පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ආදරණීය අහිංසකාවී” හාමිනා” සමුගනියි

විශ්වවිද්‍යාලයක අභිමානය රැඳී පවතින්නේ එහි ඇති අහස උසට විහිදුණු මහා මන්දිර හෝ වාර්ෂිකව පිටවන උපාධිධාරීන්ගේ සංඛ්‍යාව අනුව පමණක් නොවේ. එතුළින් ඉස්මතු වන විද්‍යා ශාස්ත්‍රීය ප්‍රතාපය හා මානුෂීය ධර්ම ද ඒ සඳහා පදනම් වේ. ඇතැම් විට ඒ විදු පියසේ දිවි ගෙවූ තිරිසන් සතකු වුව ද එහි අධ්‍යයන හා අනධ්‍යයන ප්‍රජාව ලෙස හඳුන්වන මිනිසුන්ගේ හදවත් තුළ නොමැකෙන සලකුණක් තබා යන්නට සමත් විය යුතු ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයටත්, ශික්ෂණ රෝහලටත් පසුගිය දින කිහිපය අතිශය ශෝකජනක විය. ඒ ඉකුත් දශකයකට අධික කාලයක් මුළුල්ලේ එහි නිල නොවන භාරකාරියක මෙන්ම දහස් ගණනක් සිසුන්ගේ ආදරණීය “උපදේශිකාවක” වූ “හාමිනා” නම් සුනඛ ධේනුව දිවි රඟමඩලෙන් සදහටම සමුගත් බැවිනි.

2016 වසරේ පේරාදෙණිය ගලහ හන්දියේ කානුවක වැටී සිටි, නරක් වූ තුවාල සහිත පාදයකින් පීඩා විඳි අසරණ බලු පැටවකු වූ ඇය, වෛද්‍ය ප්‍රතිකාර සඳහා පීඨය වෙත රැගෙන විත් ඇත්තේ දැනට ජපානයේ වෙසෙන පශු වෛද්‍ය සමන් කුමාර පියදාස විසිනි. එදා ඇයව භාර ගැනීමට එහි කිසිවෙකුත් නොවූ තැන වෛද්‍ය සමන් ඇයව රහසේම රඳවාගෙන සියලු සත්කාර කළ ද එක් පාදයකට සිදුව තිබූ බරපතල හානිය නිසා ඇයට දිවි ගෙවන්නට සිදු වූයේ පාද තුනකිනි. වෛද්‍ය සමන් යන යන තැන ඔහු පසුපසින්ම යන මේ සුනඛ ධේනුවට එදා ලැබුණු “සමන් සර්ගේ හාමිනේ” යන සරදම් නාමය වෙනුවට, කල් යත්ම ඇය පෑ අපූර්ව ගුණාංග නිසාම ඇය පශු වෛද්‍ය පීඨය තුළ “හාමිනා” යන ගෞරවනීය නමින් හැඳින්වෙන්නට වූවා ය. එතැන් පටන් ඇය පීඨයේ කොයි කාගේත් හදවත් පැහැරගන්නා සුවිශේෂී චරිතයක් බවට පත්වූයේ පීඨයම තමන්ගේ නිවහන බවට පත් කරගනිමිනි.

හාමිනා නිකම්ම සුනඛයකු නොවූ අතර, පශු වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුකාරිනියක බඳු වූවාය. පශු වෛද්‍යවරයකු වීමේ සිහිනයෙන් පීඨයට පැමිණෙන නවක සිසුවකු මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ සජීවී සතකු පරීක්ෂා කිරීමේදී දැනෙන චකිතයයි. සිසුන් තුළ හටගන්නා ඒ අපහසුව දුරලා ඔවුන්ගේ සිත්වලට ආත්ම විශ්වාසය ලබා දුන්නේ හාමිනා ය. සාමාන්‍යයෙන් සුනඛයකු පරීක්ෂණ මේසයක් (Examination Table) මත සුළු මොහොතක් රැඳී සිටින්නේ ද අමාරුවෙනි. එහෙත් හාමිනා එසේ නොවේ. එන්නත් කටු ගැසීමේදී, ලේ සාම්පල ගැනීමේදී හෝ පැය ගණන් ඇදෙන වෛද්‍ය පරීක්ෂණවල දී ඇය පෑ අසීමිත ඉවසීම සුළුපටු නැත.

හාමිනා නිකම්ම සුනඛයකු නොවූ අතර, පශු වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන්ගේ ප්‍රායෝගික පුහුණුකාරිනියක බඳු වූවාය. පශු වෛද්‍යවරයකු වීමේ සිහිනයෙන් පීඨයට පැමිණෙන නවක සිසුවකු මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ සජීවී සතකු පරීක්ෂා කිරීමේදී දැනෙන චකිතයයි. සිසුන් තුළ හටගන්නා ඒ අපහසුව දුරලා ඔවුන්ගේ සිත්වලට ආත්ම විශ්වාසය ලබා දුන්නේ හාමිනා ය. සාමාන්‍යයෙන් සුනඛයකු පරීක්ෂණ මේසයක් (Examination Table) මත සුළු මොහොතක් රැඳී සිටින්නේ ද අමාරුවෙනි. එහෙත් හාමිනා එසේ නොවේ. එන්නත් කටු ගැසීමේදී, ලේ සාම්පල ගැනීමේදී හෝ පැය ගණන් ඇදෙන වෛද්‍ය පරීක්ෂණවල දී ඇය පෑ අසීමිත ඉවසීම සුළුපටු නැත. දේශන ශාලාවේ දොරට තට්ටු කර ඇතුළු වී දේශනය නිමවන තෙක් සිසුන් අසල හිඳ බලා සිටින ඇය, පීඨයේ ප්‍රායෝගික පරීක්ෂණවලදී පවා සිසුන්ගේ ප්‍රධානතම සහකාරිය වූවා ය. දහ පහළොස් දෙනෙකු පෝලිමේ පැමිණ රුධිර පීඩනය වැනි පීඩාකාරී පරීක්ෂණ නැවත නැවතත් සිදු කරද්දී පවා, ඇය කිසිදු දිනෙක නොරිස්සුම් සහගත බැල්මකින් වත් ඊට නොනිසි ප්‍රතිචාර දක්වා නැත.

