ප්‍රංශයේ දරුවන්ටත් සමාජ මාධ්‍ය තහනම් ?

කුඩා දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට මේ වනවිට ඇතැම් රටවල් ක්‍රියා කරමින් සිටියි. පසුගිය වසරේ අවසන් භාගයේ ඕස්ට්‍රේලියාව එරට වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ඓතිහාසික පියවරක් ගත්තේය. ඒ එවැනි තහනමක් පැන වූ ලෝකයේ පළමු රට බවට පත් වෙමිනි. Facebook, TikTok, Instagram, You Tube, Snapchat, X, Reddit, Twitch, Kick, Threads වැනි සමාජ මාධ්‍ය වේදිකාවලට මෙම තහනම අදාල විය.

දැන් යුරෝපයේ බලවතකු වන ප්‍රංශය ද මෙවන් තහනමක් පැනවීමට සූදානම් වෙමින් සිටියි. ඔවුන් එරට වයස අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට සූදානම් වන බව පසුගිය දිනවල මාධ්‍ය හරහා වාර්තා විය.

මෙයට අදාල පනත් කෙටුම්පතක් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. ප්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකක් ඇති අතර පහල මන්ත්‍රී මණ්ඩලයෙන් මේ වනවිටත් එය අනුමත වී අවසන් ය. කෙටුම්පතට පක්ෂව ඡන්ද 130 ක් ලැබී තිබූ අතර ඊට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 21ක් පමණි.ඉදිරි දිනවල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් මණ්ඩලයට ද ඉදිරිපත් කෙරෙනු ඇත. එහිදී ද එය සම්මත වනු ඇති බවට විශ්වාසය පළ වේ.

මෙයට අදාල පනත් කෙටුම්පතක් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. ප්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකක් ඇති අතර පහල මන්ත්‍රී මණ්ඩලයෙන් මේ වනවිටත් එය අනුමත වී අවසන් ය. කෙටුම්පතට පක්ෂව ඡන්ද 130 ක් ලැබී තිබූ අතර ඊට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 21ක් පමණි.

ඉදිරි දිනවල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් මණ්ඩලයට ද ඉදිරිපත් කෙරෙනු ඇත. එහිදී ද එය සම්මත වනු ඇති බවට විශ්වාසය පළ වේ.

මේ අතර නවසීලන්තය, ඩෙන්මාර්කය,ග්‍රීසිය, ස්පාඤ්ඤය, අයර්ලන්තය වැනි රටවල් ද දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටිති.

ලෝකයේ මෙවැනි ප්‍රවණතාවක් ඇති වී තිබෙන්නේ සමාජ මාධ්‍ය නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට, ඔවුන්ගේ ජීවන රටාවන්ට එල්ල වෙම්න් ඇති හානිකර බලපෑම් සම්බන්ධයෙන් ලොකු සංවාදයක් ඇතිව තිබෙන පසුබිමක් තුළ ය.

ළමා විය, යොවුන් විය යනු දරුවන්ගේ පෞරුෂයන්, අනන්‍යතාවන්, මොළයේ ක්‍රියාකාරිත්වයන් ආදිය තීරණාත්මක ලෙස වර්ධනය වෙමින් ඇති වයස් ය. එම වයස්වල පසුවන දරුවන්ගේ ජීවිතවලට සමාජ මාධ්‍ය නිසා කල් පවත්නා බලපෑම් ඇතිවිය හැකි වේ.

සමාජ මාධ්‍ය භාවිත කරන විට බොහෝ දෙනෙකු එහි දී හමුවන අන්‍යයන්ගේ ජීවිත සමග තමුන්ගේ ජීවිත සංසන්දනය කිරීමට පෙළඹෙති. අන්‍යයන් තමුන්ට වඩා සාර්ථකය, දක්ෂය, ජනප්‍රියය, රූමත්‍ ය වැනි නිගමනයන්ට බොහෝ දෙනා මේ සැසඳීම් තුළින් එළැඹෙන ආකාරය ද දැකගත හැකි වේ. මේ සංසන්දනයන් හේතුවෙන් ආත්ම විශ්වාසය, ආත්ම ගෞරවය, ආත්ම අභිමානය වැනි දේ දෙදරා යන්නට ලොකු ඉඩක් තිබේ. මානසික ආබාධවලට පවා ගොදුරු වීමට මේ නිසා පසුබිම සකස් වන්නට පිලිවන. විශේෂයෙන් දරුවන් තුළ විශාදය (Depression), කාංසාව (Anxiety) වැනි තත්වයන් ඇති කිරීමට මෙය හේතු විය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.

Cyber bullying හෙවත් සමාජ මාධ්‍ය හරහා සිදුවන උසුළු විසුළු කිරීම්, නින්දා අපහාස කිරීම්, ලැජ්ජාවට පත් කිරීම් , මඩගැසීම් ආදිය ද මේ කාලයේ දරුවන් බිලිගන්නා රකුසකු බවට පත්ව තිබේ. දරුවන් දිවි නසා ගැනීම වැනි තත්වයන්ට පවා තල්ලු කිරීමට මෙවැනි අමානුෂික ක්‍රියාවන්ට හැකියාව ඇත.

