පාසල්වල සිසුන් වැඩි වශයෙන් අඩු මිලකින් යුත් සහ පෝෂණ මට්ටමින් අඩු කෙටි ආහාර (Snacks) සඳහා වැඩි නැඹුරුවක් දක්වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය මගින් කරන ලද අධ්‍යයනයකදී අනාවරණය කරගෙන ඇත.
‘ශ්‍රී ලංකාවේ යොවුන් වියේ නාගරික දරුවන්ගේ ආහාර පාරිභෝජන රටාව,කැමැත්ත, බාධක සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සඳහා ඇවැසි ක්‍රියාකාරිත්වයන්’ මැයෙන් අදාළ අධ්‍යයනය සිදුකර තිබේ. කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල රජයේ හා පෞද්ගලික අංශයේ පාසල් දරුවන් 463 දෙනකු යොදාගෙන මෙම අධ්‍යයනය සිදුකළ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ආහාර පද්ධති අංශයේ ජ්‍යෙෂ්ඨ පර්‌යේෂණ නිලධාරී රෝෂිණී රඹුක්වැල්ල පැවැසුවාය.
අඩු මුදලකට මිලදී ගතහැකි පෝෂණ ගුණයෙන් අඩු ආහාර සඳහා රජයේ පාසල් දරුවන් වැඩි නැඹුරුවක් දක්වන බවත් යොවුන් වියේ දරුවන්ගේ ආහාර වේල ප්‍රධාන වශයෙන් බත් සහ පිටි සහිත ආහාර මත පදනම්ව ඇති බවත් අනාවරණය කරන එම අධ්‍යයනය මගින් එළවළු, පලා වර්ග සහ ධාන්‍ය වර්ග දෛනික පාරිභෝජනය අඩු මට්ටමක පවතින බවද පෙන්වා දෙයි. යොවුන් වියේ දරුවන් ක්ෂණික ආහාර, කෙටි ආහාර සහ සීනි සහිත පාන වර්ග පාරිභෝජනය ඉහළ යාමක් පෙන්නුම් කරන බවද හෙළිවී ඇත. එහිදී අධ්‍යයනයට ලක්කළ සිසුන්ගෙන් අඩකට වඩා පිරිසක් අධ්‍යයන කටයුතු හේතුවෙන් කාර්ය බහුලත්වය හෝ කෑම පිළිබඳ උනන්දුවක් නොමැතිකම මත ආහාර වේල් මගහරින බවත් විශේෂයෙන් උදෑසන ආහාර වේල ඉන් ප්‍රධාන වන බවත් අනාවරණය වේ.
තවද අධ්‍යයනයට ලක්කළ සිසුන්ගෙන් සියයට අසූවක් (80%)ක් පමණ කෙටි ආහාර සඳහා වැඩි නැඹුරුවක් දක්වා තිබේ. මේ අතර සමාජ මාධ්‍ය තුළින් කෙරෙන බලපෑම් සහ සම වයසේ මිතුරන්ගේ බලපෑම්ද දරුවන්ගේ ආහාර පුරුදුවලට බලපා තිබේ.
පාසල් ආපන ශාලා බොහොමයක් ඊට අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති බව ආපන ශාලා ආශ්‍රිත පොදු ගැටලු ලෙස පිරිසිදුකම නොමැතිකම, ප්‍රමාණවත් පහසුකම් හා ඉඩ නොමැති වීම, ආහාර අලෙවිය හා සැකසීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අවම වීම යනාදී කරුණු ප්‍රධාන වශයෙන් බලපා ඇතැයිද එම අධ්‍යයන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.