මහින්ද නිල නිවසින් නෙරපීම ආණ්ඩුවේ තවත් පොට වරද්දා ගැනීමක් ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති


විශ්‍රාමික ජනාධිපති වරුන්ට නීතියෙන් නියමව තිබුණු යම්‍ යම් පහසුකම් තවදුරටත් සැපයීම නතර කර ඇත.ඒ නීතිය සංශෝධනය කිරීම නිසා ය. නීතිය සංශෝධනය කිරීමට පෙර සිටම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත රජයෙන් ලබාදී තුබුණු නිවස ආණ්ඩුවට ප්‍රශ්නයක් වී තිබුණි.ඒ නිසාදෝ එම නිල නිවසේ විශාලත්වය වටිනාකම පිළිබඳව කියමින් ඔහුට ඉවත් වන ලෙස ආණ්ඩුවේ නායකයින් විවිධ ස්ථාන වල සිට බල කර සිටිනු අපි දුටුවෙමු.ඊට පිළිතුරු ලෙසින්  රාජපක්ෂ පාර්ශවයෙන් කියවුණේ  “යන්න ඕනෙ නම් තැන් තැන් වල නොකියා මට ලියුමකින් දන්වන්න” කියාය.එහෙත් කටින් කියනදේ ලියාදෙන්නට මැලි වූ පාලකයින් ලියුම් දෙන්න ගියේ නැත.ඒ වෙනුවට විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් හා වරප්‍රසාද  ඉවත් කිරීමේ නව පනතක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් එය නීතියක් ලෙස සම්මත කිරීමට ආණ්ඩුව  කටයුතු කළේ ය.එම නව පනත සම්මත කළ විගස මහින්ද රාජපක්ෂ කොළඹ 7 විජේරාම මාවතේ නිල නිවසෙන් ඉවත්ව සිය නිවස වන තංගල්ල කාල්ටන් නිවසට ගියේ ය.මහින්දගේ මේ නික්ම යාම සාමාන්‍ය එකක් නොවන බව නික්ම ගිය  තැනත් අවසන් වුණු තැනත් එක්‍ රොක් වූ ජනකායෙන් පැහැදිලි විය. එමෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ  පක්ෂ භේදයෙන් තොරව විපක්ෂයේ බොහෝ දේශපාලන පක්ෂ නියෝජිතයින් මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට විජේරාම නිල නිවසට පැමිණීම ද  විපක්ෂයේ බොහෝ පක්ෂ මෙසේ මහින්දව නිල නිවසින් ඉවත් කිරීමේ ක්‍රියාව අනුමත නොකරන බව ප්‍රදර්ශනය කිරීමක් විය.

මෙහිදී සිදුවූ අති විශේෂ සිද්ධිය චීන තානාපතිගේ මහින්ද මුණ ගැසීමයි.චීන තානාපතිවරයා කිසියම් විශේෂ පණිවුඩයක් මහින්ද රාජපක්ෂට භාරදුන් බවක් පැවසිණ. ආණ්ඩුවේ බලපෑම මත ඔහු නිල නිවසෙන් බැහැර වීමට සූදානම් වෙද්දී මෙසේ හමුවීමෙන් ලබාදෙන පණිවුඩය තේරුම් ගැනීමට ආණ්ඩුව සමත්වුණේ ද යන්නත් පැහැදිලි නැත. කෙසේ වුවද මේ හමුව මේ දිනවල සිදුවෙමින් පවතින රුසියා චීන ඉන්දීය පෙළ ගැස්මටත් ඇමරිකාව හා ඉන්දියාව අතර මතුව ඇති ප්‍රතිවිරෝධතා වලටත් කවර අන්දමේ සම්බන්ධයක් ඇතිදැයි තේරුම් ගැනීම ආණ්ඩුවට හිතකර ය.

මෙහිදී සිදුවූ අති විශේෂ සිද්ධිය චීන තානාපතිගේ මහින්ද මුණ ගැසීමයි.චීන තානාපතිවරයා කිසියම් විශේෂ පණිවුඩයක් මහින්ද රාජපක්ෂට භාරදුන් බවක් පැවසිණ. ආණ්ඩුවේ බලපෑම මත ඔහු නිල නිවසෙන් බැහැර වීමට සූදානම් වෙද්දී මෙසේ හමුවීමෙන් ලබාදෙන පණිවුඩය තේරුම් ගැනීමට ආණ්ඩුව සමත්වුණේ ද යන්නත් පැහැදිලි නැත. කෙසේ වුවද මේ හමුව මේ දිනවල සිදුවෙමින් පවතින රුසියා චීන ඉන්දීය පෙළ ගැස්මටත් ඇමරිකාව හා ඉන්දියාව අතර මතුව ඇති ප්‍රතිවිරෝධතා වලටත් කවර අන්දමේ සම්බන්ධයක් ඇතිදැයි තේරුම් ගැනීම ආණ්ඩුවට හිතකර ය.මෙයින් පෙන්වන ප්‍රධාන කරුණ මහින්දගේ නික්ම යාම දේශීයව ජනතාවගේ අවධානය  මෙන්ම කලාපීයව ද යම් ආකාරයක අවධානයට යොමුව ඇති කරුණක් බවයි.මීට සාපේක්ෂව ආණ්ඩුවේ පළිගැනීමට ලක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට ද චීන තානාපති වරයා ක්‍රියා කිරීම ද වැදගත්ය.මෙම රාජ්‍ය තාන්තික හමුවීම් නිකම් ආවාට ගියාට සිදු වූ ඒවා වීමට බැරිය.
කෙසේවුව ද රට තුළ බොහෝ පිරිසක් ද මහින්ද රාජපක්ෂව නිල නිවසෙන් ඉවත්  කිරීම පිළිබඳව කිසිදු කැමැත්තක් නොදක්වති.මේ බොහෝ දෙනා සාමාන්‍ය ගම්වාසීන්‍ ය මේ අය මහින්ද රාජපක්ෂව දැන සිටියේ යුද්ධය නිමකර රට බේරාගත්  නායකයා ලෙස ය.මේ නිසාම ඔවුන් තුළ හටගත් කිසියම් ආකාරයක බැඳීමක්  මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් තිබේ.එමෙන්ම බොහෝ දුර බහැර ප්‍රදේශවලට හොඳ තත්වයේ මාර්ග පහසුකම් ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ බව ගැමියෝ පවසති.

දැනට මාස කිහිපයකට ඉහතදී මම පෞද්ගලික සංචාරයක් සඳහා යාපනයට ගියෙමි.අපේ පන්සලේ නායක හාමුදුරුවෝත්  තවත් අප හිතවතෙකුත් මමත් දුම්රියෙන් යාපනයට ගොස් එහි සංචාරය සදහා වාහනයක් කුලී පදනමට යොද ගත්තෙමු.යාපනයේ උපන් එහිම පදිංචි කරුවෙකු වූ වාහනයේ රියදුරු මිත්‍රයා අප ඉතාම ප්‍රවේසමෙන් යාපනය පුරා රැගෙන ගියේය.අපට යාපනය විස්තර කළේ අපේ තරුණ  රියදුරු මිත්‍රයා ය.යාපනය අ‍ර්ධද්වීපයේ මාර්ග බොහොමයක් කාපට් යොදා සංවර්ධනය කර ඇති බැවින් ගමන පහසු විය .මේ මාර්ගවල හොඳ තත්වය ගැන විමසූ විට රියදුරු මිත්‍රයා පැවසුවේ මහින්ද රාජපක්ෂ සමයේ මේ සියලුම මාර්ග කාපට් කළ බවය.එසේ නම් උතුරේ අප සහෝදර දමිල පිරිස් මහින්දට ඡන්දය දෙන්නේ නැත්තේ ඇයිදැයි මම රියදුරුගෙන් ඇසීමි.එවිට ඔහු පැවසුවේ අප ඡන්දය දෙන්නේ පිටරට සිටින අපේ දූ දරුවන් ඥාතීන් කියන අයට බවය.ඡන්දය නොදුන්නාට මහින්ද යාපනයේ යටිතල පහසුකම් සංවර්ධනය කළ බව ඔහු පැවසුවේ සිනාසෙමිනි.රටේ අනිකුත් ප්‍රදේශවල ද මාර්ග පද්ධතිය සංවර්ධන්‍ය කෙරුණේ මහින්දගේ පාලන සමයේ ය.මහින්දව සැබවින්ම මැතිවරණයෙන් පරාජය කළේ ගැමියන් නොව මධ්‍යම පංතියේ පිරිස් හා උතුරු නැගෙනහිර පලාත් දෙකේ ජනතාව ය.2015 දී මෛත්‍රීපාල ගේ ජයහ්‍රහණය දෙස බැලීමෙන් මෙය පැහැදිලිවෙයි.2019දී මහින්ද වෙනුවෙන් ගෝඨභයට චන්දය දුන් ජනතාව ඔහුගේ පාලනය අනපේක්ෂිත ලෙස දුර්වල වීම නිසා හා එහිදී රසායනික පොහොර ගැටලුව මත දැඩි සේ පීඩාවට පත්විය.ආර්ථික අර්බුදයේ පීඩනය ගොවියන්ට හොඳින්ම  දැනුණේ පොහොරවලිනි.මේ පීඩාවේ ප්‍රතිඵල ගැමියන් පෙන්නුවේ පසුගිය ජනාධිපතිවරණයේදී ය.ඒ පොදි පිටින් මාලිමාවට ඡන්දය දීමෙනි.ඒ බව මාලිමාවේ ප්‍රබලයන් පවා පසුව පවසා තිබිණ.මෙසේ මාලිමාවට ඡන්දය දී පීඩනය පිටකර වෙනසක් බලාපොරොතුව සිටින ගැමියන්ට මහින්ද රාජපක්ෂව  නිල නිවසින් ඉවත් කිරීම සෑහෙන සිතට වදින ප්‍රශ්නයක්ව ඇති බව දැනේ.