සමාජ මාධ්‍ය කෙරේ වුවමනාවට වඩා ඇබ්බැහි වීම ද තවත් හානිකර බලපෑම් ඇති කරන්නකි. මහ රෑ නිදිවරා ගෙන සමාජ මාධ්‍ය සාගරයේ කිමිදෙන දරුවෝ බොහොමයක් සිටිති. මේ තුළින් ඇති වන මානසික විඩාව, අවිවේකය වැනි තත්වයන් නිසා ද මානසික ගැටලුවලට ගොදුරු වන්නට ඉඩ තිබේ.

සමාජ මාධ්‍ය තුළ හොල්මන් කරන ලිංගික කප්පම්කරුවන් වැනි අපරාධකරුවන් ද මේ කාලයේ සුළභ ය. මොවුහු බොහෝ විට දරුවන් උපායෙන් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ආදිය ගෙන්වා ගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට බිය වද්දා විවිධාකාරයෙන් කප්පම් ගැනීමට උත්සාහ කරති. මෙවැනි ජාවාරම්කරුවන්ගේ උගුල්වලට හසු වූ ඇතැම් අහිංසක දරුවන් කරකියාගත හැකි කිසිවක් නැතිව දිවි නසාගත් අවස්ථා ගැන ද පසුගිය කාලයේ වාර්තා විය.

දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට රටවල් පියවර ගනිමින් සිටින්නේ මෙවැනි පසුබිමක් තුළ යි.

ප්‍රංශය තුළ මෙම තහංචිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්රොන් ද විශාල උනන්දුවක් දක්වයි. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙන් ද මෙම පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත කරගන්නා මෙන් ඔහු ඉල්ලීමක් කර තිබිණි. ලබන සැප්තැම්බර් මාසයේ නව පාසල් වසර ආරම්භ වීමට පෙර මෙය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නැයි ද මැක්රොන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරනවාට බොහෝ මව්පියන් කැමැති ය. නමුත් මෙවැනි නීතිවලට කැමැත්තක් නොදක්වන, ඒවා විවේචනයට ලක් කරන පාර්ශ්ව ද බොහොමයක් සිටිති.

මේ කාලයේ දරුවන් බොහෝ දුරට මිතුරන් ආශ්‍රය කරන්නේ සමාජ මාධ්‍ය හරහා බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ විට එම ක්‍රියාවලියට ද බාධා ඇති වේ. සෘජුව සමාජ ආශ්‍රයට යොමු නොවන ලැජ්ජාශීලී දරුවන්, සුළු ජාතීන්ට අයත් දරුවන් වැනි අය මිතුරු ප්‍රජාවන් සොයා ගැනීමේ දී සමාජ මාධ්‍ය ඔවුන්ට බෙහෙවින් උපකාරී වේ.සමාජ මාධ්‍ය තහනම් කිරීමට විරුද්ධ උදවිය ඉදිරිපත් කරන ඉහත කී ආකාරයේ තර්කවල ද යම් සත්‍යයක් ඇති බව පිලිගත යුතු ය. නමුත් බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ සමාජ මාධ්‍ය නිසා කලින් කී වයස්වල දරුවන්ට අත්වන ප්‍රයෝජනවලට වඩා එයින් ඇතිවන හානිකර බලපෑම් ප්‍රබල බව යි.

මෙවැනි නීති තුළින් දරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බව ඔවුන් නගන ප්‍රධාන තර්කයකි. එමෙන්ම තොරතුරු දැන ගැනීමට ඇති අවස්ථා ද මේ නිසා ඇහිරෙන බව මෙම පාර්ශ්ව පෙන්වා දෙති.

මේ කාලයේ දරුවන් බොහෝ දුරට මිතුරන් ආශ්‍රය කරන්නේ සමාජ මාධ්‍ය හරහා බව අමුතුවෙන් කිව යුතු නොවේ. සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ විට එම ක්‍රියාවලියට ද බාධා ඇති වේ. සෘජුව සමාජ ආශ්‍රයට යොමු නොවන ලැජ්ජාශීලී දරුවන්, සුළු ජාතීන්ට අයත් දරුවන් වැනි අය මිතුරු ප්‍රජාවන් සොයා ගැනීමේ දී සමාජ මාධ්‍ය ඔවුන්ට බෙහෙවින් උපකාරී වේ.

සමාජ මාධ්‍ය තහනම් කිරීමට විරුද්ධ උදවිය ඉදිරිපත් කරන ඉහත කී ආකාරයේ තර්කවල ද යම් සත්‍යයක් ඇති බව පිලිගත යුතු ය. නමුත් බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ සමාජ මාධ්‍ය නිසා කලින් කී වයස්වල දරුවන්ට අත්වන ප්‍රයෝජනවලට වඩා එයින් ඇතිවන හානිකර බලපෑම් ප්‍රබල බව යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර