ජනපති රනිල් රැජින ගේ අවමඟුලට එක් වීම වරදක් ද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම අනවශ්‍ය දෙයක් ලෙස බොහෝ පිරිසක් අදහස් පළකර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ ජනක අදිකාරී සහෝදරයා සමච්චලයෙන්ද ජනබලවේගය නියෝජනය කරන රවී සිරිවර්ධන සහෝදරයා එය අනවශ්‍ය වියදමක් ලෙසද සටහන් පළකර තිබුණා.මේකට කතා කිහිපයක් කියන්න පුළුවන්.

අපිට කවරාකාර හෝ සම්බන්ධයක් තිබූ කෙනෙක් මැරුණම එහි යන එක අපේ සිරිතක්. ඒ වෙලාවේ අතේ මිටේ සල්ලි නැත්නම් ඉල්ලගෙන හරි යනවා. ඒක යුතුකම් දන්න මිනිස්සු කරන දෙයක්. අනෙක රනිල් වික්‍රමසිංහ මහතා රැජිනට අවසන් ගෞරව දැක්වීමට යාම හුදු පෞද්ගලික කාරණයක් නොවෙයි. බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ සහ රජයේ ආරාධනා අනුවයි එම සහභාගීත්වය සිදුවන්නේ. ඔවුන් රුසියාව, බෙලරුසියාව, සිරියාව, ඉරානය, උතුරු කොරියාව, වෙනිසියුලාව, මියන්මාරය, ඇෆ්ගනිස්තානය යන රටවල නායකයන්ට ඇරයුම් කළේ ද නැහැ.

එවැනි වටපිටාවක පසුගිය සමයේ ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයට මේ ආරාධනාව ලැබීම එක්තරා ආකාරයකට රටක් හැටියට ජයග්‍රහණයක්.එමෙන්ම ආරාධනා ලැබ මේ අවස්ථාවට සහභාගී නොවූයේ චීන ජනාධිපතිවරයා පමණයි. චීනයට කළ හැකි දේ ලංකාවට ද කළ හැකි යැයි සිතන්නේ නම් එය වත්මන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පර්යාය තුළ හිතළුවක් පමණයි.

එළිසබත් රැජිනගේ අවමංගල්‍යය ගැන විවිධ කෝණයන්ගෙන් බලා කවර විවේචන ඉදිරිපත් වුව ද එයත් ලොව දේශපාලන සබඳතාවල එක පැතිකඩක් කියාපානවා. ශ්‍රී ලංකාවට එම ආරාධනාව නොලැබීම හෝ ලැබී සහභාගී නොවීම කියන්නේ බ්‍රිතාන්‍යය රජ පවුල ලංකාව එක්ක තරහ වෙනවා කියන එක පමණක් නොවෙයි. දැඩි ආර්ථික අර්බුදයක ගිලී සිටින අවස්ථාවක වගේම රටේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සාකච්ඡා කෙරෙන වෙලාවක ලෝකයා හමුවේ තවත් “මුරණ්ඩු කාරයෙක්” ලෙස හංවඩු ගැසීමට එය හේතුවක් වීමට තිබුණා.

ඒ අනුව මේ ඇරයුම් ලැබීමම වැදගත් අතර අරගලය උග්‍ර ස්ථානයක තිබුණේ නම් නිත්‍ය ලෙසම මේ ආරාධනය නොලැබෙන්නත් ඉඩ තිබුණා. එනිසා බ්‍රිතාන්‍යය රජ පවුල වගේම රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවත් එක්ක ඇති කෝන්තරයක් සිතෙහි දරාගෙන මේ සංචාරය දෙස බලන එක එතරම් හොඳ මදි. අනෙක් අතට කිනම් රාජ්‍ය නායකයෙක් මහා බ්‍රිතාන්‍යයට පය ගැසුවද විරෝධය දක්වන දෙමළ ඩයස්පෝරාව පවා මෙවර නිහඬවීමත් විශේෂත්වයක්.

මහින්ද රූබසිංහ (ලන්ඩනයේ සිට )

එතෙර - මෙතෙර