ගෝඨා ගොවීන්ට කළ දේ මාලිමා ආණ්ඩුවෙන් ධීවරයන්ට?

අප රටේ ධීවර කර්මාන්තය හා සබැඳි මාදැල් ඇදීම පිණිස ශ්‍රමිකයන් හිඟවීම මුල් කොට, ඒ සඳහා ආදේශ කර ඇති විකල්පය වන ට්‍රැක්ටර්වලට සවි කළ වින්ච් (Winch) භාවිතයෙන් කරනු ලබන මාදැල් ඇදීම පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් පසු නතර කළ යුතු බවට රජය සිදු කොට ඇතැයි පැවසෙන ප්‍රකාශයක් නිසා මේ වන විට අර්බුදයක් පැනනැඟී තිබේ. ඒ වෙනුවෙන් පසුගියදා ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වූ අතර කල්පිටිය, මුලතිව්, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක මාදැල් හිමියන් සහ ධීවරයන් ඉකුත් 05 වන දා සිට කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ද අරඹා තිබේ.

ඒ අනුව මේ වන විට රට පුරා 900කට ආසන්න මාදැල් ප්‍රමාණයක් අක්‍රිය වී ඇති අතර ඊට සම්බන්ධ පිරිස් සිය කර්මාන්තය කරගෙන යාමට නොහැකිව විරෝධතා පළ කරමින් මහපාරට පැමිණ ඇතැයි පැවසේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් මේ දක්වා ජනපති අනුර කුමාර දිසානායක මෙම විරෝධතාකරුවන්ට සාකච්ඡාවක් ලබා දී නැතැයි පවසන මාදැල් ධීවරයන් පෙන්වා දෙන්නේ, තමන් දිවයින පුරා මාදැල් කර්මාන්තයෙන් ඉවත් වීම මුල් කොට රටේ මත්ස්‍ය අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු වී ඇති බවකි. එමෙන්ම මේ වන විට වෙළෙඳපොළට එන මාදැල් මාළු ප්‍රමාණය අඩු වීම මත ඉදිරියේ දී පොදුවේ මාළු මිල ඉහළ යාමේ අවදානම ද ඔවුහු පෙන්වා දෙති.

නමුත් ධීවර නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මහින්ද අමරවීර සහ දිලිප් වෙද ආරච්චි යන කලින් සිටි ධීවර ඇමැති සහ උප ඇමැතිවරුන් මාදැල් කර්මාන්තයට යාන්ත්‍රික මෙවලම් එක් කර ගැනීමට අවසර ලබා දී ඇත්තේ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන නිසි විමර්ශනයකින් තොරව බව ය. එය මුහුදු පතුල පීරන ට්‍රෝලර් මසුන් ඇල්ලීමකට (Bottom Trawling) සමාන බවක් නියෝජ්‍ය ඇමැතිවරයා පවසා තිබේ. Bottom Trawling යනු බෝට්ටුවක් හෝ නැවක් මඟින් මුහුදු පතුල පීරන දැලක් ඉදිරියට ඇදගෙන යාමකි. නමුත් හිටපු ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට එලෙස චෝදනා කරන රත්න ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරයා තමන් මෙම සැසඳීම කොට ඇත්තේ කුමන විද්‍යාත්මක වාර්තාවක් පදනම් කොට ගෙන දැයි පවසා නැත. ඔහු එහි දී පවසා ඇත්තේ හිටපු ඇමැතිවරුන් ඒ ඔස්සේ අහිංසක ධීවරයන් Bottom Trawling ක්‍රමයට කොටු කර ඇති බවකි.

ට්‍රැක්ටරයකට සවි කරන ලද වින්ච් උපකරණය යොදා සිදු කරන මාදැල් ඇදීම නිසා මුහුදට හානි සිදුවන බවට ධීවර බලධාරීන් සඳහන් කරනුයේ තමන්ගේ මනෝරාජික උපකල්පනයක් මත පදනම්ව වන අතර, එවැනි කිසිදු හානියක් සිදු නොවන බව සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සංගමයේ සභාපති ජෝසප් ලෝව් පවසා තිබේ. නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනුයේ, මෙය අප රටේ ධීවර කර්මාන්තය හා සබැඳි තත්ත්වයක් යථාවත් කිරීමක් මිස නව නීති පැනවීමක් නොවන බව ය.