පසුගිය දිනවල ගල්ගමුව අම්පාර දෙහිඅත්ත කන්ඩිය මොනරාගල බදුල්ල වැනි ප්‍රදේශවල අපේ මිත්‍රයින් පවසන දේවල් අනුව මහින්දට මෙලෙස හිරිහැර කිරීම ගැමි ජනතාවගේ විරෝධයට ලක්ව ඇත.අම්පාරේ කතා කළ බොහෝදෙනා පැවසුවේ “මහින්ද මහත්තයා අපිව බේරාගත්තා කොටින්ගෙන්. දැන් අපි මහින්ද මහත්ත‍යව ආණ්ඩුවෙන් බේරාගන්න ඕනා කියාය.”මේ ගල් ඔයේ ගොවියන්ගෙන් වී බුසල් බාගේ ගානේ එක්කහු කරලා මහින්ද මහත්තයාට  ඉන්න තැනක් අරන් දෙන්න අපිට පුලුවන්” කියූ කීපදෙනෙක්ම සිටියහ.ගල්ගමුවේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති එච්.කේ  විමලරත්න මහතා පැවසුවේ “මහින්ද මහත්තයාට ගෙයක් අරගෙන දෙන්න වැඩ පිළිවෙලක් පටන් ගන්න.අපි උපරිමයෙන් උදව් කරන්නම්” කියා  ගොවිජනතාවගේ ඉල්ලීම් නිරන්තරයෙන් ලැබෙමින් ඇති බව ය.

ඩයස්පෝරාවත් බටහිර බලවේගත් මහින්දට වන හිරිහැර නිසා සතුටු වෙනවාක් මෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව මහින්දට හිරිහැර කිරීම නොඉවසන බවක් පැහැදිලි වෙමින් තිබේ.මේ අතර “අපේ මහින්දව අපි  බලාගමු” කියා ව්‍යාපාරයක් ඇරඹුණොත් එය ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව  බලවේගයක් ලෙස වර්ධනය වීමේ ඉඩකඩ බොහෝ සේ පවතී.ඒ අනුව බලන විට දේශපාලනික වශයෙන් මුහුකුරා නොගිය වත්මන් ආණ්ඩුව කර ඇත්තේ මහින්ද රාජපක්ෂට හිමිව තිබූ ජනතා ප්‍රසාදය තවත් කුළුගැවීමක් පමණි.මෙය ද වත්මන් ආණ්ඩුවේ තවත් පොට වරද්දා ගැනීමක් වීමට ද බැරි නැත.

මේ තත්වයෙන් පෙනෙන්නේ මහින්ද රාජපක්ෂගේ විජේරාමෙන් නික්මීම ග්‍රාමීය ප්‍රජාව භාරගෙන ඇත්තේ මහින්දට කළ මහා අකටයුත්තක් ලෙස බවයි .මහින්ද රාජපක්ෂ විසින් සිදුකළ එල්ටීටීඊය පරාද කිරීම විදේශ ගත දෙමළ ඩයස්පෝරාවත්,බටහිර බලවේගත් අමතක කර නැතුවාක් මෙන්ම ශ්‍රීලංකාවේ ග්‍රාමීය ප්‍රජාවත් එය අමතක කර නැති බව මේ තත්වයෙන් පැහැදිලි ය.ඩයස්පෝරාවත් බටහිර බලවේගත් මහින්දට වන හිරිහැර නිසා සතුටු වෙනවාක් මෙන්ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව මහින්දට හිරිහැර කිරීම නොඉවසන බවක් පැහැදිලි වෙමින් තිබේ.මේ අතර “අපේ මහින්දව අපි  බලාගමු” කියා ව්‍යාපාරයක් ඇරඹුණොත් එය ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව  බලවේගයක් ලෙස වර්ධනය වීමේ ඉඩකඩ බොහෝ සේ පවතී.ඒ අනුව බලන විට දේශපාලනික වශයෙන් මුහුකුරා නොගිය වත්මන් ආණ්ඩුව කර ඇත්තේ මහින්ද රාජපක්ෂට හිමිව තිබූ ජනතා ප්‍රසාදය තවත් කුළුගැවීමක් පමණි.මෙය ද වත්මන් ආණ්ඩුවේ තවත් පොට වරද්දා ගැනීමක් වීමට ද බැරි නැත.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර