හොඳින් වචන හසුරුවමින් සිටි අවුරුදු තුනක දරුවකු හිටිහැටියේම මුළුමනින්ම කතා බහ නතර කර තිබිණි. එම දරුවා මා වෙත රැගෙන විත් තිබුණේ මෙසේ එක්වරම ගොළු වීම නිසා ය. මෙය වෛද්‍ය විද්‍යාවේ ස්වඡන්ද මුඛතාවය (Elective Mutism) ලෙස හඳුන්වයි.
එම මවුපිය දෙදෙනා සමඟ සෑහෙන දුරට කතාබහ කරද්දී සිදු වී ඇති දේ පැහැදිලි වුණි. ඒ වන විට ළදරු පාසල් අධ්‍යාපනය ලබමින් සිටි එම දරුවාට හෝඩිය කටපාඩම් කරවීමට පසුගිය කාලය තුළම වැඩිහිටියන් මහත් ප්‍රයත්නයක් දැරූ බව දැනගත හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ හෝඩිය කියවීම පමණක් නොව දරුවාගේ කතා කිරීමේ හැකියාව පවා අහිමි ව යාම ය. මෙය කාංසා රෝගයට සම්බන්ධ මානසික අර්බුදයකි.
දරුවන්ට මේ වනවිට ළදරු පාසල් වියේ සිටම අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින බර, තවත් ආකාරයකින් පැවසුවහොත් දරුවන් දැඩි ලෙසම කුඩා කාලයේ පටන් අධ්‍යාපනයට යොමු කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජාතික මට්ටමින්ම ළමා සෞඛ්‍යයෙහි පිරිහීමක් පැහැදිලිවම දක්නට ලැබේ. මෙය ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි එක් උදාහරණයකි.
බෝවන රෝගයක් වැළඳුණු දරුවකු අතීතයේදී නම් ඉතා හොඳින් සුවවන තුරු පාසල් යැව්වේ නැත. නමුත් වර්තමානය වනවිට අධ්‍යාපන කටයුතු පාඩු වන බව කියමින් යන්තමින් සුවයක් ලද සැණින් දරුවා පාසල් යැවීමට මව්පියෝ පෙළඹෙති. මේ නිසාම වසංගත රෝග පැතිරීමේ සම්භාවිතාව වැඩි වෙයි. අනෙක් අතින් බලන කල ඩෙංගු වැනි රෝගවල දී රෝග ලක්ෂණ පහවන්නටත් පෙරම දරුවන් පාසල් යැවීම නිසා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇතැම් විට මාරාන්තික තත්ත්වයට පවා එළඹෙන්නට ඉඩ ඇත. මේ කරුණු දෙකම දරුවන්ගේ කායික සෞඛ්‍ය පැත්තෙන් බලන කල ඉතා බැරෑරුම් තත්ත්වයන් වේ.
බෝවන රෝගයක් වැළඳුණු දරුවකු අතීතයේදී නම් ඉතා හොඳින් සුවවන තුරු පාසල් යැව්වේ නැත. නමුත් වර්තමානය වනවිට අධ්‍යාපන කටයුතු පාඩු වන බව කියමින් යන්තමින් සුවයක් ලද සැණින් දරුවා පාසල් යැවීමට මව්පියෝ පෙළඹෙති. මේ නිසාම වසංගත රෝග පැතිරීමේ සම්භාවිතාව වැඩි වෙයි. අනෙක් අතින් බලන කල ඩෙංගු වැනි රෝගවල දී රෝග ලක්ෂණ පහවන්නටත් පෙරම දරුවන් පාසල් යැවීම නිසා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇතැම් විට මාරාන්තික තත්ත්වයට පවා එළඹෙන්නට ඉඩ ඇත. මේ කරුණු දෙකම දරුවන්ගේ කායික සෞඛ්‍ය පැත්තෙන් බලන කල ඉතා බැරෑරුම් තත්ත්වයන් වේ.
අපේ රටේ ජීවන බර ගැන කතා කරන කිසිවකුවත් දරුවන්ට තිබෙන මේ බැරෑරුම් ප්‍රශ්නය වන අධ්‍යාපන බර ගැන කතා කරන්නේ නැත. අධ්‍යාපන බර නිසා ඇතිවන පීඩනය ආරම්භ වන්නේ දරුවකුගේ වයස අවුරුදු තුනේ සිටම ය. මේ කාලය වන විට ළදරු පාසලට අමතරව මෙවැනි කුඩා වයස්වල පසුවන දරුවන් ටියුෂන් යවන දෙමාපියෝ පවා සිටිති. මෙලෙස ආරම්භ වන අධ්‍යාපන බර නිසා ඇතිවන අධ්‍යාපන පීඩනය විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් වන වයස අවුරුදු විසි ගණන් දක්වාම පවතී.