මේ අතර එම මාදැල් ධීවරයන් ධීවර අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර, ඔවුන්ට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාව හිමි ව ඇති මුත් එම ධීවරයින් සඳහන් කොට ඇත්තේ එම සාකච්ඡාවේදී කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බවයි. මේ අතර මාදැල් ධීවරයන්ගේ ගැටලුව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔවුන් හමු වී තිබේ.

ට්‍රැක්ටරයකට සවි කරන ලද වින්ච් උපකරණය යොදා සිදු කරන මාදැල් ඇදීම නිසා මුහුදට හානි සිදුවන බවට ධීවර බලධාරීන් සඳහන් කරනුයේ තමන්ගේ මනෝරාජික උපකල්පනයක් මත පදනම්ව වන අතර, එවැනි කිසිදු හානියක් සිදු නොවන බව සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සංගමයේ සභාපති ජෝසප් ලෝව් පවසා තිබේ. නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත පවසනුයේ, මෙය අප රටේ ධීවර කර්මාන්තය හා සබැඳි තත්ත්වයක් යථාවත් කිරීමක් මිස නව නීති පැනවීමක් නොවන බව ය.

1984 නියෝග මාලාවට අනුව මාදැල් කර්මාන්තය යනු යාන්ත්‍රික ක්‍රියාකාරකම්වලින් තොරව මිනිස් ශ්‍රමය පමණක් භාවිත කරමින් සිදු කළ යුතු සාම්ප්‍රදායික රැකියාවක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. දිවයිනේ ක්‍රියාත්මක මාදැල් 827න් අති බහුතරයක්, විශේෂයෙන් දකුණු පළාතේ ධීවරයන්, අදටත් ගැටලුවකින් තොරව මිනිස් ශ්‍රමයෙන් සාම්ප්‍රදායිකව මාදැල් කර්මාන්තයේ නිරත වන බව ද ඔහු පවසයි. එමෙන්ම වින්ච් යන්ත්‍ර සහ ට්‍රැක්ටර් භාවිතය හේතුවෙන් මේ වන විට පාරිසරික හා සමාජීය ගැටලු පැනනැඟී ඇති බව ද ඔහු අවධාරණය කරයි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, නියමිත ප්‍රමාණයට වඩා දිගු දැල් සහ අධික බරැති බරු යෙදීම හේතුවෙන් මුහුදු පතුල සූරාගෙන යාමෙන් කොරල්පර සහ මත්ස්‍ය අභිජනන ස්ථාන විනාශ වන බවකි. එමෙන්ම වෙරළ තීරයේ බර යන්ත්‍ර භාවිතයෙන් වෙරළ ඛාදනය සහ වෙරළ පරිසර පද්ධති විනාශ වන බවත්, යාන්ත්‍රික බලය යොදා මාදැල් ඇදීමට නියමිත සීමාව ඉක්මවා විශාල මුහුදු ප්‍රදේශයක් වට කිරීම හේතුවෙන් කුඩා ධීවර යාත්‍රා හිමියන්ට සහ වෙනත් ධීවරයින්ට රැකියාවේ නිරත වීමට බාධා ඇති වන බව ද දෙපාර්තමේන්තුවේ ස්ථාවරයයි.

ඒ හේතුවෙන් ගොඩබිම ආසන්න මුහුදු කලාපයේ කුඩා ධීවර යාත්‍රා මඟින් ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉදිරියේ දී අඩු වීමේ හැකියාව පිළිබඳව ද පෙන්වා දෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නවීන තාක්ෂණය භාවිත කරන බව පවසමින් සිදු කරන්නේ නීති විරෝධී සහ පරිසර විනාශකාරී ක්‍රියාවක් වන බවත්, මේ නිසා සාම්ප්‍රදායික මාදැල් කර්මාන්තයත් සමුද්‍රීය සම්පතත් රැක ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව ද අවධාරණය කරයි. ඒ හේතුවෙන් අනෙකුත් ධීවරයින්ට හෝ පරිසරයට හානි නොවන පරිදි, නීත්‍යානුකූල රාමුව තුළ හිඳිමින් මාදැල් කර්මාන්තයේ නිරත වන ලෙස දෙපාර්තමේන්තුව සියලු මාදැල් හිමියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

