මහනුවර නගරයේ දෛනිකව එකතුවන කසළවලට අමතරව මහනුවර ඇසළ පෙරහර සමයේදී පෙරහර ගමන් කළ වීථි හා දේවාල ආශ්‍රිතව කසළ ටොන් 300ක් පමණ එකතු වූ බව මහනුවර මහ නගර සභාව පවසයි. මෙම කසළ අතර දිරාපත් නොවන පොලිතීන් හා ප්ලාස්ටික් බෝතල් ටොන් 30ක් පමණ තිබෙන බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අංශ ප්‍රධානි ඉංජිනේරු නාමල් කරුණාරත්න මහතා පවසයි.
අලි ඇතුන්ට ආහාර ලෙස ලබාදෙන කිතුල් කොට, කොස් අතු ඇතුළු අපද්‍රව්‍ය ටොන් 200ක් පමණ එකතු වූ බවත් පෙරහර වීථිවලින් එකතු වූ අඟුරු ටොන් ගණන 16ක් බවත් ඒ මහතා කීය. පෙරහර නැරඹීමට පැමිණීමේදී දිරාපත් නොවන පොලිතීන් වැනි දේවල් රැගෙන එන්නේ නම් ඒවා නගරයේ නොදමා නැවත රැගෙන යන ලෙස කොතෙක් දැනුම් දුන්නද බොහෝ පිරිසක් පොලිතීන් හා ජල බෝතල් තමන් රැඳී සිටි ස්ථානයේම දමාගොස් තිබූ බව ද හෙතෙම පවසනලදි.
පෙරහර නිමා වුවත් අලි ඇතුන් රඳවා සිටි ස්ථානවල ගොඩ ගැසී තිබෙන අපද්‍රව්‍ය ඉවත් කිරීමට තවත් දින දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඒ මහතා පවසයි.