මේ අධ්‍යාපන බර නිසා පීඩනයට පත්වන්නේ දරුවන් පමණක් නොවේ. දෙමාපියන්ගේ ජීවිතවල ද සැලකිය යුතු වෙනසක් දරුවන්ගේ අධ්‍යාපනය නිසා සිදුවන බව නොරහසකි. තමාගේ පදිංචිය රැකියාව පවා මේ නිසා වෙනස් කරන තරමට අසාමාන්‍ය තත්ත්වයකට මෙය පැමිණ තිබේ. මේ පිළිබඳව කිසිවකුගේවත් අවධානයක් මේ වන තුරුත් යොමු වී ඇති බවක් නොපෙනේ.
ලෝකයේ දියුණු රටවල දරුවන්ගේ පාසල් අධ්‍යාපනය පිළිබඳ විමසා දැනගැනීමට එවැනි රටවල් කිහිපයකට ගිය අවස්ථාවල දී මම විශේෂයෙන් උනන්දු වීමි. ඒ දරුවන්ගේ අධ්‍යාපනය මොනතරම් සරල ද, විධිමත් ද, පහසු ද යන්න එහි දී හොඳින්ම අත්දැකීමට මට අවස්ථාව උදා විය. තවදුරටත් කරුණු සොයා බැලීමේදී පැහැදිලි වූයේ ලංකාවේ වර්තමාන අධ්‍යාපන රටාව බටහිර ලෝකයා විසින් මීට දශක ගණනකට පෙර භාවිතා කර අතහරින ලද අවලංගු වූ අධ්‍යාපන ක්‍රමයක් බව ය. එම අධ්‍යාපන ක්‍රමය අපේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ නැවත නැවතත් භාවිතයට ගැනීමෙන් එහි හැඩතල පවා විකෘති වී තිබෙන බව පැහැදිලිව අවබෝධ කරගත හැකි විය. නමුත් අපේ රටේ ගුරු දෙගුරුන්ටත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගකිව යුත්තන්ටත් දියුණු රටවල අධ්‍යාපනය ක්‍රමය සහ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සංසන්දනාත්මක දැනීමක් නොමැති නිසා මෙම අධ්‍යාපන ක්‍රමයෙහි පවතින විකෘතිභාවය පිළිබඳ වැටහීමක් නැති බව පෙනේ.
අපට බුද්ධ ධර්මය පිළිබඳ පැහැදිලි වැටහීමක් ලබා ගන්නට ත්‍රිපිටකයත්, කිතුනු දහම සම්බන්ධයෙන් බයිබලය සහ ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කුරාණයත් කියවිය හැකිය. අපේ රටේ පාසල් අධ්‍යාපනය පිළිබඳ යම් දැනුමක් ලබා ගන්නට යොදාගත හැකි පැහැදිලි නිර්ණායකයක් වන්නේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කර නිකුත් කරන පෙළ පොත් ය. මේවා වැඩි ප්‍රමාණයක් පිරික්සා බැලීමේදී පැහැදිලි වූයේ පෙළපොත් වශයෙන් පාසල් දරුවන් අතට පත් කලද මේවායේ අන්තර්ගත බොහෝ කරුණුවල කිසිදු ප්‍රමිතියක් නැති බව ය.
අනෙක් අතට මේවා පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පසු හැඟී ගිය ප්‍රධාන කරුණක් වූයේ මෙමගින් දරුවාට ලබා දෙන දැනුම ඔවුන්ගේ මනසට දරා ගත හැකිද යන්න ය. මෙම පෙළපොත් මගින් කෙරෙන්නේ දරුවාට අනවශ්‍ය සහ ඔරොත්තු නොදෙන තරමේ දැනුම් සම්භාරයක් බලෙන් පැටවීම ය. මෙයින් දරුවන්ගේ මනසට දැඩි පීඩනයක් අත්වන බව ඇතැම් ගුරුවරු පවා පිළිගනිති. එසේම අප කළ සමීක්ෂණයක දී බොහෝ ගුරුවරුන් කියා සිටියේ මෙම පෙළපොත්වල අඩංගු කරුණු ළමයෙකුට එක් වසරක් තුළ පාසල් කාලසීමාවේ දී උගන්වා අවසන් කළ නොහැකි බව ය.
නිදසුනක් ලෙස අටවෙනි ශ්‍රේණියෙහි විද්‍යාව, ඉතිහාසය, සෞඛ්‍යය, පුරවැසි අධ්‍යාපනය යන විෂයන් ගැන බැලුවහොත් ඒ පොත් හතරෙහි පමණක් පිටු එකසිය හැට ඉක්මවන කරුණු ප්‍රමාණයක් තිබේ. මීට අමතරව තවත් විෂයන් පහක්, හයක් ඉගෙන ගත යුතුය. එම ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන වයස අවුරුදු දොළහක දරුවකු මෙම පොත් එක් වසරක් තුළ සම්පූර්ණයෙන් ඉගෙන ගෙන නිම කළ යුතු අතර මෙවැනි වයසක පසුවන දරුවකු හට එලෙස විශාල කරුණු සම්භාරයක් මනසට කාවැද්දීමෙන් ඒ දරුවාගේ මානසික සංවර්ධනයට ඇතිවන බාධාව සුළු පටු නොවනු ඇත.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් සමග මම කතා කළෙමි. ඒ බොහෝ දෙනාගේ පොදු අදහස වූයේ “පොත්වල ඔය තරම් කරුණු තිබුණත් ඒ සියල්ලම දරුවන් දැනගැනීම අවශ්‍ය නැති” බව ය. “එහෙම නම් ළමයින් දැනගත යුතු කරුණු මොනවාදැයි මේ පොත්වල වෙනම සඳහන් කළ නොහැකිද?” යනුවෙන් මම ඔවුන්ගෙන් ඇසුවෙමි. ඊට ඔවුන් කිසිවකු පැහැදිලි ඍජු පිළිතුරක් දුන්නේ නැත.
සැබවින්ම මෙය විහිළු කතාවක් නොවේද? දරුවන් පොත්වල ඇති සියලු කරුණු දැන ගැනීම අවශ්‍ය නොවේ නම් වඩා ඥාානාන්විත පියවර වන්නේ එම අනවශ්‍ය කරුණු ඉවත් කර අවශ්‍ය කරුණු පමණක් පෙළ පොත්වලට ඇතුළත් කිරීම ය. එසේ නොකර අවශ්‍ය කරුණු හැරුණු විට අනවශ්‍ය කරුණුවලින්ද පිරුණු විශාල පොත් බෑගයක් දරුවාගේ කරට දී ගෙදරින් පාසලටත්, පාසලින් ගෙදරටත් දරුවා ලවා ඇද්දවීම මොන තරම් අපරාධයක්ද?
පාසලේ විෂයන් ගැන වැඩි දෙනෙක් කතා නොකළත් දරුවන්ගේ පොත් බෑගයේ බර ගැන බොහෝ දෙනෙක් කතා කරති. දරුවන්ගේ පොත් බෑගයේ බර වැඩි වුණේ මෙම පොත් බර වැඩි නිසා ය. පොත් බර වැඩි වන්නේ අනවශ්‍ය කරුණු පිරී ඇති නිසා ය. පෙළ පොත්වල ඇති අනවශ්‍ය කරුණු ඉවත් කර අවශ්‍ය කරුණු පමණක් ඇතුළත් කර එම පොත් කුඩා කරන්නේ නම් පොත් බෑගයේ බර ඉබේම අඩුවනු ඇත. පෙළ පොත්වල මෙම ගැටලුවට විසඳුමක් සපයන්නේ නැතිව පොත් බෑගයේ බර අඩු කිරීම ගැන කතා කිරීම “අතීසාරයට අමුඩය ගැසීම” ට නොදෙවෙනි වූවකි.
ලෝකයේ දියුණු රටවල තමන් ජීවත්වන පරිසරය සමාජය පිළිබඳ දැනුම දරුවන්ට ලබා දෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් තුළිනි. අපේ පාසල් පෙළ පොතක ජල සම්පාදන මණ්ඩලය ගැන වෙනම පාඩමක් තිබේ. මෙවැනි තැන්වලට දරුවන් එක් කරගෙන ගොස් ඒවා අසා දැන තේරුම් ගැනීමට ඉඩ සලසා දිය යුතුය. එසේ නැතිව මෙවැනි කරුණුවලින් පොත් පිරවීම මොන තරම් අපරාධයක්ද? එම කරුණු සහිත පොත් කරේ එල්ලාගෙන ජල සම්පාදන මණ්ඩලය ඉදිරියෙන් දවසකට දෙවරක් එහා මෙහා යන දරුවන් කොතෙක් ඇතිද? මෙය මොන තරම් විහිළුවක්ද?
ලෝකයේ දියුණු රටවල තමන් ජීවත්වන පරිසරය සමාජය පිළිබඳ දැනුම දරුවන්ට ලබා දෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් තුළිනි. අපේ පාසල් පෙළ පොතක ජල සම්පාදන මණ්ඩලය ගැන වෙනම පාඩමක් තිබේ. මෙවැනි තැන්වලට දරුවන් එක් කරගෙන ගොස් ඒවා අසා දැන තේරුම් ගැනීමට ඉඩ සලසා දිය යුතුය. එසේ නැතිව මෙවැනි කරුණුවලින් පොත් පිරවීම මොන තරම් අපරාධයක්ද? එම කරුණු සහිත පොත් කරේ එල්ලාගෙන ජල සම්පාදන මණ්ඩලය ඉදිරියෙන් දවසකට දෙවරක් එහා මෙහා යන දරුවන් කොතෙක් ඇතිද? මෙය මොන තරම් විහිළුවක්ද?
තවත් පෙළපොතක ලංකාවේ සර්පයන් ගැන පාඩමක් තිබේ. එහි ඔවුන්ගේ වයිරම, දළේ ප්‍රමාණය සහ එහි දිග පවා ඇතුළත් ය. අපේ රටෙහි වෙසෙන සර්පයෙන් පිළිබඳව දරුවන් දැනුවත් කිරීම ඉතා හොඳ ය. නමුත් සර්පයන්ගේ විෂ ගැන මිස උන්ගේ දළෙහි දිග ආදිය දරුවන්ට පලක් තිබේද? එවැනි දේවල් අප වෛද්‍ය විද්‍යාලයේදීවත් ඉගෙන ගෙන නැත.
අපේ රටට බ්‍රිතාන්‍යයන් පැමිණියේ වර්ෂ 1796 දී ය. නවවෙනි ශ්‍රේණියෙහි ඉතිහාස පෙළ පොතෙහි බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණීම පිළිබඳව දක්වා ඇති විස්තරය මොනතරම් සංකීර්ණද කිවහොත් වර්ෂ හා කාල වකවානු රාශියක් ඒ තුළට ඇතුළත් කිරීම මගින් දරුවාගේ මූලික සංකල්ප විනාශ වීම පමණක් නොව බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණීම පිළිබඳ සියලුම දේවල් දරුවාට අමතක වී යනු නිසැක ය. මේ කරුණු මේ අයුරින්ම ඇතුළත් වන පොතක් මෙහිදී මතකයට නැගේ. ඒ මෙරට සිටි කෘතහස්ත දේශපාලඥයෙකු සහ නීති විශාරදයකු වන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සිය ආචාර්ය උපාධිය සඳහා කළ පර්යේෂණ ග්‍රන්ථය වන “Ceylon under the British occupation ” නම් කෘතිය යි. නව වැනි ශ්‍රේණියේ දරුවන්ගේ එම ඉතිහාසය පෙළ පොතෙහි ම තවත් බොහෝ සංකීර්ණ පාඩම් රැසක් තිබේ. අනෙකුත් ශ්‍රේණිවල සියලුම පෙළ පොත් වෙන වෙනම ගෙන බැලුවහොත් මෙවැනි වැඩකට නැති කරුණු රාශියකින් සපිරි පාඩම් බොහෝ ප්‍රමාණයක් සොයාගත හැකි වනු ඇත.
දරුවන්ගේ අධ්‍යාපන බර අඩු කිරීම යනු අපේ රටේ පවතින ගැටලු අතර වහා විසඳුම් සෙවිය යුතු ගැටලු අතර තවත් එක් ප්‍රධාන ගැටලුවක් බව වගකිව යුත්තන් දැන්වත් අවබෝධ කර කරගැනීම වටී.
ළමා රෝග සහ අසාත්මික රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
සැකසුම – ඉන්දු පෙරේරා