නමුත් එම අදහස පිළිනොගන්නා සමස්ත ලංකා මාදැල් කර්මාන්තකරුවන්ගේ සමුපකාර සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ, මාදැල් කර්මාන්තය සඳහා යොදා ගන්නා ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය නීතිගත කිරීමට හෝ ඒ සඳහා විකල්පයක් හඳුන්වා දීමට රජය කටයුතු නොකළහොත් ඉදිරියේදී මාදැල් ඇදීම පිණිස ශ්‍රමිකයන් නොමැති වීමෙන් එම කර්මාන්තය කඩා වැටීම පාලනය කළ නොහැකි බවකි.

පසුගිය කාලයේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා මාදැල් කර්මාන්තකරුවන්ගේ සමුපකාර සමිතියේ ලේකම් දිල්රුක් ප්‍රනාන්දු මෙසේ පවසා තිබේ: “මේ වන කොට අපේ රට තුළ මාදැල් 889ක් ලියාපදිංචි කරලා තියෙනවා. මෙම මාදැල් ආශ්‍රිතව සෘජුව සහ වක්‍ර ලෙස පවුල් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඉස්සර මාදැලක් මුහුදේ ඉඳලා ගොඩට ඇද්දේ මිනිස් ශ්‍රමය භාවිතා කරලා. ඒත් ලෝකය දියුණු වෙන කොට අපිත් ඒ සමඟ ඉදිරියට යා යුතුයි. ඒ නිසා මාදැල් ඇදීම සඳහා ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය මීට වසර 15කට පමණ පෙර හඳුන්වා දුන්නා. මෙම යන්ත්‍රය භාවිතා කිරීම තුළින් පහසුවෙන් වගේම ඉක්මනින් මාදැලක් මුහුදේ සිට ගොඩබිමට ඇදගන්න පුළුවන්. මේ ආකාරයට යන්ත්‍ර යොදාගෙන මාදැල් ඇදීම කරන්නේ අපි විතරක් නෙවෙයි; පෘතුගාලය, ඉන්දියාව වැනි රටවලත් කරනවා.”

එහි දී සමස්ත ලංකා මාදැල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති ජෝසප් ලෝව් අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ: “මමත් අවුරුදු ගාණක් මාදැල් කර්මාන්තයේ නිරත වෙන කෙනෙක්. මාදැල් නිසා අලුත් මාළු අඩු මිලකට පාරිභෝගිකයාට ලබාගන්න අවස්ථාව තියෙනවා. නමුත් මේ ආකාරයට මාදැල් සඳහා යොදාගන්නා යන්ත්‍ර එකපාරටම තහනම් කරන්න ගියහොත් මොකද වෙන්නේ? මුහුද අයිති ධීවරයාට මිස අමාත්‍යාංශයට නෙමෙයි. අමාත්‍යාංශය කරන්න ඕනේ ධීවරයාට අලුත් ක්‍රමවේද හඳුන්වා දෙමින් කර්මාන්තය වැඩි දියුණු කරන්න කටයුතු කරන එකයි. ඒ සඳහා සහාය දෙන්න අපි ඕනෑම වෙලාවක සූදානම්. නමුත් මේ ආකාරයට එකපාරටම ධීවර කර්මාන්තය බිඳ වැටෙන තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කරන්න යනවාට අපි විරුද්ධයි.”

මේ අතර මාදැල් ඇදීම සඳහා ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය නිෂ්පාදනය කළ මීගමුවේ ජෝසප් පීටර් ප්‍රනාන්දු ද එහි දී මෙලෙස අදහස් දක්වා තිබේ: “මම මේ යන්ත්‍රය හදපු වෙලාවේ නාරා ආයතනය ඇතුළු තවත් ආයතන ගණනාවක් ඇවිත් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළා. නමුත් ඒ අය යන්ත්‍රයේ තියෙන අඩුපාඩු පෙන්වා දීමක් හෝ නවීකරණය කළ යුතු කිසිවක් ගැන කතා කළේ නැහැ. නමුත් දැන් එකපාරටම කියනවා ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය භාවිතා කරලා මාදැල් ඇදීම තුළින් මුහුදේ ඉන්න මත්ස්‍ය සම්පත විනාශ වෙනවා, පරිසරයට හානි වෙනවා කියලා. අපි අහන්නේ අවුරුදු පහළොවක් තිස්සේ මේ නොදැකපු විනාශයක් දැන් එක පාරටම දකින්නේ කොහොමද කියන එකයි.”