හාමිනාගේ උදාරත්වය වඩාත් කැපී පෙනෙන්නේ ඇය වරින් වර සිදු කළ රුධිර දායකත්වයෙනි. දිවයිනේ නන් දෙසින් රෝහලට රැගෙන එන, කිනිතුලු උණ වැනි රෝගී තත්ත්වයන් නිසා අසාධ්‍ය වූ අසරණ සුනඛයන් සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට හාමිනා සිය රුධිරය දන් දුන් වාර අපමණ ය. ඒ වෙනුවෙන් ඇය කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවූ අතර, ඒ සඳහා ඇය සිසුන්ගෙන් ලැබුවේ සොච්චම් කෑම වේලක්, යෝගට් කෝප්පයක් සහ සිසු දරුවන්ගේ ආදරය හා සෙනෙහස පමණි. ඇයගේ ජීවිතයේ සුන්දරම බැඳීම ලියැවුණේ “මල්ගුමී” නම් ආදරණීය බළල් මිතුරා සමඟිනි. දශකයක් පුරා එකට කෑම බෙදාගනිමින් සිටි මල්ගුමී, හාමිනා අවසන් හුස්ම හෙළන මොහොතේ ද ඇගේ මුහුණට මුහුණ තබාගෙන හෝ ඇගේ මුහුණ ලෙව කමින් රැඳී සිටි අයුරු කාගේත් හදවත් කම්පා කරවන දර්ශනයක් විය.

මීට මාසයකට පෙර වැළඳුණු වකුගඩු ආබාධයක් හමුවේ වෛද්‍යවරුන් ඇයව බේරා ගැනීමට උපරිම උත්සාහ කළ ද, පසුගිය මාර්තු 03 වන දාට යෙදුණු පොහොය දිනයේ දී හාමිනා සියලු දෙනා හඬවමින් සදහටම දෑස් පියා ගත්තා ය.දස වසරක කාලයක් තුළ ඇය සිදු කළ අසීමිත කැපවීම අගයමින් පීඨ බලධාරීන් ඇය වෙනුවෙන් සිදු කළ උපහාරය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨ ප්‍රජාවගේ උත්තරීතර මනුෂ්‍යත්වය මනාව පිළිබිඹු කරන්නකි. හාමිනාගේ දේහය පිරිසිදු කර පෙට්ටියක තැන්පත් කොට, මහා සංඝරත්නය වැඩම කරවා ආගමික වතාවත් සිදු කළ අතර, ඇයට අවසන් ගෞරව දක්වනු පිණිස පීඨයේ සහ පශු වෛද්‍ය රෝහලේ කටයුතු පවා පැයක කාලයක් නිල වශයෙන් වසා තැබීමට තීරණය විය. අවසානයේ ඇය පුරා දස වසරක් තමන් හා සහජීවනයෙන් කටයුතු කළ පිරිසගේ කර මතින් සිය අවසන් ගමන ගියාය.

හාමිනා දැන් පශු වෛද්‍ය පීඨ පරිශ්‍රයේ විශාලව වැඩුණු තුරු සෙවණක සදහටම සැතපී සිටින්නීය. ඇය දරුවන්ට ඉගැන්නුවේ පොත්වල නැති පාඩම්ය; එනම් සතෙකුට ආදරය කරන ආකාරය සහ නිහඬව මෙහෙවරක් කරන ආකාරයයි. හාමිනා තවදුරටත් පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨ දේශන ශාලාවල නොසිටියත්, ඇයගේ සිරුර මත වෙද නළාව තබා හදගැස්ම හඳුනා ගත්, ඇයගෙන් නිහඬ ගුරුහරුකම් ලැබූ දහස් ගණනක් වෛද්‍යවරුන් ලොව කොහේ හෝ තැනක අසරණ සතෙකුගේ ජීවිතය බේරාගන්නා සෑම මොහොතකම “හාමිනා” යන නාමය සදාකාලිකවම පණ ලබනු ඇත.

හාමිනා දැන් පශු වෛද්‍ය පීඨ පරිශ්‍රයේ විශාලව වැඩුණු තුරු සෙවණක සදහටම සැතපී සිටින්නීය. ඇය දරුවන්ට ඉගැන්නුවේ පොත්වල නැති පාඩම්ය; එනම් සතෙකුට ආදරය කරන ආකාරය සහ නිහඬව මෙහෙවරක් කරන ආකාරයයි. හාමිනා තවදුරටත් පේරාදෙණියේ පශු වෛද්‍ය පීඨ දේශන ශාලාවල නොසිටියත්, ඇයගේ සිරුර මත වෙද නළාව තබා හදගැස්ම හඳුනා ගත්, ඇයගෙන් නිහඬ ගුරුහරුකම් ලැබූ දහස් ගණනක් වෛද්‍යවරුන් ලොව කොහේ හෝ තැනක අසරණ සතෙකුගේ ජීවිතය බේරාගන්නා සෑම මොහොතකම “හාමිනා” යන නාමය සදාකාලිකවම පණ ලබනු ඇත.

හාමිනාගේ අවසන් මොහොතේ මල්ගුම්

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර