ශ්‍රී ලාංකේය විශ්වාස අතරට අයත් යකුන් අතුරින් ප්‍රබලතම හා බිහිසුණුම යක්ෂයා මහසෝනා ය. ඔහුගේ මෙම අනභිබවනීයත්වය කොතෙක්ද යත් සමස්ත ශ්‍රී ලාංකේය යක්ෂ බල මුළුවේ නායකත්වය හිමි කරගෙන ඇති මහසෝනා යකුන් හත් ලක්ෂයක ගේ නායකයා බවට ජන විශ්වාසයක් ඇතැයි මහාචාර්ය තිස්ස කාරියවසම් සූරීහු පවසති. (මහසෝන් සමයම විමර්ශනය-2001-එස්.ගොඩගේ සහෝදරයෝ)
විවිධ පුරාවෘත්තවලට අනුව උප්පත්ති කතා කිහිපයකට හිමිකම් කියන මහසෝනාට ඒ නම ලැබී ඇත්තේ ඔහු සොහොන් යකුන් අතරින් ප්‍රධානත්වයට පත්ව ඇති නිසා ය. ඒ අනුව මහ සොහොනා පසුව මහසෝනා ලෙස ප්‍රකට වී ඇති බව පෙනේ. මිනිස් සිරුරකින් හා වලස් ,වෘක හෝ සුනඛ මුහුණකින් යුතු මහසෝනා දහ අට රියනක් හෙවත් අඩි විසි හතක් උසින් යුතු යකකු බව ඇතැම් යාතු කර්ම මූලාශ්‍රයන් හි දැක්වේ.ඒ අනුව ඒ යකා වැඩුණු මිනිසුන් හතර දෙනකුටත් වඩා උස බව පෙනෙයි. එමෙන්ම ශ්‍රී ලාංකේය යකුන් අතුරින් උසම යකා ද මහසෝනාම විය යුතු ය.ලෝක තත්වය අනුව බැලුව ද ඊට වැඩි වෙනසක් නැතැයි මට සිතේ.
මිනිසුන්ට වැළඳෙන අට අනූවක් රෝග හා නව අනූවක් ව්‍යාධී අතුරින් එක්තරා කොටසක් යක්ෂ, භූත ආදී අමනුෂ්‍ය බලපෑම් නිසා ඇති වන බව අෂ්ඨාංග ආයුර්වේදයේ සඳහන් ය.. ඖෂධ හා වෙනයම් කායික චිකිත්සක ක්‍රම මගින් සුව කළ නොහැකි එබඳු රෝග භූත චිකිත්සාව මගින් සුව කළ යුතු බව ද ආයුර්වේදයේ සඳහන් වේ. බලි, තොවිල්, ශාන්ති කර්ම ලෙස හැඳින්වෙනුයේ එම භූත චිකිත්සක කටයුතු බව පෙනේ.නමුත් ඒ සම්බන්ධ ආයුර්වේදීය මූලාශ්‍ර සොයා ගැනීම අපහසු ය.
යකුන් විසින් මිනිසුන් හට ඇති කරනු ලබන විවිධාකාර රෝග පීඩා අතුරින් සුව කිරීමට අපහසු හෙවත් දුස්සාධ්‍ය රෝග මහසෝනා ගේ බලපෑමෙන් ඇති වන බවට ජන විශ්වාසයක් තිබේ. එහිදී වෛද්‍ය ක්‍රම මගින් ඒවා පිටුදැකිය නොහැකි බව තහවුරු වූ පසු ඒ සම්බන්ධයෙන් මහසෝන් සමයම නම් විශේෂිත ශාන්ති කර්මය දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල සිදු කෙරේ.
අප රටේ බලි තොවිල් ශාන්ති කර්ම අතුරින් සුවිශේෂත්වයක් ගන්නා මහසෝන් සමයම ශාන්ති කර්මය සම්බන්ධ ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකි. ඒ බෙන්තර හා මාතර යනුවෙනි. ඒ අතුරින් මාතර සම්ප්‍රදාය ගුප්ත බවින් පොහොසත් බවක් ද බෙන්තර සම්ප්‍රදාය කලාත්මක හා සෞන්දර්යාත්මක බවින් පොහොසත් බවක් ද මූලික වශයෙන් හැඟී යයි.
යකුන් විසින් මිනිසුන් හට ඇති කරනු ලබන විවිධාකාර රෝග පීඩා අතුරින් සුව කිරීමට අපහසු හෙවත් දුස්සාධ්‍ය රෝග මහසෝනා ගේ බලපෑමෙන් ඇති වන බවට ජන විශ්වාසයක් තිබේ. එහිදී වෛද්‍ය ක්‍රම මගින් ඒවා පිටුදැකිය නොහැකි බව තහවුරු වූ පසු ඒ සම්බන්ධයෙන් මහසෝන් සමයම නම් විශේෂිත ශාන්ති කර්මය දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල සිදු කෙරේ.
අප රටේ බලි තොවිල් ශාන්ති කර්ම අතුරින් සුවිශේෂත්වයක් ගන්නා මහසෝන් සමයම ශාන්ති කර්මය සම්බන්ධ ප්‍රධාන සම්ප්‍රදායන් දෙකකි. ඒ බෙන්තර හා මාතර යනුවෙනි. ඒ අතුරින් මාතර සම්ප්‍රදාය ගුප්ත බවින් පොහොසත් බවක් ද බෙන්තර සම්ප්‍රදාය කලාත්මක හා සෞන්දර්යාත්මක බවින් පොහොසත් බවක් ද මූලික වශයෙන් හැඟී යයි. මෙම සම්ප්‍රදායන් දෙකේ දීම මහසෝන් සමයම යනු මහසෝන් යක්ෂයා එම රෝගියා හෙවත් ආතුරයා හමුවට පැමිණවීමත් පසුව ඇදුරා කෙමෙන් මහසෝනා සමඟ අරඹන විසංවාදය සුසාංවාදයක් හා එකඟතාවක් බවට පත් කර ගැනීමත් මූලික වශයෙන් සිදු වේ. එහෙත්, මෙම සම්ප්‍රදායන් දෙකේ යාගාංග ආකෘතීන් වල බොහෝ සමානතා මෙන්ම විෂමතා ද දක්නට ලැබේ.
ජන සම්මතයට අනුව මහසෝන් යක්ෂයා අවතාර අටකින් පෙනී සිටී. මහ සොහොන්,අමු සොහොන්, ජය සොහොන්, ලේ සොහොන්, පුළුටු සොහොන්, කඩවර සොහොන්, ගොපළු සොහොන්, මිනී සොහොන් යනු ඒ අවතාර අට ය.නමුත් මේ නම් යම් යම් වෙනස් ආකාර වලින් ද දක්නට ලැබේ.
මහසෝන් උපත සම්බන්ධ අප රටේ පවතින ජනප්‍රියතම පුරාණොක්තිය දුටුගැමුණු කුමරුන් ගේ ගෝඨයිම්බර යෝධයා සහ රිටිගල ජයසේන නම් යක්ෂ ගෝත්‍රික නායකයා අතර ඇති වූ ද්වන්ධ යුද්ධය හා සම්බන්ධ වේ. එහි දී ගෝඨයිම්බර යෝධයා ගේ පා පහරකින් රිටිගල ජයසේන ගේ හිස කඳින් ගැලවීම මත ඔහුගේ බිරිඳ විසින් රිටිගල ජයසේනයන්ට වළස් හිසක් සවි කළ පුවත අතිශය ජනප්‍රිය වූවකි. නමුත් මහසෝන් යක්ෂයා හා සම්බන්ධ සමස්ත පුරාවෘත්ත විමසීමේ දී එය මහසෝන් අවතාරයක් වන ජය සොහොනා නම් අවතාරයක් හා සම්බන්ධ වූවක් බව පෙනේ.

මහසෝන් සමයම ශාන්ති කර්මයේ වඩාත් විචිත්‍රවත් සහ උද්වේගකරම කොටස වනුයේ යකැදුරාට මහසෝනා ආරූඪ වීම ය. එහිදී යකැදුරා සාමාන්‍ය මිනිසකුට කළ
නොහැකි අතිශය ත්‍රාසජනක ක්‍රියාවන්හි යෙදෙන බව ප්‍රකට ය. මගේ බිරිඳ ගේ පියා:මාමණ්ඩිය වූ බෙලිඅත්ත, කුඩාහීල්ලේ නැසීගිය ඩේවිඩ් ජයවර්ධන (සේරුගහහේනේ ලොකු මහත්තයා) තරුණ වියේ සිටම මෙම ශාන්ති කර්ම කෙරෙහි ඉමහත් උනන්දුවක් පළ කළ අයෙකි. ඔහු වරක් මා හා පවසා සිටියේ මහසෝන් ආරූඪය යනු කෙනෙකුට පහසුවෙන් ලබාගත නොහැකි තත්ත්වයක් බව ය.මෙය මහසෝනාගේ දැක්මට දෘෂ්ඨියට යොමු වීමක් නිසා දිෂ්ඨි වීම ලෙස හඳුන්වන බව පැවසෙයි. දෙවුන්දර ප්‍රභූ පෙළපතකට අයත් බේබි සිඤ්ඤෝ නම් යකැදුරු මහතකු හට සැබැවින්ම මහසෝන් දිෂ්ඨිය හිමි කර ගත හැකිව තිබූ බව ද ඔහු කීය. එමෙන්ම ඒ බේබි සිඤ්ඤෝ යකැදුරු මහතා පසුව දෙවිනුවර නගරාධිපති ධූරයට පවා පත්වූ බවක් ද මගේ මාමණ්ඩිය කී වගක් මතක ය.ඒ අනුව මහසෝන් දිෂ්ඨියක් ගත හැකි ලොව එකම පුරපති වරයා ද දෙවුන්දර බේබි සිඤ්ඤෝ නම් යකැදුරු මහතා විය යුතු ය.
මෙබඳු සෑම පහතරට ශාන්ති කර්මයකම පාහේ උපරිම නාට්‍ය රසයක් ද ගැබ් ව තිබේ. එක් එක් යක්ෂයා ගේ වෙස් ගන්නා ඇදුරා ශාන්ති කර්ම කරලියට පැමිණ ශාන්තිකර්මය මෙහෙය වන ඇදුරා සමඟ ගොඩනංවා ගන්නා සංවාදය තුළ ලිංගිකත්වය හා හාස්‍යය නොමඳව ම රැඳී පවතී. බොහෝ විට එසේ කරලියට පැමිණෙන යක්ෂයා පළමුව තම නමින් තබා තමන් යකකු ලෙස පෙනී සිටීමෙන් පවා වැලකීමට උත්සාහ දරයි. එහි දී මේ ආකෘතියේ සංවාද රස විඳීමට නරඹන්නවුන්ට අවකාශ ලැබෙන අතර එය එම ශාන්ති කර්මය ඉලක්ක කර ගත් ආතුරයා ගේ හෙවත් රෝගියා ගේ භාව විශෝධනයට ද ඉවහල් වෙයි.මක් නිසා ද යත් අප හමුවට එළඹෙන ඛේදනීය යථාර්ථයන් මඟ හැර ඒවා විසඳුම් සෙවීමේ මානුෂීය ස්වභාවය ඉන් කදිමට සංකේතනය වන බැවිනි.
ඇදුරා : මේ හැන්දැ කොරේ මේ දෙයියන්ගේ බුදුන් ගේ අඩවියේ හක්කලං කරන තමුන් කවුද? කියනවා හොඳයි
යකා : ගුරුන්නාන්සේ ඔය කවුරු ගැන ද අහන්නේ මං ගැන නෙවෙයි නේ?
ඇදුරා : ඔහේ ගැන නෙවෙන්නං; නැත්නම් ඔහේගේ මායියා ගැනයැ.
යකා : අනේ ගුරුන්නාන්සේ වෙන ඕනේ දෙයක් මතක් කොරන්ඩ, මගේ මායියා ගැන විතරක් මතක් කරන්න එපා.
ඇදුරා : ඒ මක්කෙයි, ඔහේ මායියට බයද?
යකා : බයයි නේන්නම් ගුරුන්නාන්සේ ඒ ගෑනි යකින්නක් වගේ නෙව.මට රෑට ගෙදරින් හෙල්ලෙන්න දෙන්නෙම නෑ නෙව.සමහර දවස් වල රෑට මගේ ඇඟට ගොඩවෙනවත් එක්ක.
ඇදුරා: හරි, හරි ඔහේ එයැයිව ඔහේගේ ඇඟට නැත්නම් කැමති තැනකට ගොඩ කරවා ගන්න. දැන් කියමු බලන්න තමන් කවුද කියලා.
යකා : ඒක නෙවෙයි ඔහේ ගේ මායියත් ඒ විදිහට රෑට ඔහේ ගේ ඇඟ උඩට ගොඩවෙනවය ගුරුන්නාන්සේ?.
ඇදුරා : දැන් ඔය අනම් මනං කතා නවත්වනවා. අපි අද මේ දෙයියන් ගේ බුදුන් ගේ අවසරෙන් බොහොම වැදගත් තැනකට ඇවිත් ඉන්නේ බොහොම වැදගත්
වැඩකට.
යකා : හත්වලාමේ එතකොට ඔහේලා විතරක්ය වැදගත්, එතකොට මේ අපි වැදගත් නැතෙයි.
ඇදුරා : අපිට හොඳට තේරෙනවා ඔහේ ඔය මක්කද? කරන්න හදන්නේ කියලා. අද ඔහොම බොරු කෝලිත්තම් පලා මාරු වෙන්න බෑ හරිය. අද අපි මෙතනට
ආවේ මේ ආතුර පංචස්කන්දය වැද්ද වැළඳගත්තු යකා අල්ලන්න.
යකා : අනේ ගුරුන්නාන්සේ ඒ නම නම් කියන්නවත් එපා මට බය හිතෙනවා.
ඇදුරා : හත් වලාමයි; කියන්නේ තමුන් යක්කුන්ට බයද?
යකා : නෑ ගුරුන්නාන්සේ. අපි බය ගුරුන්නාන්සෙලට නෙව,
මේ ආකාරයෙන් ශාන්ති කර්ම කරලියට පැමිණෙන යක්ෂයාත් විවිධ ස්වරූප පාමින් දෙබස් මගින් සහ තියුණු යක් බෙර, දුම්මල, ආලෝක සහ ධූප සුගන්ධ මධ්‍යයේ එහි විවිධාකාර රැගුම් පාන අතරේ ඒ අතුරින් වලස් මුහුණ සහිත මහසෝන් යක්ෂයා දෙකොණ විලක්කුව ද සහිතව සත්ව ඉරියව් පාමින් ඉදිරිපත් කරන ආවේශය පදනම් කරගත් රංගනය බොහෝ දෙනාගේ සිත් ත්‍රාසයෙන් මුසපත් කරවන සුළු ය. ඒ අතරේ මහසෝනා ගේ උස ලෙසින් හැඳින්වෙන දහ අට රියනක් උසැති පුවක් කඳන් මුදුනේ තනා ඇති පුරාලය නම් අට්ටාලය මතට නැඟ ගන්නා මහසෝන් දිෂ්ඨියෙන් යුතු ඇදුරා තම ජීවිතාවදානම නොතකා විකල් වෙසින් කරන රංගනය විචිත්‍රවත් බවින් හා ප්‍රාසාංගික බවින් එම ත්‍රාසජනක රංගනය දකින රෝගියා හෙවත් ඒ ආතුරයා තුළ භාවමය කැළඹීමක් ඇති වන අතර මෙය තම රෝගය සඳහා මෙතාක් සිදු කළ සියලු ප්‍රතිකර්මයන්ට වඩා අතිශය බරපතල පිළියමක් ය යන හැඟීම නිරායාසයෙන් ආතුරයා තුළ ජනිත වේ.
එමෙන්ම මෙය මධ්‍යම රාත්‍රියෙන් පසු හෙවත් යක්කු ගස් යන වේලාවේ සිදු කිරීමත් විශේෂත්වයකි. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවන් හි යකුන් මුල් කොට දෙසනු ලබන ආටානාටිය සූත්‍ර දේශනාව ද මේ යාමය තුළම පැවැත්වීම විශේෂත්වයකි.”හොඳ හොඳ නැටුම් එළි වෙන ජාමෙට ලු”යන පිරුළ සිහි ගන්වමින් අලුයම් යාමය ආරම්භ වන්නේ දෙකාෙණ විලක්කු සමයම සමඟනි.මෙහිදී ඇදුරා දිෂ්ඨි මන්තර ජප කරගෙන දුම්මල වරම ගෙන නර්තනයට ප්‍රවිෂ්ඨ වේ. වාදකයෙගේ බෙර වාදනයට අනුව ඇදුරා දිෂ්ඨියෙන් සමයම් පද හත නටනුයේ ප්‍රකෘති සිහිය අහිමි වී ඇති පසුබිමක ය. එම සමයම් පද හතට කුකුල් පදය, ඊ ගසේ පදය, දුම්මල ගැසීමේ පදය ආදිය අයත් ය. ඉන්පසු දුම්මල ගසා ගෙවල් නිවීම කර පුරාලයට නැග අටකොණ දැපීමෙන් පසු හෝ දෙමංසලක, තුන් මංසලක, දියවරක් අසල, සොහොනක තැබූ හැන්දැ සමයමේ පිදේනි වලට දුම්මල ගැසීමෙන් පසු දිෂ්ඨියෙන් මිදේ. මෙය ඇදුරා එලොව ගොස් මෙලොව එන සිදුවීමක් ලෙස ප්‍රකට ය.නමුදු මෙම දිෂ්ඨියෙන් මිදීමෙන් පසු ඇදුරන් තිරිහන් වන බව හෙවත් ඔවුන් තුළ නව ප්‍රබෝධයක් දක්නට ලැබෙන බව ප්‍රකට කරුණකි.