මේ අතර මාදැල් ඇදීම සඳහා ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය නිෂ්පාදනය කළ මීගමුවේ ජෝසප් පීටර් ප්‍රනාන්දු ද එහි දී මෙලෙස අදහස් දක්වා තිබේ: “මම මේ යන්ත්‍රය හදපු වෙලාවේ නාරා ආයතනය ඇතුළු තවත් ආයතන ගණනාවක් ඇවිත් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළා. නමුත් ඒ අය යන්ත්‍රයේ තියෙන අඩුපාඩු පෙන්වා දීමක් හෝ නවීකරණය කළ යුතු කිසිවක් ගැන කතා කළේ නැහැ. නමුත් දැන් එකපාරටම කියනවා ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය භාවිතා කරලා මාදැල් ඇදීම තුළින් මුහුදේ ඉන්න මත්ස්‍ය සම්පත විනාශ වෙනවා, පරිසරයට හානි වෙනවා කියලා. අපි අහන්නේ අවුරුදු පහළොවක් තිස්සේ මේ නොදැකපු විනාශයක් දැන් එක පාරටම දකින්නේ කොහොමද කියන එකයි.”

එමෙන්ම මුලතිව්හි මාදැල් ධීවර කාර්මිකයෙකු ලෙස කටයුතු කරන ධනුක පීරිස් එහි දී දක්වා ඇත්තේ මෙබඳු අදහසකි: “‘ට්‍රැක්ටරයට සවි කරන වින්ච් යන්ත්‍රය’ මාදැල් කර්මාන්තය සඳහා යොදා ගැනීම තුළින් මුහුදට හෝ වෙරළට හානියක් වෙන්නේ නැහැ. ඒක නිකම් මවාගත්තු හිතලුවක් විතරයි. මුහුදු වෙරළ ඛාදනය වෙන්නේ අධික ලෙස ගංගාවලින් වැලි ගොඩදැමීම හින්දයි. ඒ බව විශේෂඥයින් පවා පිළිඅරගෙන තියෙනවා. පුල්මුඩේ මුහුදු වෙරළ තීරයෙන් දවසකට ඛනිජ වැලි කොච්චර නම් ප්‍රමාණයක් ගන්නවාද? එතකොට වෙරළට අවශ්‍ය වන වැලි තවත් තැනක් ඛාදනය කරමින් මුහුද ඇද ගන්නවා. ඒක ස්වාභාවිකව සිද්ධ වෙන දෙයක්. එහෙම නැතිව මාදැල් අදින්න යන්ත්‍රයක් යොදා ගත්තම මුහුදු වෙරළ ඛාදනය වෙනවා කියන එක නම් පට්ට පල් බොරුවක්.”

මෙහි ඉහත සඳහන් කළ Bottom Trawling (මුහුදු පතුල පීරන ට්‍රෝලර්) ක්‍රමය ලෝකය පුරා දැඩි කතාබහට සහ විවේචනයට ලක්ව ඇත්තේ පරිසරයට සිදු කරන හානිය නිසා ය. බරැති දැල් පතුල සූරමින් ඇදී යාම නිසා වසර දහස් ගණනක් පැරණි කොරල් පර, මුහුදු පැලෑටි සහ සාගර ජීවීන්ගේ නිවහන් සම්පූර්ණයෙන්ම විනාශ වී යාම සේම මෙම ක්‍රමය මඟින් අපේක්ෂිත මසුන්ට අමතරව අනවශ්‍ය ජීවීන් හසුවීම (Bycatch) ද බරපතල තත්ත්වයකි. ඉබ්බන්, කුඩා මසුන් සහ අනෙකුත් මුහුදු ජීවීන් විශාල වශයෙන් දැලට හසු වී මිය යන අතර බොහෝ විට මෙලෙස හසුවන ජීවීන්ගෙන් 80%-90%ක්ම නැවත මුහුදට දමන්නේ මියගිය පසුවයි. මීට අමතරව මුහුදු පතුලේ ඇති මඩ සහ රොන්මඩ මතුපිටට ඒම නිසා ජලය බොර වන අතර, එය හිරු එළිය පතුලට ගලා යාමට බාධා පමුණුවයි. මෙම තත්ත්වයන් මත ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ Bottom Trawling සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. විශේෂයෙන්ම ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට පැමිණ මෙම ක්‍රමය භාවිතා කිරීම නිසා උතුරේ ධීවරයන්ගේ දැල් විනාශ වීම සහ මත්ස්‍ය සම්පත වේගයෙන් අඩු වීම විශාල භූ දේශපාලනික සහ ආර්ථික ගැටලුවක් බවට පත්ව තිබේ.

