පවතින වැසි තව දුරටත්

 

පවතින වැසි සහිත කාලගුණ තත්වය අද(03) දිනය තුළ තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිද ඇති විය හැකිය.සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකිය.නැගෙනහිර පළාතේ සහ යාපනය සහ මුලතිවු දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

 

කාලීන පුවත්