1975 වසරේ සිට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ මා හා එකම පන්තියේ උසස් පෙළ අධ්‍යාපනය ලැබූ ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනි 1997 වසරේ තිරගත වූ ධර්මසිරි බණ්ඩාරනායකයන් අධ්‍යක්ෂණය කළ ‘භවදුක’ චිත්‍රපටයේ මෙවන් මහසෝන් ආරූඪයක් විශිෂ්ඨ අයුරින් නිරූපණය කළ බව ප්‍රකට කරුණකි.
පසුව ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට පවසා සිටියේ තමන් එම නිරූපණයට පෙර හඳපාන්ගොඩ සුදු මහත්තයා ගුරුන්නාන්සේ නම් ප්‍රවීණ යකැදුරු මහතා ගෙන් ඒ සම්බන්ධ පරිචයක් ලත් බව ය. ඒ අනුව සුදු මහත්තයා ගුරුන්නාන්සේ පැවසූ අන්දමටම එම රංගනය නිවැරදි ලෙස ඉදිරිපත් කරන විට තම සිරුරට මහසෝනා ඇතුළු වූ බවක් තමන්ට හැඟුණු බවත් රංගනයෙන් පසුව ද තරමක වේලාවක් එම තත්වය එලෙසම පැවැති බව ද හෙතෙම කීය. මගේ පාසල් මිතුරා ජැක්සන්ගේ ප්‍රකාශය අනුව ඉහත සඳහන් අත්දැකීම හුදු රංගන වේදයටම අයත් සමාරෝපණය (Impersonation ) නම් තත්වය නිසා වූවක් බව පෙනේ. ජැක්සන් වැනි විශිෂ්ඨ රංගධරයකුට එවැනි සමාරෝපණ තත්වයක් ආරූඪ කර ගැනීමට හැකියාවක් තිබීමේ කිසිම අරුමයක් නැත.
“ඔය මහසෝන් සමයම නටපු වයස අවුරුදු අසූ ගණන්වල ඇදුරෝ ඉස්සර මෙහේ හිටියා.හරියකට පොළොවේ අඩි දෙකක් ගහලා ඇවිද ගන්න බෑ . ඒත් ඇඳුම ඇදගෙන මහසෝන් මූණ දාගෙන ගෙජ්ජි වැල බැඳගෙන දිෂ්ඨි මන්තර ජප කර කරලා ඇඟට දිෂ්ඨිය ගත්තට පස්සේ ඉතින් නියම මහසෝනා තමයි;” මගේ මාමණ්ඩිය කී ඒ වදන් මට තවමත් මතක ය.ඒ අනුව මෙහි ඉහත සඳහන් බේබි සිඤ්ඤෝ ඇතුළු යකැදුරු මහතුනට වැහුණු මහසෝනාත් මගේ පාසල් මිතුරු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනිට සිනමා කැමරාව ඉදිරියේ වැහුණු මහසෝනාත් එකෙකු මිස දෙදෙනකු විය නොහැක.
අපට වැළඳෙන ඕනෑම කායික රෝගයකට ඉවහල්වන කායික සේම මානසික සාධක ද තිබේ. මේ වන විට බටහිර වෛද්‍ය විද්‍යාව ඒ සම්බන්ධ පුළුල් පරීක්ෂණ
නිරීක්ෂණ නිගමනවලට මුල පුරා තිබේ. එහෙත්, එවන් තත්වයක් යටතේ කිනම් හෝ රෝග තත්ත්වයක් උදෙසා මෙම මහසෝන් සමයම වැනි නොවිධිමත් වුව අති ප්‍රබල මනෝ චිකිත්සක ක්‍රම මගින් එම රෝග සුවයට සාධනීය පිටිවහලක් නොලැබෙතැයි සහතික විය හැක්කේ කාටද?
තිලක් සේනාසිංහ