් ශාන්ති කර්මවල දී වේගවත් ව පිබිදෙන හැඟීම් ආවේග අතරට බිය සේම ලිංගික සංවේදීතා ද අයත් වෙයි. ගරා යකුගේ කායික ශක්තිය මත පදනම් වූ රංගන විලාසයෙන් ඔහුගේ පුරුෂ ශක්තිය සංකේතනය වෙයි. එමෙන්ම ඔහුගේ ‘‘අයිලය පැදීම’’ නම් චලන ක්‍රියාවලිය ලිංගික සම්භෝගයක් සංකේතය කර වන්නකි.

ඒ කෙසේ හෝ මෙරට ශාන්ති කර්ම අතුරින් ලිංගිකත්වය සහ ශෘංගාරය මුසුවූ මෙම ගරා යකුම ශාන්ති කර්මය කාන්තාවන්ගේ වඳ දෝෂ පවා දුරලීමට සමත් වන බවට ජන විශ්වාසයක් තිබේ. කාන්තාවන් තුළ කාමරාගය හෙවත් ලූබ්ධතාව (Libido) ප‍්‍රවර්ධනය වීම ශරීරයේ හෝමෝන ක්‍රියාවලිය හා ඍජුවම සම්බන්ධ වෙයි.
යක් ශාන්ති කර්මවල දී වේගවත් ව පිබිදෙන හැඟීම් ආවේග අතරට බිය සේම ලිංගික සංවේදීතා ද අයත් වෙයි. ගරා යකුගේ කායික ශක්තිය මත පදනම් වූ රංගන විලාසයෙන් ඔහුගේ පුරුෂ ශක්තිය සංකේතනය වෙයි. එමෙන්ම ඔහුගේ ‘‘අයිලය පැදීම’’ නම් චලන ක්‍රියාවලිය ලිංගික සම්භෝගයක් සංකේතය කර වන්නකි. ගරා යකා ගේ කාය බලය, රංගනය සේම ඔහු ගේ ලිංගිකත්වය මුසු අසභ්‍ය සන්නිවේදනයන් ද මනැස තුළට ග‍්‍රහණය කරගන්නා කාන්තාවන් තුළ මනෝ ජෛවමය ප‍්‍රබෝධයක් හට ගැනීමටත් එමඟින් එතෙක් පැවැති හෝමෝන විෂමතා බිඳ වැටී ඊස්ට‍්‍රජන් වැනි ලිංගික හෝමෝන ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටත් යම් හැකියාවක් තිබේ. මඳ සරු කතුන් ගැබ් ගැන්වීමට ගරා යකාට ඇති හැකියාව පිළිබඳව අපගේ අවධානය යොමු විය යුත්තේ ඒ අනුව ය. මඳ සරු භාවය ජෛවමය සංසිද්ධියක් වුවද ඇතැම් විට ඊට මනෝමය සාධක ද ඉවහල් වෙයි. නමුදු මෙබඳු යාතු කර්ම මඟින් ලිංගිකත්වය මුසු හාස්‍යයන් එළිදැක්වීම මුල්කොට එවන් මනෝමය ව්‍යාකූලතා දුරුවේ නම් එමඟින් එම කාන්තාවන්ගේ ලිංගික හෝමෝන ක්‍රියාවලිය යථාවත් කිරීමට ඇති හැකියාව තර්කානුකූලව බැහැර කළ නොහැකිය.
කෙසේ හෝ ලොව බොහෝ සංස්කෘතීන්හි සේම අප ජන සංස්කෘතියේ ද ලිංගිකත්වය යනු සශ්‍රීකත්වය සහ සෞභාග්‍යය සංකේතය කෙරෙන්නක් බැවින් ගරා යකුමේ ඇති මෙබඳු අංග කෙරෙහි පොදු ජන විරෝධයක් එල්ල වන බවක් ද නොපෙනෙයි.

එහෙත් මිනිසුන්ගේ චිත්තභ්‍යන්තරයන් හි නිදි ගැන්වී ඇති ලිංගිකත්වය, ප‍්‍රචණ්ඩත්වය සහ භීතිය යන මූලික සත්ව ආවේගයන් පුබුදුවා පෞරුෂ, පවුල්, ප‍්‍රජා සහ සමාජ යන සාධක මත භාව විෂමතාවයනට පත් වූවන්ගේ භාවයන් සමතුලිත කෙරෙන මෙබඳු ශාන්තිකර්ම නැරඹීම බාලයන් විසින් නොකළ යුතු බවට ආකල්පයක් වික්ටෝරියානු සුචරිතවාදය පදනම් ව පසුගිය යටත් විජිත සමය තුළ මෙරට බටහිර අධ්‍යාපනය ව්‍යාප්ත වීමත් සමඟ පැතිර යන්නට විය. කිරිඳිවැල කනිටු විදුහලේ ඇම්. ඇල්. සිල්වා නම් ගුරු භවතෙකු විසින් 1885 රචනා කරන ලදුව 1909 වසරේ සිට ප‍්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව මගින් පාසල් සිසුන්ගේ භාවිතයට ගෙන ඇති සුප්‍රකට ‘සිරිත් මල්දම’ කාව්‍ය සංග‍්‍රහයෙහි එන 17 වන මෙම පද්‍යය ඊට කදිම නිදසුනකි.

නාඩගම් බැලූමට
විහිළු කෝලම් බැලූමට
යක් තොවිල් බැලූමට
නොයෙන් නොහොබින එවැනි තැනකට

මෙම සිරිත් මල්දම පාසල් සහ පිරිවෙන් සිසුන්ගේ අතිරේක කියැවීම් පොතක් ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කරන ලදුව එය අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශනයක් ලෙස 1995 වසරේ සිට 2015 තෙක් පස් වතාවක්ම මුද්‍රණය කොට ප‍්‍රකාශයට පමුණුවා ඇත.නමුත් එම යටත් විජිත චින්තනය මැඩ අදත් ගරා යකා අප සමාජයේ යෙහෙන් වැජඹීම සම්බන්ධයෙන් මා තුළ ඇත්තේ සියුම් සතුටකි.

තිලක් සේනාසිංහ (සිළුමිණ පුවත් පත)

උරුමයක අසිරිය