භාණ්ඩ සඟවමින් වැඩි මිලට බඩු විකුණන කූඨ වෙළෙඳුන් සොයා විමර්ශන

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වෙළෙඳපොළ තුළ මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පිටකොටුව තොග වෙළෙඳුන් සඳහන් කළේ පරිප්පු, හාල්මැස්සන්, පොල්තෙල් ඇතුළු සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින් අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් වෙළෙඳුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම මගින් කෘත්‍රිම හිඟයක් වෙළෙඳපොළ තුළ මවා පෑමටත්, භාණ්ඩ මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමටත් පෙළඹි ඇති බවයි.

උත්සව සමයේ වෙළෙඳපොළ තුළ සිදුවිය හැකි අක්‍රමිකතාවයන් වැළැක්වීමේ අරමුණින් අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී ද අඛණ්ඩව රාජකාරීයේ යෙදවීමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගිකයින්ට සිදුවන යම් අසාධාරණයක් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතාවයක් පිළිබඳ 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කාලීන පුවත්