නමුත් ධීවර නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇති අන්දමට, ඉහත සඳහන් ට්‍රැක්ටර්වලට සවි කළ වින්ච් (Winch) භාවිතයෙන් කරනු ලබන මාදැල් ඇදීම එපමණකටම හානිකර ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු විද්‍යාත්මක විමසුමක් කොට නොමැති බව අපගේ වැටහීම ය. නමුත් එම ක්‍රමයෙන් අනවශ්‍ය ජීවීන් හසුවීම, කොරල් පර, මුහුදු පැලෑටි සහ සාගර ජීවීන්ගේ නිවහන් සම්පූර්ණයෙන්ම විනාශ වී යාම ආදිය බරපතල අයුරින් සිදු නොවන බව ඒ සම්බන්ධ ස්ථානීය විමර්ශනවලදී අපට වැටහී තිබේ. එමෙන්ම එවන් විශේෂිත අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් ධීවර පරීක්ෂකවරුන්ගේ වාර්තාවල ද සඳහන් ව ඇති බවක් ද අපි නොදනිමු.

කෘෂිකර්මයේ දී අධි මාත්‍රාවෙන් කෘත්‍රිම පොහොර සහ පළිබෝධ නාශක යෙදීමෙන් මිනිසාට බරපතල විපත් ඇති විය හැකි බව පොදු පිළිගැනීමකි. ඒ තත්ත්වය යටතේ අප රටේ කෘෂි විද්‍යාඥයන් කෘෂිකර්මය නොදන්නා බව මාධ්‍ය හමුවේ කී දොස්තර වෘත්තීය සමිති ලොක්කකුගේ බහකට අවනතව, ශ්‍රී ලාංකේය කෘෂිකර්මය ක්ෂණිකව කාබනිකකරණය කිරීමට ගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට සිදු වූයේ කුමක් ද? එය මුල් කොට පැනනැඟුණු ජනතා විරෝධයට මුහුණ දීමට නොහැකිව බලය අතහැර ජනපති මැදුරේ පස්ස දොරින් පලා යාමට ය.

ඒ අනුව කවර හෝ හොඳ දෙයක් වුව නරකට කිරීම ද බරපතල අහිතකර ප්‍රතිඵල ලබා දෙන්නක් බව අප රටේ මෑත දේශපාලන ඉතිහාසය අපට උගන්වා තිබේ. එබැවින් ට්‍රැක්ටර්වලට සවි කළ වින්ච් (Winch) භාවිතයෙන් කරනු ලබන මාදැල් ඇදීම සම්බන්ධයෙන් ද නිසි ගවේෂණ සිදු කොට සැමට පිළිගත හැකි අන්දමේ විද්‍යාත්මක වාර්තාවක් පිළියෙල කරනු වෙනුවට, රසායනික පොහොර අත්හිටුවීමෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ගොවීන්ට සිදු කළ අනර්ථය වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මෙවන් පටු තීරණ මඟින් ධීවරයන්ට සිදු කළ හොත්, ඔහුට සේම වත්මන් මාලිමා ආණ්ඩුවට ද එබඳු ඛේදනීය ඉරණමක් අත් නොවනු ඇතැයි කිව හැක්කේ කාට ද?

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර